brand logo

මේ වගේ යෝජනා නැවත ගේන්න එපා - මීට වඩා වැදගත් වැඩ තියෙනවා අපිට

17 September 2019

කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ආන්දෝලනාත්මක’ යෝජනාවක් වජිර අතේ තිබුණේ ය. ඒ මේ වන විටත් ‘ගෙදර ගොස් සිටින’ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ‘තීරුබදු රහිත වාහන බලපත්‍ර’ අනුමත කිරීමට අදාළ යෝජනාව ය. එමගින් පළාත් සභා මන්ත්‍රීවරුන් 418 ක් සඳහා ඇමරිකානු ඩොලර් 35,000 බැගින් වන තීරු බදු රහිත බලපත්‍රය බැගින් ලබාදීමට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබුණි. මෙම යෝජනාව මීට පෙර වතාවකදී ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ප්‍රතික්ෂේප වුණු යෝජනාවක් වූ නිසාදෝ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු දැක්වූයේ තරමක කේන්තියකිනි. ‘‘මේ වගේ යෝජනා නැවත ගේන්න එපා... මීට වඩා වැදගත් වැඩ තියෙනවනෙ අපිට... අනික දැන් මේගොල්ලො සභාවෙ ඇත්තෙත් නෑ...’’ මෙහිදී වජිර නැවතත් කතා කළේ ය. ‘‘සර්... දෙන්නෙකුට දැනටමත් දීලා තියෙන්නෙ... ඉතිං එතකොට අනෙක් අය නඩු දමයි...’’ මෙය ඇමති වජිර සැලසුම් සහගතව සිදුකළ දෙයක් වන්නට ඇති බව සිතුවේ වුවත්, එය මුවින් පිට නොකළ ජනාධිපතිවරයා, ඊට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළේ ය. එහෙත් මෙහි ඇත්ත කතාව නම්, මේ දිනවල ‘ගෙදරට වී සිටින’ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරයක් තමන්ට ලැබෙන්නට තිබෙන ඇමෙරිකානු ඩොලර් 35,000 ‘තීරුබදු රහිත වාහන බලපත්‍රය’ ඇපයට තබා, වාහන සේල්කාරයින්ගෙන් රුපියල් ලක්ෂ 30, 40 ණයට ගෙන තිබීමත්, එම ණය පියවාගැනීමට කෙසේ හෝ බලපත්‍රය ලබාදෙන ලෙස වජිර හමුවේ හඬා වැටෙමින් සිටීම ය. කෙසේවෙතත් මෙහිදී ද මුදල් ඇමති මංගල ද ජනාධිපතිවරයාගේ තීරණය අනුමත කළ අතර එසේ හෙයින් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීම මෛත්‍රි-මංගල සුසංයෝගයේ කදිම පිතිහරඹයක් බවට පත්ව තිබුණේ ය.
 

More News..