brand logo

මේ පාර විපක්ෂයට ‘ඇඬෙන’ අයවැයක් දෙනවා - ඉරාන් වික්‍රමරත්න

17 February 2019

අලුගෝසුවාටත්, සාපෙළ සමත්වීම අවශ්‍ය මේ රටේ ජනපති, අගමැති හා මැති ඇමැතිවරුන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවීම පුදුමයක්. ඔබත් එවැන්නෙක් බවට සමාජ ජාලාවල යන ප්‍රවෘත්තිය මොකක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම කාලය නාස්ති කිරීමක්. කාලය නාස්ති වුණාට කමක් නැහැ. ඔබ ඒ ප්‍රශ්නයට උත්තර නොදෙන්නේ දෙන්න උත්තරයක් නැති නිසාද? මගේ වැඩ මිසක් අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරන්න මම ආස නෑ. ඒත් ඔබ මාව හිරකරන නිසා පිළිතුරු දෙන්න මම සූදානම්. මම ව්‍යාපාර කළමනාකරණය ගැන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් කෙනෙක්. මූලික ඉහළම සුදුසුකම් නැති කාටවත් ඔක්ස්ෆර්ඩ් එකේ අධ්‍යාපනයට තියා කැන්ටිමේ වැඩට යන්නත් බෑ. ‘නායකත්වය’ ගැන ඔක්ස්ෆර්ඩ් එකේ බිස්නස් පාසලෙන් මට උපහාර සම්මානයකුත් ලැබුණා. අනික ලොව ප්‍රබලම ‘සිටි බැංකුවේ’ දී මා කළ සේවයට උපහාර ලෙසත් ‘‘කීර්තිමත්ම බැංකුකරුවකු’’ ලෙස මට සම්මාන ලැබුණා. මගේ මුල්ම උපාධිය දේශපාලනය හා ආර්ථික විද්‍යාවයි. මම මාස්ටර්ස් කළෙත්, මුල් උපාධිය ලබාගත් ලන්ඩන් විශ්ව විද්‍යාලයේදීම අාර්ථික විද්‍යාවට අදාළවයි. ලංකාවේදී ජාතික සංවර්ධන බැංකුවට වැඩ කරලා එන්ඩීබී බැංකුව ආරම්භ කරල ප්‍රධාන විධායකයා වුණා. පස්සෙ ඒ බැංකු හා අදාළ තවත් ව්‍යාපාර රැසක් තිබුණු එම ජාලයේම ප්‍රධාන විධායකයා ලෙසත් මම පත් වුණා. මුදල් අමාත්‍යාංශය ගැන ‘‘මංගල හා රවි’ අතර යම් ගැටුමක් තිබුණා. මුළුතැන්ගෙට දැමිය යුත්තේ ‘කෝකියෙක් මිසක් මෝස්තරකාරයෙක්’ නොවේ යැයිද මේ රජය ඇමැතිකම් දී ඇත්තේ ‘වැඩ බැරි නිකමුන්ට’ බවත් ඇමැති රවි නගන චෝදනාව මේ අමාත්‍යාංශයටත් අදාළද? කාටහරි වැඩ පුළුවන්ද බැරිද කියලා බලන්න වෙන්නෙ වැඩ කරගෙන යනකොටයි. අනික මේක හරියටම තීන්දු කිරීමේ අයිතිය ඇත්තේ ජනතාවටයි. ඒ නිසා දේශපාලකයො අතර ඇති තරග ගැන කතා කරන්න මට අවශ්‍ය නැහැ. සමහරු ජීවිත කාලෙම දේශපාලනය විතරයි කරල තියෙන්නෙ. ඒත් අපි දේශපාලනයට ආවේ වෙන වැඩ හොඳට කරලා පෙන්නලයි. අවංකව වැඩ කරන්න අවශ්‍ය කෙනකුට තනතුර අත්‍යවශ්‍යම නැහැ. තනතුරු