brand logo

මේ අධිවේගී මාර්ගයේ පාතාලයයි

07 March 2020

පෞද්ගලික බස් රථ සමග කියවෙන අනෙක් ඒ හා බැඳුණු වචනය වන්නේ ‘මාෆියාව’ යි. හේතුව බස් කොන්දොස්තර සහ රියැදුරුගෙන් පටන්ගෙන බස් රථ හිමිකරුවන් හා වේලාසටහන්කරුවන් හරහා බස් රථ සංගම් කරා යොමුවන මෙම දැවැන්ත ජාලය පුරාම බලහත්කාරය, වංචාව සහ අක්‍රමිකතා පිරී ඇති බැවිනි. මෙම මාෆියාව හුදෙක් ඉහත කී පාර්ශ්ව විසින් පමණක් පවත්වාගෙන යන්නකැයි බැලූ බැල්මට පෙනුණත් ඉනුත් ඔබ්බට ගොස් එය රාජ්‍ය ආයතන හා දේශපාලනය සමගද සෘජුව බැඳී ඇති බව හඳුනාගත හැකිය. ඊට හොඳම උදාහරණය රටේ ජනාකීර්ණම පළාතේ වැඩිම බස් රථ සංඛ්‍යාවක් මෙහෙයවන රාජ්‍ය ආයතනය වන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තුළ සිදුවූ සහ අදටත් සිදුවන නොනවතින අක්‍රමිකතාය. මෙම ආයතනයේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ තුසිත කුලරත්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයාද වන ඔහු දෙසැම්බර් 31 වැනිදා සේවයෙන් ඉවත් කෙරෙනුයේ නව දේශපාලන වෙනස්කම් විසිනි. ඒ ඔහුගේ පාලන කාලය තුළ ආයතනයේ සිදුව ඇති බව පැවසෙන වංචා හා දූෂණ රැසක් පදනම් කරගනිමිනි. විශේෂයෙන්ම ඔහු යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ වෙනුවෙන් බලපත්‍ර (පර්මිට්) ලබා දීමේදී ‘අතයට ගනුදෙනු’ රැසක් සිදුව ඇතැයි චෝදනා රැසක් එල්ල වී තිබේ. බස් රථ සඳහා පර්මිට් දීමේ සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ අදාළ මාර්ගය වෙනුවෙන් බලපත්‍ර මෙතරම් සංඛ්‍යාවක් ඇති බව දන්වමින් ආයතනය විසින් පුවත්පත් මගින් ටෙන්ඩර් කැඳවීමයි. ඒ වෙනුවෙන් ආයතනය අවම ලන්සුවක් තබනු ලැබේ. මෙලෙස පසුගිය වකවානුවේ ආයතනය මගින් වැඩිම සංඛ්‍යාවක් දෙන ලද්දේ අධිවේගී මාර්ගය සඳහා පර්මිට්ය. ඊට හේතුවූයේ මහරගමින් ආරම්භ කොට මතුගම, බදුරලිය, හොරණ, කඩවත වශයෙන් නොයෙක් ගමනාන්ත නිර්මාණය කර ගැනීමයි. මෙලෙස ආයතනයේ ටෙන්ඩර් කැඳවීම ආරම්භ වන්නේ 2016 වර්ෂයේදීය. එවකට ඊට වැඩි වටිනාකමක් නොතිබුණු අතර මහරගම - කඩවත බලපත්‍රයක් සඳහා ටෙන්ඩරය ලබාදී ඇත්තේ ලක්ෂ 14ක වැනි මුදලකටය. ඉන් අනතුරුව 2017 සිට 2019 දක්වා ප්‍රධාන ටෙන්ඩර් කැඳවීම් 3ක් සිදු කෙරිණි. 