brand logo

මේ වගේ පාලකයෝ පත් කරනකොට දෙපාරක් සිතන්න

28 October 2019

මාතර ඉපිද මාතර සර්වේෂස් හා මාතර රාහුල යන විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාරා ඇති කවීෂ කවිරාජ් යෞවනය ආකර්ෂණය කළ කටහඬක් හා ගායන කෞෂල්‍යයෙන් සපිරි ගායකයෙකි. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නියාමක ගායකයකු ලෙසද එළිමහන් සංදර්ශන වේදිකාවේ රසික ආකර්ෂණය දිනා සිටින කවීෂ කවිරාජ්ගෙ වෙනස් මගක් ගත් නැවුම් ගීයක් මේ දිනවල කතා බහට ලක්වේ. ‘රට වනසනා පාලකයන්’ ලෙස නම් කර ඇති එම ගීතය ගැනත් කවිෂගෙ වර්තමාන තොරතුරු ගැනත් අප කතා බහ කළා. “මගෙ පළමු ගීතය ‘නෙත ළඟ දඟ කරනා ඔබේ හසරැල්’ ගීතය. බොහෝ ජනප්‍රිය වූ ගීත අතර කඳුළක් ගලාවිත්, ඇස් ආදරෙන් පුරෝනා, හමු වුණා නෙත් ශානිකා එක්ක ගැයූ සිඳී බිඳී ආදරේ වගේ නිර්මාණ රසිකයෝ අතර අදත් තියෙනවා. අවුරුදු 24 දී ගායකයකු ලෙස කලඑළි බැස්ස කවීෂ යොවුන් ප්‍රේමය විරහව වැනි මාතෘකා සහිත ගී ගොන්නකම අයිතිකරුවෙක්. කවීෂගේ පළමු ගීතය වූ ‘‘නෙත ළඟ දඟකරනා” ඔහුට ලියා දී තිබුණේ ඔහුගේම අයියා මලික හිරෝෂන් විසින්. “මම උසස් පෙළ කරලා ඉන්න කාලේ “මාතර සී” සංගීත කණ්ඩායමේ ගායකයෙක් හා නිවේදක ලෙස වැඩකළා. එහෙම ඉද්දී පර්පල් රේන්ජ් නායක සේනක අයියා මට පර්පල් රේන්ජ් එකට එන්න කිව්වා. ඒ කාලෙත් පර්පල් රේන්ජ් හරිම ජනප්‍රියයි. එකම එක අරාබි සින්දුවක් විතරයි ඒ කාලේ මම බෑන්ඩ් එකේ කිව්වේ. මම අරාබි ගී කියන නිසා අරාබි ගීයක තනුවට අයියා “නෙත ළඟ දඟ කරනා” ගීය ලියා දුන්නා. සේනක අයියාගෙ මග පෙන්වීමෙන් ගීතය පටිගත කළා” කවීෂ තමාගේම ගී 30ක් පමණ ගායනා කර ඇති අතර කැසට් පටයක්ද වෙයි. “මගේ ගීත 14කින් සමන්විත පෙම්බරි කැසට් එක රංසිළු එකෙන් කළා. එය අතිශය ජනප්‍රිය වුණා” කවීෂ වැඩිපුරම ගයා ඇත්තෙ විරහ ගී වුවත් ඔහු ප්‍රථම ප්‍රේමය දිනූ අයෙක්. “මගේ ප්‍රථම ප්‍රේමය අද මගේ බිරිඳ ප්‍රවර්දා. ඇත්තම කියනව නම් ප්‍රවර්දා මගේ ජීවිතය ප්‍රවර්ධනය කළා. සියළු බාධක හමුවේ හයියක් වෙමින් ආදරය දයාව තිළිණ කරමින්” තමන් ගැයූ සියලු ගී සඳහාද තමගෙ රසිකයන් වෙනුවෙන්ද කවීෂට තිබෙන්නෙ සමාන ආදරයක්. “ ඇත්තෙන්ම මා ගැයූ ගී මා ජීවත් කෙරෙව්වා. අදටත් මා