යම් ආභරණයක් විතරයි. බැලුම පිම්බුවම කොච්චර දැඟලුවත් වතුර යට හංගන්න බෑ. ඒත් මේ ඇමැතිවරු අතර අගමැතිගේ සමීපයන්, මිතුරන් හා වෙනත් සබඳතා ඇති අය සිටින බවත්, ඉන් බහුතරයක් දුබල හා කාර්යක්ෂමතාවෙන් අඩු අය බවටත් නැගෙන චෝදනාවට ඔබ දෙන පිළිතුර මොකක්ද? අගමැතිතුමාගේ ජොබ් එක ඉතාම අසීරුයි. තනතුරු දෙනකොට ජ්‍යෙෂ්ඨත්වයත් සලකන්න වෙනවා. ජාති, ආගම්, කුල හා පළාත් කියල බැලන්ස් කරන්නත් තියෙනවා. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ හැකියාවයි. පෞද්ගලික අංශය බලන්නේ හැකියාව කැපවීම හා වැඩ කරලා පෙන්නූ දක්ෂතා පමණයි. මේ රට වේගයෙන් ඉහළට ගෙනියන්න නම් ඇමැතිකම් බෙදීමේදීත්, ඒ ක්‍රමවේදයට මුල්තැන දිය යුතුමයි. ඇමැතිකම් දීමේදී අඩුපාඩු සිදු වූ බව ඔබත් පිළිගන්නවා. මේ අමාත්‍යාංශයට මුදල්, ජනමාධ්‍ය මෙන්ම කිරිඇල්ලට කලින් තිබු අමාත්‍යාංශයේ බොහෝ ආයතනත් එකතු කර තිබෙනවා. ආයතන 50 ක් බලාගන්න ගියාම වැඩ අතපසු වෙන බව පිළිගන්නවද? මේ ආයතන විද්‍යාත්මක පදනමිනුයි ලබා දීල තියෙන්නේ. මුදල් යටතේ තිබුණු මහ බැංකුව හා සෙසු බැංකු වටේ ගෙනිහිල්ලා යළිත් නිවැරදි තැනට ගෙනත් තියෙනවා. ඇත්ත ඒකයි. ඒ ඒ අමාත්‍යාංශවලට දෙන ආයතන අද තීන්දු කරන්නේ රාජ්‍ය නායකයායි. ඒකත් වැරදියි. මේවා විද්‍යානුකූලව ගලේ කෙටූ ක්‍රමවේදයක් අනුව සිදු කිරීමේ පසුබිම හැදිය යුතුයි. අවශ්‍ය නම් ව්‍යවස්ථාවටත් ඇතුළු කරාට වරදක් නැහැ. රාජපක්ෂලා රටේ ප්‍රධානම ආයතනවලින් 65% ක් තමන් යටතේ තියාගෙන ඒ කාලෙ කරපු සෙල්ලම් කාටත් මතකයි. ඒ නිසා ක්‍රමය වෙනස් කළ යුතුමයි. මුදල් වගකීම් ඇති කෙනා එය මිසක ජනමාධ්‍ය ඇමැතිකම හරි හැටි කරාවිද? අද මේ ආණ්ඩුව ප්‍රචාරණය පැත්තෙන් බංකොළොත් වී පතුලටම ඇද වැටීමටත් එය හේතුවක් බව ඔබ පිළිගන්නේ නැද්ද? ආණ්ඩුවේ ප්‍රචාරණය ගැන විවේචන තිබුණත් ඒක පතුලටම වැටිලා නැහැ. හොඳ ප්‍රගතියක් දැන් ආරම්භ වෙලා තියෙනවා. අද මේ රටේ ජනමාධ්‍යවලට ඕනවටත් වඩා නිදහස තියෙන නිසා ඒ අය අයුතු ප්‍රයෝජන අරන් දේශපාලන න්‍යායපත්‍රයි ජනමාධ්‍ය හරහා ගෙනියන්නේ. ඒක සදාචාරාත්මකද? ඒ කාලේ රාජපක්ෂලා අරලියගහ මන්දිරයට එන්න කියලා නැත්නම් ෆෝන් එකෙන් දාපු තර්ජන සමහරුන්ට දැන් මතක නෑ. කී දෙනෙක් මැරුවද, ආයතන කීයක් ගිනි තිබ්බද? ඒ නිසා ජනමාධ්‍යවලට යම් ස්වාධීන