brand logo

මේ දුෂ්ට කමට මම කැමැතියි

24 August 2019

ඇය දුෂ්ටයෙක්... නමුත් සංවේදී ගැහැනියක්... විජයබා කොල්ලයේ රූපා දේවිය සැබෑ ජීවිතයේ විවෘතව කතා කරන යුවතියක්. ප්‍රංශයේ ඉපදී බටහිර ආරයට ජීවිතය ගත කළත් ලංකාවේ ලේ ඇති යුවතියක්. රඟපෑම, ආදරය හා හැඟීම් ගැන විවෘතව කතා කරන්න ඇය කැමැතියි. ප්‍රථම රංගනය තුළින්ම වෙනසක් කරමින් ජීවිතය බෙදාගන්න සූදානම් ඇය මරියොන් වෙත්තසිංහ... අපි ඇයගෙන් කෙළින් ප්‍රශ්න කළා... මේ ඔබේ පළමුවැනි චිත්‍රපටයද? නෑ. තුන්වැනි චිත්‍රපටය. මුලින්ම රඟපෑවේ දඩයම. ඊට පස්සේ හිතුමතේ ජීවි​තේ. තුන්වැනි චිත්‍රපටය තමයි මුලින්ම ප්‍රදර්ශනය වුණේ. කොහොමද රංගනයට පිවිසෙන්නේ රංගනයට ලොකු ආසාවක් තිබුණා. නමුත් මම මුලින්ම ගායිකාවක්... වීම නිසා රංගනයට ඉඩ හැදෙනවා. සිහිනයකි රෑ වැඩසටහනේ ජයනි සේනානායක ගීත ඉල්ලන දවසේ ඇය කැමැති ගීත ගායනා කළේ මම. ඇය තමා මාව සිනමාවට හඳුන්වා දෙන්නේ. ඔබේ හීනයද මේ ඉෂ්ට වෙන්නේ? මම ඉපදෙන්නේ ප්‍රංශයේ. මම නිතරම උන්නේ පැරිස්වල. නිවාඩුවට ලංකාවට ආපුවම තමා සංගීත වැඩසටහන්වලට සහභාගි වුණේ. හීන මට තිබුණෙම නැහැ. ඔබ ප්‍රංශයේ රැකියාවක් කරනවද? ඔව්. කළමනාකාර වෘත්තියේ ඉන්නේ. ඔබ රූපා දේවියට කැමැතිද? ඇත්තටම කැමැතියි. මොකද ඒ චරිතය මට අභියෝගයක්. හුඟාක් ආසාවෙන් කළේ. ඔබත් රූපා දේවිය වගේ දුෂ්ටද? නැහැ. මම හුඟාක් සරලව සතුටින් ඉන්න කෙනෙක්. ඒ නිසාම තමා මේ දුෂ්ට චරිතය මට අභියෝගයක් වෙන්නේ. මොකද මගේ ජීවිත කතාවට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. නිළියක් හැටියට කොටු නොවී ඉන්න මේක මට හොඳ අවස්ථාවක්. ලොකු කැපවීමක් කරන්න වුණාද? ඇත්තටම ඔව්. සටන් කරන්න ඕන. කෑගහන්න ඕන. කොටින්ම දෙවනත් කරන්න ඕන චරිතයක්නේ. ඔබ සාර්ථකයි කියලා හිතනවද? ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා බලල කියන්න. රූපා දේවියට කොයි තරම් සාධාරණයක් ඉෂ්ට කරල තියෙනවද කියලා. ප්‍රංශයෙ ඉඳගෙන කොහොමද දිගටම රඟපාන්නෙ? මට හොඳ චරිත රඟපාන්න ලැබෙනවා නම් ඕනම වෙලාවක ලංකාවට ඇවිත් මගේ කාර්යය කරන්න මම කැමැතියි. ඔබ රංගනය හදාරනවද? නැහැ. ලංකාවේ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන ආයතනයේ රංගනය