ජීවත් වෙන්නෙ එයින්. අපේ බෑන්ඩ් එක එද්දී අපේ ගී අහන්න ටිකට් අරං වියදම් කරගෙන අපට ආදරය දක්වන රසික රසිකාවියන්ට තමයි අද මා ඉන්න තත්ත්වයට ස්තුතිවන්ත වෙන්න ඕන. ඔවුන් මගේ ගීතවලටත් ගායකයකු ලෙස මටත් දක්වන ආදරය නිසා හෙටත් ඔවුන් වෙනුවෙන් ප්‍රේම ගී විරහ ගී වගේම ඔවුන්ගෙ සිතුම් පරාසය දියුණු කිරීමට සමත් නිර්මාණ කරන්නට මා බලා පොරොත්තු වෙනවා.” පවතින දේශපාලන තත්ත්වය ගැන අතිෂය කලකිරීමෙන් ඔහු කළ අලුත්ම ගීයක් වේ. “මගේ අලුත්ම ගීතය ‘අං එනකල් හිස් මුදුණේ’. ඒ ගීතය කළේ ඇත්තටම මේ රට වෙනුවෙන් අපිත් අපට හැඟෙන දැනෙන ඇත්ත කතා කරන්න ඕන නිසා.” කවීෂ මේ ගීතයේ අදහස විමාලක මොහන්දිරම්ට කියා ඒ අදහස මතුවන පද රචනාවක් සිදු කරගෙන තිබේ. “විමාලකට මම කිව්වා අප රටේ අපි වැටිලා තියෙන තත්ත්වේ. පාලකයො ඔවුන්ගෙ වුවමනාවන් වෙනුවෙන් විතරක් වැඩ කරන විට, මා තුළ තියෙන වේදනාව හා කලකිරීම ලියා දෙන්න කියා.ඉතින් ඔහු මේක ලියා දුන්නා. “අං එනකල් හිස් මුදුණේ, හුරේ දමමු තව වරෙව් අනේ, රට කරවන්නට මේ වාගේ අපිම නේද මුං පත් කෙරුවේ’’ “අපේ රටේ පාලකයන්ට දේව ධර්මය නෑ. ඒ වගේ පාලකයො පත් කරද්දී මිනිස්සු දෙපාරක් නෙවෙයි සිය පාරක් හිතන්න ඕන.” අතීතයේ රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිතය කැප කළ විරුවන් ගැන යළි හැදෑරිය යුතු බව කවීෂගෙ අදහසය. “දැන් බලන්න අද, අනගාරික ධර්මපාල තුමා ගැන මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවන් ගැන එස්.මහින්ද හාමුදුරුවන් ගැන හික්කඩුවේ සුමංගල හාමුරුවො ගැන දන්න අය කෝ.. ? එයාලගෙ භාවිතාව ගැන කතා බහක් ඇහෙන්නෙ කොහෙද.. අපි මේ කොහේද යන්න හදන්නෙ. රටක් ලෙස මේතරම් වේදනාවට පත්වෙන්න අපට වෙලා තියෙන්නෙ ඇයි. මිනිස්සු හැමතැනම අසමගියෙන් ඉන්නෙ. හොඳට විමසා බැලුවම පේනවා මිනිස්සු අසමගි කරන්නෙ පාලකයො උන්ගේ බලය රැක ගන්න. මේවාට ඇස් කන් පියන් ඉන්න හොඳ නෑ. මම මගේ කොටස කරනවා. මේ සින්දුව කළෙත් ඒ නිසාමයි.” කවීෂ රටේ අද තත්ත්වය ගැන කලකිරී මෙන් ගායනා කළ ගීතයේ අවසන දේශපාලකයන්ගෙන් ප්‍රශ්නයක් නගයි. “තමන්ගෙ වාසිය විතරක් සිතනා රට වනසන පාලකයන්නේ එක පිලකට එක අරමුණකට රට වෙනුවෙන් කවදද එන්නෙ” ජයන්ත සුබසිංහ
 

More News..