බවක් හා ජනතාවට වගකියන පසුබිමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. ජනමාධ්‍යවලට ආණ්ඩු හදන්නත්, පෙරළන්නත් බැරි බව ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පැහැදිලි වුණා. පුදනකොටම කාපි යකා වගේ වාහන එකලස් කිරීම, කරුංකා, ගම්මිරිස් හා බීඩි කොළ ජාවාරම්කරුවන් සතුටු කිරිමට ගොස් රේගු ප්‍රධානියා ඉවත් කරලා ආණ්ඩුව හොඳටම නා ගැනීම ගැන ඔබට සතුටුයිද දැන්...? රේගු ප්‍රධානියා ගැන කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් අපට තිබුණේ නැහැ. රටට ලැබිය යුතු ආදායමේ පහළ බැසීමට විසඳුම් සොයන්නයි අපි උත්සාහ කළේ. පෞද්ගලික අංශයේ මෙහෙම ආදායම වැටුණා නම් ප්‍රධානියා කෙළින්ම අයින් කරනවා. අපි එතුමිය අයින් කළාම සමහරු විරුද්ධ වෙලා බොරු කතාත් කියන්න ගත්තා. ඒවා කියපු අයගේ කෙරුවාව ගැන ජනතාව දැනගන්න ඕනෑ. දූෂණය කියනකොට අද දේශපාලනඥයා ගැනයි කතා කරන්නේ. රාජ්‍ය යාන්ත්‍රණයේ අනිත් අය බබාලද? මේ ගැන අවධානයක් කළ යුතුයි. රේගුවෙන් වැඩ කරගන්න යන අය කියන කතාත්, රට දැනගන්න ඕනෑ. රාජ්‍ය ආයතනවලින් වැඩිම චෝදනා තියෙන අය රේගුවෙත් ඉන්න බව බොහෝ අය කියනවා. ඒ නිසා වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගැසීම භයානක බව කව්රුත් තේරුම්ගන්න ඕනෑ. රේගුව නගර සභා, ආදායම් බදු ආදී වෙනත් ආයතන හැම තැනම සල්ලිවලටම කට ඇරගෙන ඉන්න බහිරවයෝ ඉන්නවා. දූෂණ වහන්න අපි එතුමිය ඉවත් කළ බවට චෝදනා ආවාට මේ ආයතනය ඇතුළේ සිදුවෙන සෙල්ලම් ගැන සොයලා වාර්තාවක් ලබාදෙන බව එතුමිය කියලා තියෙනවා. අපි ඒක එනකම් ඉන්නේ. මොකද අපට හංගන්න දෙයක් නෑ. ඔබ මතු කළ සියලු චෝදනාවලට වගකිවයුත්තේ කව්ද කියලා එතකොට එළිවේවි. ඒ කාලෙ වෘත්තීය සමිතිවල වර්ජන විසඳුවේ සුදුවැන් ඇවිල්ලයි. අද එහෙම නරුමත්වයක් නෑ. අද ඕනෑ එපා හැම එකකටම වර්ජන අරගල, උද්ඝෝෂණ තිබුණත් ඊට මුහුණ දීමට මේ ආණ්ඩුවට කොන්දක් නැහැ නේද? සුදුවෑන් යවලා ටෙස්ට් කරන්නවත් අදහසක් නැද්ද? ඒවා නැති කරලා රටට ජනතාවට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නයි අපි ආවේ. ඔක්. 