ගැන ඉගෙන ගත්තා. ඒ පුහුණුවත් මට උදව් වුණා මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න. ඔබේ වයස කියන්න කැමැතිද? මට තාම විසි හතරයි. විවාහකද? නැහැ. ආදරය ගැන මොකද හිතන්නේ? ආදරය කියන්නේ කෙනෙක්ගේ ජීවිතේට බලපාන අතිශයින්ම පෞද්ගලික හැඟීමක්. ඒක ලෝකයා හමුවේ ප්‍රසිද්ධ කරන්න ඕන නැහැ. හදවතේ තිබුණාම ඇති. ඔබ ප්‍රශ්නය මග හරින්නද යන්නේ​? නැහැ. ඇයි මම එහෙම කරන්නේ. මටම අනන්‍ය වූ ආදරයක් තියෙනවා. ඔබ ආදරවන්තියෙක්ද? මේ මොහොතේ නැහැ. ඔබ බටහිර රටක ආභාසය ලබන යුවතියක්. ඇයි ඔය තරම් ආදරය හංගන්නේ? මම හංගන්නේ නැහැ. මම ඉන්න රටේ මහපාරේ සිප වැලඳගෙන ආදරේ කරනවා. මටත් එහෙම අත්දැකීමක් තියෙනවා. නමුත් ලංකාවේ ඉන්නකොට එහෙම කරන්න බැහැ. මොකද අපි අපේ ජීවිතේ සංස්කෘතියේ කොටසක් කරගත්තු අය. මගේ හිත කැමැති වුණත් මට ලංකාවේ එහෙම කරන්න බැහැ. ඉතින් මම ප්‍රවේශමෙන් ඔබට උත්තර දෙන්න ඕන. හැඟීම් දැනීම් හංගන්න පුළුවන්ද? අපේ රටේ හැම දෙයක්ම හංගලා නේද තියෙන්නේ. ඒකනේ ප්‍රශ්න වැඩි. ළංවෙලා කතා කළොත් කට කතාවක්. බලන්න මිනිස්සු හැඟීම් හිරකරගෙන ජීවත් වෙනවා. හැබැයි මේකේ භයානකකම දන්නවා. පුංචි ළමයින්ගේ පිටින් මේ හැඟීම් ගිය අවස්ථා නැද්ද? හැඟීම්වලට වුණත් ඕනවට වඩා වැට කඩොළු බඳින්න හොඳ නැහැ කියල මම විශ්වාස කරනවා. ඔබ ආදරයෙන් පැරදුන කෙනෙක්ද? මම ආදරේ කරල තියෙනවා. හැබැයි පැරදිලා නැහැ. ආදරේ පරාජය වුණොත් එහෙම එතනම ඉවරයි. මම ආදරේ ළඟ නතර වෙලා නැහැ. වැරදුන තැන හදාගෙන ඉස්සරහට යනවා. මට වැරදුන තැන්වලින් මම පාඩම් ඉගෙන ගන්නවා. පරාජය කියන්නේ ඊළඟ පියවරේ ආරම්භය. මම එහෙමයි ආදරේ දකින්නේ. පිරිමි විශ්වාස කරන්න පුළුවන්ද? මම හිතනවා මට විශ්වාස කරන්න පුළුවන් පිරිමියෙක් මුණ ගැසෙයි කියලා. විවාහය ගැන හිතනවද? ඇයි නැත්තේ. විවාහ වෙලා අනිවාර්යයෙන්ම බබෙක් හදනවා. අම්මා කෙනෙක් වෙන එක තරම් අභිමානයක් තවත් කොහෙන්ද? මේ ක්ෂේත්‍රයේ ඔබව තේරුම් ගත්තු පිරිමියෙක් ඉඳියිද? කලාව කියන්නේ ම​ගේ රැකියාව. අනිත් අය වගේම මගේ ජොබ් එක. ඉතින් මගේ රස්සාව තේරුම් ගත්තු පිරිමියෙක් මුණ ගැසෙයි. ලංකාවේ යුවතියන්ට රඟපෑම සුදුසුද? සුදුසුයි. ඇයි ගෑනු හැමදාම මුල්ලට වෙලා ඉන්න ඕනෙද. නමුත් යුවතියන්ට