2019 වන විට අධිවේගී පර්මිට් සඳහා අධික ඉල්ලුමක් නිර්මාණය වී තිබිණි. ඒ අනුව ටෙන්ඩර් ක්‍රියාවලියද කෙමෙන් ආයතනයේ සීමිත පිරිසක් අතට ගමන් කළේය. ඔවුන් කරනුයේ එක් එක් පුද්ගලයාගේ ගමන් අයැදුම්පත් කීපයක් ඉදිරිපත් කිරීමයි. එසේ ඉහළ ලංසු ඉදිරිපත් කොට ටෙන්ඩර් මණ්ඩලය හමුවේ පළමු දෙවන ලන්සු සඳහා ඉදිරිපත්වීම සිදු නොකරවීමට කටයුතු කරනු ලබයි. එසේ සිදු කරන්නේ ඔවුන්ගේ ලංසුවලට ටෙන්ඩරය ඉල්ලා සිටීමට මගපාදා ගැනීම සඳහාය. යම් හෙයකින් ටෙන්ඩරය කිසිවකු විසින් හෝ ඉල්ලා නොසිටින්නේ නම් ආයතනය විසින් නම් කරන අවම ලංසුවට 10%ක් එක් කොට කවරකුට හෝ බලපත්‍රය විකුණයි. එය පැහැදිලිවම නිලධාරීන්ට වංචනික ක්‍රියා කිරීම සඳහා සකසාගත් මාර්ගයක් බවද පැවසේ. නිත්‍ය මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේදී ඉල්ලුම්කරුවන් සඳහා උපදෙස් මාලාව නමින් ආයතනය විසින් නිකුත් කර ඇති ලේඛනයට අනුව දෙනු ලබන ටෙන්ඩරය සඳහා අදාළ වන මුදල වාරික වශයෙන් ද මාස 06ක් ඇතුළත ගෙවිය හැකිය. පළමු වාරිකය ගෙවා මසා 06ක් ඇතුළත ඉතිරිය සම්පූර්ණ නොකළහොත් ටෙන්ඩරය අවංලගු වේ. එහෙත් එදා මෙන්ම අදද ආයතනය තුළ එසේ සිදු නොවෙයි. සියල්ල වූයේ සහ වන්නේ අතයට ගනුදෙනු හරහාය. මෙම අක්‍රමිකතා අතුරින් ආසනන්ම සිදුවීමක් වන්නේ මොරටුව - බත්තරමුල්ල මාර්ගයේ ටෙන්ඩර් 04ක් කැඳවීමයි. මෙහිදී වැඩිම ලංසුව ඉදිරිපත් වන්නේ ලක්ෂ 67කටය. දෙවැනි ලංසුව ලක්ෂ 20කි. ඒ දෙකම නිලධාරීන් සිය හිතෛෂීන් හරහා ඉදිරිපත් කරවූවාය. එම ලංසු දෙකටම ටෙන්ඩර් කැඳවීමේදී ලංසුකරුවන් ඉදිරිපත් වන්නේ නැත. එම නිසා අදාළ අවස්ථාවේ එම ටෙන්ඩර් නිකුතුව සිදුවන්නේ නැත. එහෙත් පෙරකී හිටපු සභාපති තුසිත කුලරත්න ‘ගෙදර යන’ අවස්ථාවේ ඉහත මාර්ගය සකසන්නන් ආකාරයට අනුව එක ගොඩට මේ ටෙන්ඩර් සියල්ල සිය හිතවතුන්ට දී ගොස් ඇති බව පැවසේ. ලක්ෂ 08ට අවම ලංසුව පැවැත්වීම ටෙන්ඩර් 04ට අදාළ ලක්ෂ 08ට 10%ක් එකතු කොට 880,000 කට ලබාදීමට ඔහු කටයුතු කරයි. එහි ඇති ප්‍රධානම නීතිවිරෝධීභාවය වන්නේ 2019 පෙබරවාරි මාසයේදී කැඳවූ ටෙන්ඩරය නැවත ටෙන්ඩර් කිරීමකින් තොරව මාස 10කට පසු එනම් 2019 දෙසැම්බර් මාසයේදී හිතුමතයේ ලබාදීමයි. එලෙස බලපත්‍ර ලබාදීම සිදුව ඇත්තේ මෙසේය. එනම් එම්.එච්.එම්. චාමින්ද නම් අයට C298055 අංකය යටතේ අයවිය යුතු මුදලින් 50%ක් අය කර ගැනීම ඩබ්.ඒ.ඩබ්. ටයිටස් යන අයගෙන් C298056 අංකය යටතේ 126,000ක මූලික මුදලක් අය කර ගැනීම, ඒ.එම්.අයි.එන්.එම්. ජයතිලක යන අයගෙන් C298057 අංකය යටතේ 75%ක මුදලක් අයකර ගැනීම, පී.කේ.සී.එල්. පෙරේරා යන අයගෙන් C298058 අංකය යටතේ 50%ක මුදලක් අය කර ගැනීම, ජේ.ඒ.