26 කුමන්ත්‍රණය අපි පරාජය නොකළා නම් අද රටේ හැමතැනම සුදු වැන් පිරිලා තියෙන්න තිබුණා. ජනතාව ඉන් මුදවා ගත්තෙත් අපි බව ජනතාව තේරුම් ගන්න ඕනෑ. රේගුව ගැන රේගුවෙන්ම පරීක්ෂණ පැවැත්වීම හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නේද කියලා ජනතාව අපට කියනවා. රටේ හැමතැනම ඒ නිසා ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමේ ජාතික ක්‍රමවේදයක් අත්‍යවශ්‍යයි. පාර්ලිමේන්තු මන්ත්‍රීලට අදාළව ස්වාධීන පරීක්ෂණ කරනවා වගේ ක්‍රමයක් රේගුව හෝ වෙනත් රාජ්‍ය ආයතනවලටත් ඇති කළ යුතුයි. අපි ඒක කරනවා. අධික ණය බර නිසා රටට අමාරුයි, ආණ්ඩුව කියනවා. දින 52 ව්‍යාජ ආණ්ඩුව සමයේ රටට පාඩු සිදු වූ බව ‘කයිවාරු’ ගැහුවත් ඊට අදාළ තක්සේරුවක් කරලා නැහැ නේද? රේගු ප්‍රශ්නයෙන් බිලියන 12 ක් පාඩු බව ඒ වෘත්තීය සමිති කිව්වත් එහෙම තත්ත්වයක් නෑ. අපි ඒ ගැන හොයලා රටට කියනවා. රුපියල් හෝ ඩොලර්වල පොලිය දින 52 ව්‍යාජ ආණ්ඩුව කාලේ හුඟක් ඉහළට ගිය නිසා පොලිය විතරක් බිලියන 21 ක් වැඩිපුර ගෙවන්න වුණා. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තුනේදීම ඒ දින 52 කාලේ ලංකාව ආර්ථික ලෙස පහළටම වැටිලා තිබුණා. තව කෝටි දහස් ගණනක අලාභ රැසක් සංචාරක අපනයන, විදෙස් රැකියා ආදී ක්ෂේත්‍රවල ඇති වුණා. ඒ විතරද? ඒ දින 52 කාලේ අපේ විදේශ සංචිත ඩොලර් බිලියනයක් එනම් රුපියල් කෝටි 18,500 ක් විතර දියවී රටට අහිමි වුණා. ඒ නිසා දින 52 සෙල්ලම කරලා රටේ ආර්ථිකය හා ප්‍රතිරූපය විනාශ කරන්න ක්‍රියා කළ අය ජාතියෙන් සමාව ගන්න ඕනේ. අධික ණය බර ගැන කතා කරන මේ රජය ඊටත් වඩා ණයගත් බවට බන්ධුල ගුණවර්ධන ප්‍රමුඛ විපක්ෂය කරන චෝදනාව බරපතළයි නේද? ඒක දේශපාලන අවලාදයක් මිසක් යථාර්ථවාදී ආර්ථික චෝදනාවක් ලෙස සලකන්න බැහැ. වර්ෂ 2000 දී සහන පොලී ණය 98% ක් ගත්ත ලංකාව යුද්ධ කාලෙත් 85% ක් එවැනි ණය අරන් තියෙනවා. යුද්දෙන් පස්සේ රාජපක්ෂලා කළේ සහන පොලී ණය 48%ට අඩු කරලා ගිනි පොලියට වෙළෙඳපොළට ණය ගැනීමයි. ඒකට හේතුව සාක්කු පුරවා ගැනීමද කියලා සැකයක් තියෙනවා. ගෙදරක වගේම රටකත් උහුලන්න බැරි ණය අරන් ආදායම් නොලබන දේට වැය කළොත් බංකොළොත් වෙලා අනාථ වෙනවා. යුද්ධයෙන් පස්සේ ‘රට වෙනුවෙන් හම්බන්තොට ගම’ හදලා අලුත් රජ පරපුරක් ඇති කරන්න ගියා. වරායක්, ගුවන්තොටක්, ක්‍රීඩාංගණයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, ලේන් හතරේ පාරවල් හැදුවා. ඒවා සතයක ආදායම් නොලබන