brand logo

මේ මගේ සීයාගේ පාරම්පරික උරුමය

18 December 2019

පරම්පරාවෙන් ලැබුණ දේශීය සම්ප්‍රදාය ඉස්සරහට අරගෙන යන්න නොහැකි වීම නිසා බොහෝ දේවල් වර්තමානය තුළ වියැකී යනවා. අද තාරුණ්‍යය සම්ප්‍රදායට තබන ලන්සුව අඩුවීම නිසා අපේ දේශීය දේ අපට අහිමි වෙනවා. පවුලෙන් ලැබුණ සම්ප්‍රදාය තාරුණ්‍යයට රැගෙන යන්න වෙහෙසෙන යෞවනයේ සොඳුරු රුවැත්තියක් මුණ ගැසුණා. ඇය ක්‍රිස්මා මනරංගනී ජයසිංහ. ඔබ දේශීයත්වයට ආදරය කරන කෙනෙක්ද? මගේ බාහිර ස්වරූපය බලලා කතා කරනවා නම් මම විරුද්ධයි. හදවතින්ම මම දේශීයයි. නමුත් ඔබ ඉන්නේ බටහිර ක්‍රමයටනේ? මගේ සම්ප්‍රදාය තියෙන්නේ මගේ කලාව ඇතුළේ. කලාව තුළ මම හදවතින්ම ජීවත් වෙන්නේ මගේ සීයා එක්ක. කවුද ඔබේ සීයා? මගේ සීයා සී.ඩී. කට්ටාඩි. සීයා දක්ෂ පාරම්පරික නැටුම් කලාවකට උරුමකම් කියන කෙනෙක්. පහතරට නර්තන සම්ප්‍රදායික ශාන්තිකර්ම ශිල්පය හා වෙදකම ගැන මහා පළපුරුද්දක් තිබුණ කෙනෙක්. සීයගේ නර්තන කලාව මගේ අම්මා භාරගත්තා. මේ දෙන්නම වෙනුවෙන් මම දැන් මේ නර්තන කලාව භාර අරගෙන කටයුතු කරනවා. ඔබේ වීරයා කවුද? මගේ අම්මා. මගේ මුල්ම ගුරුවරිය අම්මා. සීයාගේ හැම සම්ප්‍රදායක්ම ඔබ ඉදිරියට අරගෙන යනවද? දෙවොල් මඩු හා ශාන්තිකර්ම යන දේවල් කාන්තාවෝ නටන්නේ නැහැ. නමුත් සීයාගේ පහතරට නැටුම් කලාව මම ඉදිරියට අරගෙන යනවා. උඩරට, පහතරට, සබරගමු, ඉන්දියානු හා බටහිර නර්තනයේ සියලුම දේවල් මම හදාරලා තියෙනවා. ඔබ අධ්‍යාපනය ලැබුවේ කොහෙද? ගාල්ල/යටගල මහා විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගත්තා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිය නිමා කළා. සියලුම නර්තන සම්ප්‍රදායන් හදාරලා ඉන්නේ. සමුද්‍රි අත්තුඩාවගේ ගුරුවරිය යටතේ තමා මම නර්තනය ප්‍රගුණ කළේ. බටහිර හා දේශීය නර්තනය අතර ලොකු වෙනසක් තියෙනවා නේද? මේක සම්ප්‍රදායන් දෙකක්. මම දෙකම ඉගෙන ගත්තා. මගේ ළඟට එන කෙනෙක්ට ඔය දෙවර්ගයම උගන්වන්න මට පුළුවන්. ආගමත් දහමත් සමග යන ඔබේ සීයාගේ සම්ප්‍රදායත් බටහිරත් අතර ඇති වෙනස විශාලයි නේද? ඔව්. දේශීය සම්ප්‍රදාය කියන්නේ භාවනාවක් වගේ. ඕනෑවට එපාවට කරන්න බැහැ. ලොකු භක්තියක්, කැප කිරීමක් කරන්න ඕන. විනයක්, නීතියක් තියෙනවා. බටහිර සම්ප්‍රදාය කියන්නේ නිදහස් නැටුම් කලාවක්. මේ දෙක කොයිම තැනකවත් මම පටලවාගෙන නැහැ. ඒ කියන්නේ ප්‍රසංග වේදිකාවේ නටන්නත් ඔබට පුළුවන්? මම ඒක කරන්නේ නැහැ. මොකද ප්‍රසංග වේදිකාවට එන්නේ නැටුම් බලන්න නෙවේ. එතැන තියෙන්නේ වෙන කාම රසයක්. කවදාවත් එතැනට වැටෙන්නේ නැහැ. නර්තනයෙන් ඉවත් වෙච්ච මොහොතක මොකද කරන්නේ? මමත් නිදහස් තරුණියක්. උගන්වනකොට මම ගුරුවරියක්. නමුත් සැබෑ ජීවිතයේ යෞවනයේ සිතුම් පැතුම් මගේ හදවතේ තියෙනවා. මොඩ්ලින් කරන්න, මියුසික් වීඩියෝවල