brand logo

මෛත්‍රිගේ ඊළඟ පිම්ම ගැන අපි හොඳ අවධානයකින් ඉන්නේ

15 June 2020

පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දඟලන මෛත්‍රිගේ ඊළඟ පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ අඳුරුතම හා අසාර්ථකම පාලන කාලය ලෙස රනිල් - මෛත්‍රි යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වන බවයි. මෙවර මහ මැතිවරණ​​යේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කළ හැකි ආණ්ඩුවක් පිහිටුවා දීම ජනතාවගේ වගකීමක් බව පෙන්වා දුන් ඇමැති ප්‍රසන්න රණතුංග යහපාලනයට මුවා වී රට විනාශ කළ පුද්ගලයන් අද සුදනන් ලෙස හැසිරෙන බවද කීවේය. බියගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ප්‍රසන්න රණතුංග මෙසේද කීවේය. ‘‘2015 දී බොරු කරලා බලයට පත්වුණු ආණ්ඩුව මේ රට විනාශ කළා. රනිල් - මෛත්‍රී එළ හරකයි මී හරකයි වගේ දෙපැත්තට ඇද්දා. මහ බැංකු හොරකම කළා. පලිගත්තා. මහින්ද මහත්තයාගේ දරුවෝ, සහෝදරයෝ හිරේ දැම්මා. මහා සංඝරත්නයෙන්, හමුදාවෙන්, රාජ්‍ය සේවකයන්ගෙන් පළිගත්තා. 2015 ඉඳලා 2019 ජනාධිපතිවරණය වනතුරු රටේ ආර්ථිකය බිංදුවටම ඇදලා දාලා එල්ටීටීඊ එකට නැවත පණ දෙන්න හැදුවා. පහුගිය දින කීපයේ කොටින්ගේ සයිබර් ප්‍රහාරයට රටේ ප්‍රධාන පෙළේ ආයතනවල වෙබ් අඩවි ලක්වුණේ නිකම් නෙමේ. යහපාලනය විසින් කොටි ත්‍රස්තවාදය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පෝෂණය කළ නිසයි. නැගෙනහිර පළාතේ මුස්ලිම් කලාප පිහිටුවන ව්‍යවස්ථාවන්ට යෝජනා ගෙන ආවේ කවුද? එහෙම කරපු යහපාලන ආණ්ඩුවේ උදවිය අද සුදනෝ වෙන්න එනවා. එදා අපි පොහොට්ටුව හදන කොට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කියලා. පොහොට්ටුව හැදුවොත් බලාගමු කිව්වා. එහෙම කියපු මෛත්‍රි අද පොහොට්ටුව ලකුණින් තරග කරනවා. යහපාලන ආණ්ඩුව කාලේ තිබුණේ ජනාධිපතියි, අගමැතියි දෙපැත්තට අදින ආණ්ඩුවක්. ඒ නිසා තමන්ට මුකුත් වැඩක් කරගන්න බැරි වුණා. ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් දෙන්න කියලා මෛත්‍රි කිය කියා යනවා. මෛත්‍රි හදන්නේ මේ පාර පොහොට්ටුවට මුවාවෙලා පාර්ලිමේන්තුවට පැන ගන්නයි. මෛත්‍රිගේ හැසිරීම දිහා අපි හරි අවධානයෙන් බලාගෙන ඉන්නේ. දියකාවාගේ කටේ තියෙන මාළුවා ඩැහැ ගන්න උකුස්සෙක් වගේ කියලනේ කිව්වේ. හැබැයි මේ පාර ඒ සෙල්ලම් දාන්න ආවොත් තමයි ඔය උකුස්සා හොඳ පාඩමක් ඉගෙන ගන්නේ.’’
 

More News..