සුදු අලි වෙලා. අද ලෝකෙ හිස්ම එකම ජාත්‍යන්තර එයාර්පෝට් එක මත්තලයි. ඕක පරීක්ෂා කරන්න ගියාම රස්තියාදුකාරයෝ ටිකක් අපට වෙඩි තියන්නත් හැදුවා. අනිත් හැම ව්‍යාපෘතියක්මත් ඒ වගේ අසාර්ථකයි. ඒත් ඒ ණය අපි ගෙවන්න ඕනෑ. මේ ආණ්ඩුව ණය ගත්තේ ඒ ණය ගෙවන්නද? ඔවුන් ගත් ණයවලින් කරපු දේ පෙනුණත් මේ ආණ්ඩුව ගත්ත ණයවලින් කරපු දෙයක් පේන්නෙ නැහැ කියලා තර්කයක් තියෙනවා නේද? ආදායමක් නැති ව්‍යාපෘතිවලට ගත් ණය ගෙවීම අද තියෙන ලොකුම අභියෝගයයි. ණයක් ගෙවමින් අපි කරපු වැඩ ප්‍රාතිහාර්යජනකයි, එහෙම බැලුවාම. ආර්ථිකය හරි මගට අපි ගත්තා. දැන් ණයත් ගෙවමින් රට දුවනවා. කොමිෂන් සභා කන්නද, සමහරු ඇහුවා. ඒත් ඔක්. 26 දා පහත් කුමන්ත්‍රණයෙන් රට ගලවා ගත්තේ ඒ පසුබිම තුළයි. ජනාධිපතිට විරුද්ධව දැන් අධිකරණය තීන්දු ගන්නවා. එදා බැසිල්ගේ දිවිනැගුම පනත වැරදි බවට තීන්දු කරපු අග්‍රවිනිශ්චයකාරවරිය ඇදලා එළියට දැම්මා. අද එහෙම බෑ. ඒත් ආර්ථිකය භාරගත්ත එජාපය ඒක විනාශ කළා කියලා ජනාධිපතිම කියනවා නේද? ජනාධිපතිතුමා ආණ්ඩුවේ නායකයා ලෙස එහෙම කියනවා නම් එතුමාටත් වගකීම් පැවරෙනවා. ආර්ථික ගැටලු පටු දේශපාලන කෝණයෙන් බලලා බැහැ. මහින්ද රාජපක්ෂ වසර 02 කට කලින් ජනාධිපතිවරණයට ගියේ ආර්ථිකය කඩාවැටෙන බව දන්න නිසාය. එතුමා හිටියා නම් ආර්ථික සම්බාධකත් වැටිලා පාන් කෑල්ලට මරාගන්නා රටක්, තෙල් කළු කඩෙන් ගන්න වෙන, සංචාරකයෝ ආයෝජකයෝ එන්නැති රටක් නිර්මාණය වෙලා තියෙන්න තිබුණා. අද ආර්ථික වර්ධනය 03% ට වැටිලා. මේ ආණ්ඩුව වගකිවයුතු නැද්ද? අපට විතරක් බෝල පාස් කරලා බෑ. 77 එජාප ආණ්ඩුව කාලේ රජයේ ආදායම 27% ට නග්ගලා තිබුණා. 94 න් පසුව ඒක 19% ට වැටිලා 2015 දී අපි භාරගන්නකොට 11% යි. අපි දැන් ඒක ඉහළට තල්ලු කරමිනුයි ඉන්නේ. එයාලගේ කාලේ අයවැය පරතරය 7.5%යි. අපි ඒක 5.5% ට අඩු කරලා තියෙනවා. ලංකාව දකුණු ආසියාවේ එකම මධ්‍යම ආදායම් ඇති රටයි. අපි ඒක කළේ අපනයන ආදායමිනුයි. 31% ක් එජාප කාලේ තිබූ අපනයන 94 න් පසුව 25% ට වැටුණා. 