රඟපාන්න මම කැමතියි. නිළියක් වෙන්න කැමතිද? එහෙම කියන්න බැහැ. හැබැයි ලංකාවේ නාට්‍යවලට නර්තන අංශයෙන් දායකවෙලා තියෙනවා. නාට්‍ය ක්ෂේත්‍රයේ ලබා ඇති ජයග්‍රහණ මොනවාද? 1st international pupils games යටතේ අන්තර්ජාතික නර්තන තරගාවලියෙන් කණ්ඩායම් ඉසව්වේ දෙවැනි ස්ථානයත්, සම්ප්‍රදායික නර්තන අංශයේ ප්‍රථම ස්ථානයත් මම ලබාගත්තා. මීට අමතරව කුවේට් හා චීනයේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලයේ දේශීය නර්තන ප්‍රසංගවලට සහභාගි වුණා. විදෙස් රටවල අපේ නර්තනයට ඇති ඉල්ලුම කොහොමද? ඉතාමත්ම ඉහළයි. ලංකාව කියන නමත් එක්ක දේශීය නර්තනය බද්ධවෙලා තියෙන්නේ. දේශීය නර්තනයට ලංකාව තුළ ඇති ඉල්ලුම? කියන්න කනගාටුයි, දේශීය නැටුම් කලාවට අපේ ඉල්ලුම හරිම අඩුයි. ඉස්කෝලේ යන ළමයි දේශීය නැටුම් විෂයක් හැටියට ඉගෙන ගන්නවා. එතැනින් එහාට ඉන්න හැම කෙනෙක්ටම ඕන බටහිර නර්තනය ඉගෙන ගන්න. ලංකාවේ ඔබගේ සීයාගේ නැටුම් කලාව එකතු කරලා ප්‍රසංගයක් කරන්න කැමති නැද්ද? ඒක මගේ හීනයක්. නමුත් ලොකු මුදලක් යට කරන්න ඕන. ආදායමක් ලබන්න බැහැ කියලා මම දන්නවා. නමුත් කවදාහරි මම ඒක කරනවා. මගේ පණ තියෙනකම් දේශීය නර්තනය යටපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දේශීය නර්තනය නිසා ලෝකේ අපි ප්‍රසිද්ධයි. ලංකාවේ ගායකයෙක් වෙන රටකට ගිහින් ප්‍රසංගයක් කළොත් ඒ රටේ මිනිස්සු ඒ ප්‍රසංගය බලන්නේ නැහැනේ. ලංකාවේ චිත්‍රපට බලන්න බටහිර මිනිස්සු එනවාද?. අපි ජාත්‍යන්තරයට ගිහින් නැහැ. ගියා නම් නැටුම්වලින් විතරයි. අපේ නැටුම් බලන්න ලෝකේ ඕන රටක කෙනෙක් එනවා. නමුත් ඔබේ පෙනුමත් බටහිරට බරයි නේද? මම දේශීය නර්තනය ඉදිරිපත් කරනකොට මේ ඇඳුම නෙවෙයි අඳින්නේ. මගේ ඇඟේ දුවන්නේ සාම්ප්‍රදායික දේවල්. නමුත් තරුණ යුවතියක් හැටියට මට කැමති විලාසිතාවක් කරන්න පුළුවන්. කෙනෙක්ගේ ආත්මය ඇඳුමෙන් පේන්නේ නැහැනේ. ඔබෙන් පසු මේ දේවල්වලට මොනවා වෙයිද? හොඳ සිසු පරපුරක් මම දැනටමත් හදලා තියෙන්නේ. ඒ වගේම අනාගතයේ මගේ දරුවෙක් මේ දේවල් ඉස්සරහට අරගෙන යනවා දකින්න කැමතියි. ඔබ කැමති කුමන සම්ප්‍රදායටද? දේශීය සම්ප්‍රදායට. ආදරය ගැන යමක් කිව්වොත්? දැනට මගේ මුළු ජීවිතයම වෙලා තියෙන්නේ නර්තනය. පසුගියදා ලංකාවේ ජාතික නැටුම් විභාගය සම්පූර්ණ කරලා උපාධිය ලබාගත්තා. ඒ​ෙක ලෙවල් තුනම පාස් වුණා. වෙන දෙයක් හිතන්න මට කාලයක් නැහැ. නර්තනය ගැන ඔබට හැඟෙන දේ කියන්න? නර්තනය ඇතුලේ සම්ප්‍රදායන් ගොඩක් තියෙනවා. බටහිර නර්තනයට දොස් කියන්න බැහැ. එය නිදහස් නර්තනයක්. නමුත් අපි පටන් ගන්න ඕන අපේ දේශීය සාම්ප්‍රදායික නර්තනයෙන්. ඒක හරියට කළොත් අනික් ඒවාට හුරුවෙන එක මහ දෙයක් නෙවේ. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..