brand logo

මේ ඉන්නේ ලොකුම ජාතිවාදියා - රට ගිනි තියන්නේ මෙයා තමයි

31 May 2019

බ්‍රහස්පතින්දා දිනයේ යළිත් පක්ෂ නායක රැස්වීමක් කතානායකවරයා විසින් කැඳවා තිබුණේය. ‘‘ජූනි මාසයේ 04, 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුව පැවැත්වෙනවා... ඒ නිසා අපි 06, 07 දිනවල විශ්වාසභංග යෝජනාව විවාදයට ගමු... ’’ දිනේෂ් පැවසීය. ‘‘ඒක කරන්න බැහැ... අපි ඒ දවස් වෙන් කරලා තියෙන්නේ රජයේ කටයුතුවලට... ’’ කිරිඇල්ල විරෝධය පළ කළේය. ‘‘සභානායකතුමා 04 වැනි දා රජයේ කටයුතු දාගන්න ... අපි ඒකට අපේ ස‍හයෝගයත් දෙන්නම්... හැබැයි 06 07 දින දෙක විවාදයට දෙන්න... ’’ දිනේෂ් යළි ඉල්ලා සිටියේය. පක්ෂ නායක රැස්වීමට රිෂාඩ් බදියුදීන් පැමිණියේ මේ අතරය. රැස්වීමේ සිටි විමල් දුටු රිෂාඩ් අවේශයෙන් මෙන් විමල්ට බැණ වදින්නට ගත්තේ ජාතිවාදය ද ඈඳා ගනිමිනි. මේ ඉන්නේ ලොකුම ජාතිවාදියා... රට ගිනි තියන්නේ මෙයා තමයි... අපට බොරු චෝදනා කරන්නේ මෙයා තමයි... ’’ රිෂාඩ් බැණ වැදුණේය. ‘‘මම නෙමේ ඇමැතිතුමා ඔබතුමා තමයි වහාබ්වාදය බදාගෙන රට විනාශ කරන්නේ... ඔබතුමාලා තමයි ත්‍රස්තවාදය පෝෂණය කරන්නේ... ’’ විමල් පැවසීය. ‘‘අද අපිට ආගම අදහන්න විදියක් නැහැ... පල්ලියකට යන්න විදියක් නැහැ... මෙයාලා කරන වැඩ නිසා අපි අමාරුවේ වැටිලා ඉන්නේ... ’’ රිෂාඩ් කීවේය. ‘‘ඔබතුමාලාම තමයි මේක ආරම්භ කළේ... ’’ විමල් ඇඟට පතට නොදැනී උත්තර දුන්නේය. ‘‘නැහැ නැහැ තමුන්නාන්සේ තමයි රට ගිනි තියන්නේ... ’’ රිෂාඩ් යළි යළිත් කීවේය. ‘‘එහෙම කතා කරන්න එපා ඇමැතිතුමා... තමුන්නාන්සේලා මේ සිද්ධිවලට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ... ත්‍රස්තවාදීන් තුරුලේ දාගෙන, ඒ අයට බිස්නස් කරන්න රජයේ උපකාර දීලා ත්‍රස්තවාදය පෝෂණය කළේ ඔබතුමාලයි... ’’ ප්‍රසන්න විවාදයට මැදිහත් වුණේ එසේ කියමිනි. ‘‘අපි වරදක් කරලා නැහැ... ඔයාලා ජාතිවාදීන්... ’’ රිෂාඩ් පැවසීය. ‘‘අපි කතා කරන්නේ එක ජාතියක් ගැන නෙමෙයි... මේ ත්‍රස්තවාදය නිසා රටේ සියලු ජාතීන් දැන් අනතුරට පත් වෙලා. තමුන්නාන්සේ කියනවා පල්ලිවලට යන්න බැහැ කියලා... පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා කතෝලිකයන්ට සති දෙකක් පල්ලි යන්න බැරි වුණා... අපේ බෞද්ධයන්ට වෙසක් එකටවත් පන්සල් යන්න බැරි වුණා... මේවා බොරුද...? තමුන්නාන්සේ වරදක් කරලා නැත්නම් බය නැතිව විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන්න... තමුන්නාන්සේ බය වෙලා ඇත්තේ වරදක් කරපු නිසා වෙන්න ඇති... ’’ ප්‍රසන්න දැඩිව පැවසීය. ‘‘නැහැ එහෙම කරන්න ඕනේ නැහැ... ඔයාලට ඕනේ විදියට අපි වැඩ කරන්නේ නැහැ... හොඳට මතක තියාගන්න මේ ආණ්ඩුව වට්ටවන්නත් බැහැ... වට්ටවන්න මම ඉඩ තියන්නෙත් නැහැ... ’’ රිෂාඩ් පැවසීය. ‘‘ආණ්ඩුව වට්ටවන එක ගැන නෙමේනේ ඇමැතිතුමා අපි කතා කරන්නේ... අනික ආණ්ඩු වට්ටවන්න දෙන්න නැහැ කියන්න ඔබතුමා කවුද...? ඒක තීරණය කරන්නේ ජනතාව... ’’ ප්‍රසන්න ද අතහැරියේ නැත. ‘‘ඒක හරි... ආණ්ඩු වට්ටවන කතාවක් නැහැ... අපිට ඕනේ නම් අපි ආණ්ඩු වට්ටවනවා... අපිට ඒක පැත්තක තියලා මේ විශ්වාසභංගයට ‍දිනයක් දෙන්නකො... ’’ දිනේෂ් ද කීවේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ රිෂාඩ් අතර ඇති වූ මෙම කලකෝලාහලය සන්සිඳුවීමට අවසානයේ කතානායකවරයා මැදිහත් විය. ‘‘දැන් මොකක්ද කරන්නේ කියන්නකො...?’’ කතානායකවරයා විමසුවේය. ‘‘04 වෙනිදාට ආණ්ඩුවේ කටයුතු යොදාගෙන 06, 07 විවාදයට දෙන්න... ’’ දිනේෂ් ඉල්ලා සිටියේය. ‘‘එහෙම දෙන්න බැහැ... ඕනේ නම් 18, 19 දෙන්නම්... ’’කිරිඇල්ල පැවසීය. ‘‘ඇයි කල්දාන්නේ? ‍අපි මේක කලින් ගමු... ’’ දිනේෂ් යළි ඉල්ලා සිටියේය. ‘‘ඔයාලට ඕනේ දවස දෙන්න බැහැ... අපි දෙන්නේ අපිට ඕනේ දවස... ’’ කිරිඇල්ල පැවසීය. ‘‘සභානායකවරයා විරුද්ධ නම් මට කරන්න දෙයක් නැහැ... මම මේ ගැන සාකච්ඡාව කරන්න පාර්ලිමේන්තුවේ සභා කටයුතු පිළිබඳ කාරක සභාවට භාර දෙනවා... ’’ කතානායකවරයා අවසන් වශයෙන් පැවසීය.
 

More News..