2015 දී 13% ට වට්ටලා සමතලා කරලයි අපට භාරදුන්නේ. අපි දැන් ඒකත් වර්ධනය කරගෙන යනවා. රාජපක්ෂ සමයේ රජයේ ආදායම් හා අපනයන ආදායම් බිමට වැටිලා තියෙද්දී අධික පොලී වාණිජ ණය අරන් ආදායම් හානි ව්‍යාපෘතිවල යෙදීම මහා වැරදි වැඩක්. මේ වසර මැතිවරණ වසරක් නිසා මෙවර ‘‘නත්තල් සීයා ක්‍රමයේ අයවැයක්’ ලැබේවි යැයි සමාජ මතයක් තියෙනවා. ඒත් බන්ධුල ගුණවර්ධන කියන්නෙ අධික ණයබර ඇති දඩ හා බදු ගහන ආණ්ඩුවකට සහනදායී අයවැයක් ලබා දීමට කිසිසේත්ම බැරි බවයි? බන්ධුල සූරීන්ට මේ ආණ්ඩුවට තියෙන අභියෝග තේරීමම ලොකු දෙයක්. රුපියල වැටීම, අතින් වහල නවත්තන්නේ කොහොමද කියලා දින 52 කාලෙ අහපු එතුමාට අපි පෙන්නුවා අතින් වහල නොව සැබෑ ආර්ථික ක්‍රමවේද හරහා රුපියල ශක්තිමත් කරන්නෙ කොහොමද කියලා. අපි එතුමාටත් කෑගහන විපක්ෂයටත් ‘ඇඬෙන අයවැයක්’ දෙනවා. හැම ආසනයක්ම දියුණු කරන්න ලක්ෂ 3000 ක් දෙනවා. තව හොඳ සෙල්ලම් අයවැයදා එළිවෙන ජාමෙට රටට ජනතාවට දැනේවි. ජනපතිගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 9 ක් ව තිබුණු එක මෙවර 13 දක්වා වැඩි කළත් අගමැතිට බිලියන 1.6 ක් පමණක් වෙන් කිරීමත්, ජනපති ආණ්ඩුවේ කකුලෙන් අදින නිසා ඔහුගේ වැය ශීර්ෂය කපා දැමිය යුතු බවටත්, ආණ්ඩුවේ ඇතැමුන් තුළ ලියලන මතවාදය ගැන ඔබ මොකද කියන්නේ? විවිධ මත ආණ්ඩුව ඇතුළේ තියෙනවා. රටට ජනතාවට සංවර්ධනයට ජනතා සහනවලට වඩාත්ම හිතකර තීන්දුයි ආණ්ඩුව ගන්නේ. ජනාධිපතිතුමා පත්වුණේ ඔක්. 26 හොර අගමැතිවරු හා ආණ්ඩු පත් වූ විදියට නෙවෙයි. ජනමතයකිනුයි. ඒ ජනමතයට එතුමාට තව මාස කීපයක් අනුව බලය තිබෙන බව අපි අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම 2015 අගෝස්තුවේදී මේ ආණ්ඩුව පත් වුණේත් ජනමතයකිනුයි. අපි හොර පාරෙන් බලය කොල්ලකාපු පිරිසක් නොවන බව ජනාධිපතිතුමා හා අනික් සියලු දෙනාටත් අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැති බව අපේ හැඟීමයි. ඒ නිසා ජනතාව පත් කළ මේ ආණ්ඩුවට වැඩ කරගෙන යාමට ආණ්ඩුවේ නායකයා ලෙස ජනාධිපතිතුමා සහාය දෙනවා මිසක් වෙනත් න්‍යායපත්‍රවල හිර වී ආණ්ඩුවේ කකුලෙන් අදින පසුබිමක් ඇති නොවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද එතුමා අපි පත් කළ අපේ ජනාධිපති මිසක් ශ්‍රීලනිප හෝ පොහොට්ටු ඡන්දවලින් පත්වූ කෙනෙක් නෙවෙයි. වඳින්න වඳින්න ගහන මිනිහත්, ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයාය යන කියමන දෙපාර්ශ්වයම හරිහැටි ‘හැන්ඩ්ල්’ කර ගැනීම වටිනවා. අශෝක ජයතුංග
 

More News..