brand logo

මේ අවුරුදු කාලය ලේ කෝප කරන රක්ත දෝෂ ඇති කරයි

08 April 2021

සිංහල දෙමළ අලුත් අවුරුද්ද විශේෂ සංස්කෘතික උත්සවයකි. මෙම සංස්කෘතික උත්සවය සමය තුළ ඇතැම් පුද්ගලයන් තමන්ගේ ආහාර හා විහරණ නමැති දෛනික කටයුතු විශේෂ කර ගනිති‍. ඒ අනුව අලුත් අවුරුද්දේ නෑයන් නිවසට පැමිණීමත් සමග ආහාරවල සහ විහරණවල යම් යම් වෙනස්කම් ඇති කර ගැනීම හේතුවෙන් ශරීරය තුළද වෙනස්කම් සිදුවේ. මේ වෙනස්කම් මතුවන්නේ රෝගයන් ලෙසය. අතීතයේදී අවුරුදු සමය තුළ ආහාර හා විහරණයන් තුළ මෙවැනි රෝග තත්ත්වයන් පෙන්නුම් කළද අදවන විට එය බෙහෙවින්ම වැඩි වර්ධනය වීමක් දක්නට ලැබෙන්නේය. උෂ්ණ අධික මේ අවුරුදු කාලය තුළ අපගේ ආහාර හා විහරණ වෙනස්වීම හේතුවෙන් ඇතිවිය හැකි දෝෂ අතරින් ප්‍රධාන වන්නේ රක්ත දෝෂය. මෙය වාත රක්ත රෝග විය හැකිය. කුෂ්ට රෝග, කුරුලෑ හෝ සම පැළිම් වැනි සම ආශ්‍රිත රෝග ඇති විය හැකිය. මේ අවුරුදු කාලය තුළ මිරිස්, අම්ල, ඇඹුල් ආශ්‍රිත ආහාරයන් වැඩි වශයෙන් ආහාරය සඳහා යොදා ගන්නා බැවින් රක්ත රෝග මතුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. රක්ත දෝෂ පාලනය කර ඇති පුද්ගලයන්ගේ දෝෂ තත්ත්වයන් නැවත මතුවීමේ අවදානමක්ද පවතී. කෙසේ නමුත් මෙවැනි උෂ්ණ අධික ආහාර ලබා ගන්නා ඇතැම් පුද්ගලයන්ට රෝග හෝ රෝග ලක්ෂණ උෂ්ණ කාලයේදීම මතු වුවද ඇතැම් පුද්ගලයන්ට එය මතුවන්නේ උෂ්ණ කාලය පහව ගිය පසුව විය හැකිය. එනම් දීර්ඝ කාලීනව රෝගයක් හටගැනීමේ දෝෂ විකෘතිතාවට යාමට ඉඩ ඇත. මේ තත්ත්වය කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම ඇතිවන තත්ත්වයකි. තවද මෙම කාලය තුළද තෙල් හා මස් වර්ග වැඩි වශයෙන් භාවිත කරන බැවින් කොලෙස්ට්‍රෝල් ආශ්‍රිත ගැටලු හා මධුමේහ තත්ත්වයන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. මේ කාලය තුළ බොහෝ දෙනෙක් රසකැවිලි උෂ්ණ අධික කෑම ආහාරයට ගන්නා බැවින් මෙතෙක් කලක් ඔවුන් පාලනය කරගෙන ආ රෝග නැවත මතුවීමක් දක්නට ලැබේ. ඒ අනුව උත්සව කාලය තුළ බෝනොවන රෝගයන්ගේ වැඩිවීමක් දක්නට පිළිවන. එසේම බෝනොවන රෝගයක අවදානමක් පැවති පුද්ගලයන්ට එම රෝගය මතුවීමට මෙම කාලයේ බොහෝ ඉඩකඩ තිබේ.‍ මෙම කාලය තුළ අර්ශස්, බගන්ධර අම්ල පිත්ත රෝග මතුවීමේ බරපතළ අවදානමක් පවතින්නේය‍‍‍‍. කෙසේ නමුත් උත්සව සමය තුළ ආහාර හා වියරණ පිළිබඳව දැනුවත් භාවයකින් පසුවීම උත්සව සමයෙන් පසුව ඔබ රෝගියකු වන්නේද නැද්ද යන්න තීරණය කරනු ලැබේ. මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් සූර්යාගේ අධික රශ්මියත් උෂ්ණත්වයත් හේතුවෙන් මානසික රෝගී තත්වයන්ගේ වැඩි වර්ධනයක් පෙන්නුම් කරන කාලයකි.

උත්සව සමය තුළ රෝගයක් සාදා නොගෙන සිටින්නේ කෙසේද?

මේ වන විට රක්ත දෝෂයකින් ඔබ පෙළෙන්නේ නම් උෂ්ණ, අම්ල හා ලවණ ආහාරයන්ගෙන් හැකි පමණ ඈත්විය යුතුය. හදිසි අවස්ථාවකදී හෝ ඔබ උෂ්ණ ආහාරයක් ගත්තේ නම් ශරීරය සීතල කරන ආහාරයක් හෝ පානයක් ගත යුතුය. විශේෂයෙන්ම කොළකැඳ වැනි පානයක් ගත හැකිය. එසේම දිනකට පානය කරන වතුර ප්‍රමාණය වැඩිකිරීමෙන් ශරීරයට වැටුණු උෂ්ණ අධික ආහාරයේ බලපෑම අවම වේ. රක්තදෝෂයකින් ඔබ නොපෙළෙන්නේ එවැනි පුද්ගලයන් මේ කාලයේදී උෂ්ණ අම්ල හා ලවණ ආහාරයන් වැඩිවශයෙන් ගන්නේ නම් ඔබ රෝගියකු බවට පත්වීමේ හැකියාව පවතින්නේය. උෂ්ණ අධික ආහාර ගැනීමෙන් ලේ සහ පිත් අතර දෝෂ ප්‍රකෝපතාවක් අනිවාර්යයෙන්ම සිදුවේ. මේ හේතුවෙන් ශීර්ෂ රෝග, ඇතිවීම කෙරෙහිද සෘජු බැලපෑමක් ඇති කරයි. විශේෂයෙන්ම හිසේ ඇතිවන වේදනාව, හිස රුදාව වැනි තත්ත්වයන්ය. ‌උෂ්ණ කාලයේදී සිසිල් ජලය ස්නානය කිරීම, ශරීරය සිසිල් කරන ආහාරපාන සඳහා නැඹුරු වීම මගින් රක්ත දෝෂවලින් මිදී සිටිය හැකිය. ඒ කෙසේ වෙතත් සීත ආහාර කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීමද ආයුර්වේදය අනුව සුදුසු නොවේ. එම නිසා මෙම කාලයේ උෂ්ණාධික ආහාරපානවලින් හැකි පමණ ඈත් වී කටයුතු කිරීම ඉතාමත් වැදගත්ය‍. මේ අනුව ඔබ උෂ්ණ අධික හෝ සීතල අධික ආහාර නොගෙන කටයුතු කරන්නේ නම් අවුරුද්දෙන් පසුව රෝගීන්ගේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරනු ලැබේ. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුත්තේ කොරෝනා වයිසරය තවමත් අප රට තුළ පවතින බැවින් එයට ඔරොත්තු දීම සඳහා ඔබගේ ශරීරය හැඩගස්වා ගැනීමට කටයුතු කිරීම ඔබට මෙන්ම අන් අයටද පහසුවකි. සටහන - ශ්‍රියානි විජේසිංහ
 

More News..