ඔළුව ගහලා ඉන්න අමාරුයි නේද? ලංකාවේ දක්ෂ නිළියො ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ සුදුස්සාට නියම තැන ලැබෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? බලන්න ගම්වලින් කොච්චර දක්ෂ අය එනවද? නවක අය එනවා. නමුත් බොහෝ නිර්මාණකරුවන් මේ අයට ඉඩ දෙනවද එන්න. ඇවිත් රඟපාන්න. දක්ෂතා පෙන්නන්න. එහෙම කියන්නේ නැහැනේ. ඔවුන්ගෙන් අයුතු දේවල් බලාපොරොත්තු වෙනවා. කැමැති කෙනා අදක්ෂ වුණත් ඇතුළේ. අකැමැති කෙනා දක්ෂ වුණොත් එළියේ. මිනිස්සු කලාවට ගරහන එක සාධාරණයි. ඔබට එහෙම දෙයක් වුණේ නැද්ද? වාසනාවට මට එහෙම වුණේ නැහැ. දක්ෂතාවට තැන දෙන අධ්‍යක්ෂවරු මට මුණ ගැසුණා. ඒක මගේ වාසනාව. කලා ක්ෂේත්‍රය ගැන පැතිර යන කට කතා ගැන ඔබට හිතෙන දේ කියන්න. මෙහෙමයි කතාවල ඇත්තක් තියෙනවා. හැබැයි වරද්ද ගන්නේ අපේ අයමයි. චිත්‍රපටයක නාට්‍යයක එකට රඟපානකොට විරුද්ධ කෙනා ගැන හැඟීමක් ඇතිවෙන්න පුළුවන්. මම මේ කතා කරන්නෙ හිතට අවංකමයි. එහෙම ඇතිවුණා කියලා අපි ඒක පෙන්නන්න යන්න හොඳ නැහැ. මොකද රඟපෑම කියන්නේ නළුවාගේ නිළියගේ රස්සාව. ඉතින් රස්සාව කරනකොට හරියටම ඒක කරන්න ඕන. එහෙම නැතිව හැඟීමක් ඇතිවුණා කියල ඒක ප්‍රදර්ශනය කරන්න හොඳ නැහැ. රඟපාන එක අමතක කරලා හැඟීම් ඉස්සර කරගත්තොත් සමාජයට වෙන්නේ නරක පැත්තක්. වෘත්තීය හරියට කරන්න. සම්බන්ධයක් තියෙනවා නම් ඒක ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවිතය විය යුතුයි. නමුත් නළු නිළියක්ම ආදර්ශමත් විය යුතුයි නේද? නළු නිළියෝ කියන්නෙත් ඇට, ලේ, මස්, නහරවලින් හැදුන අය. අනිත් අයට වඩා ඔවුන්ගේ හැඟීම් වැඩියි. මොකද රඟපාමින් ඔවුන් ගනුදෙනු කරන්නේ හැඟීම් සමග. ඉතින් අනෙක් අයට වඩා අපේ හැඟීම් ඉස්සර වෙන්න පුළුවන්. ඒක නිසා නළු නිළියෝ කියල ආත්මය ගරහලා විනාශ කරල දාන්න එපා. නළු නිළියන්ටත් අනිත් අයට වගේම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඔවුන් ඒ පෞද්ගලික ජීවිතය ඔබට ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට රැගෙන යනවා නම් ඔවුන්ගේ හිතත් තලන්න එපා කියලා ආදරයෙන් ඉල්ලනවා. ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර
 

More News..