කේ. ජයලත් යන අයගෙන් C298060 අංකය යටතේ 50%ක මුදලක් අය ගැනීම ආදී වශයෙන් මුදල් අය කර ගැනීම් සිදු කර තුසිත කුලරත්න විසින් එක ගොඩට මෙම බලපත්‍ර සියල්ල නිකුත් කිරීමට කටයුතු කර ඇත. ඔහුව සභාපතිධුරයෙන් ඉවත් කිරීමට දින දෙකකට පෙර එක් දිනයක් ඇතුළත මෙම සියලු බලපත්‍ර ලබා දී තිබේ. අධිවේගයේ බත්තරමුල්ල මාර්ගය සඳහා බලපත්‍රයක් සිය හිතවතකුට ලබාදීමේදී ද ඉතාම අපූරු ක්‍රමවේදයක් හිටපු සභාපතිවරයා ප්‍රමුඛ ආයතනයේ ඉහළ සිට පහළට සිටින නිලධාරීන් අනුගමනය කර ඇත. අදාළ බලපත්‍රය ඉල්ලුම් කරන බස් රථය වන්නේ WPND - 4032යි. මෙම බස් රථය අදාළ මාර්ගයේ ධාවනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා දෙන මෙන් අතුකෝරළ නමැති පුද්ගලයෙක් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යා ධිකාරීවරයාගෙන් ඉල්ලුම් කර තිබේ. මෙම බලපත්‍රය ලබාදීම සඳහා මෙම ලිපිය විසි දෙනකු අතට ගොස් තිබේ. ඒ සභාපතිවරයාගේ සිට 20 දෙනකු අට මෙම ලිපිය යොමුවන්නේ ඒ සියලු දෙනාටම මෙම බලපත්‍රය අත යට ගනුදෙනුවක් සේ ලබාදීමේ අවශ්‍යතාව පැවතියත් තමා ඊට නොගෑවී කටයුත්ත කිරීමට සියල්ලන්ටම අවශ්‍ය බැවිනි. එම නිසා තමා නොව අනෙකා අනුමැතිය ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් අදාළ පිරිස අත්සන් 20ක් තැබෙන තුරු අනිත් අත යවයි. මෙම බලපත්‍රය සභාපතිවරයාගේ හිතවතකුට සෘජුවම ලබා දෙන්නක් වන අතර එහි ඇති විශේෂත්වය වන්නේ ඉහත කී අතුකෝරළ නමැති අයැදුම්කරු ඉදිරිපත් කරන ලිපියට මනීෂා ලක්මාලි සමරවීර නමැත්තියක විසින් අවසානයේ අත්සන් තබා තිබීමයි. අවසානයේ රුපියල් 880,000කට මෙම බලපත්‍රය දී ඇත. මෙම බලපත්‍රය වෙනුවෙන් ටෙන්ඩ​ර් කැඳවීමේදී රුපියල් ලක්ෂ 67කට සහ ලක්ෂ 20කට ටෙන්ඩර් අයැදුම්පත් ලැබී තිබුණද එම ඉල්ලුම්කරුවන්ට අවම වශයෙන් දැනුම්දීමක් හෝ සිදුකර නැත. මීට අමතරව හිටපු සභාපතිවරයා විසින් අවසන් මොහොතේ තවත් අධිවේගී මාර්ග බලපත්‍ර රැසක් නීතිවිරෝධී ආකාරයෙන් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එනම් රුපියල් 800,000කට C298098 යටතේ S.M.P. ලක්මාල් නමැත්තාට C298097 යටතේ රුපියල් 660,000කට T.L. සමරවීර නමැත්තකුට, C298095 යටතේ රු. 800,000කට C.V. වන්නිආරච්චි නමැත්තකුට ආදී වශයෙන් බලපත්‍ර ගණනාවක් ලබාදී ඇත. එම බලපත්‍ර සඳහා වූ අයදුම්පත්වල අදාළ ගමන් මාර්ගයක් සඳහන් කර නොමැත. ND5876 නමැති බස් රථය සම්බන්ධයෙන්ද බරපතළ අක්‍රමිකතාවක් වී ඇත. මෙම බස් රථය සඳහා සුඛෝපභෝගී බසයකට හිමි බලපත්‍රයක් ලබා දෙන්නේ ​මොරටුව සහ කොළඹ අතර ගාලු පාරේ ධාවනය සඳහායි. එහෙත් මෙම බසය ධාවනය කරනු ලබන්නේ පානදුර - කඩුවෙල අධිවේගී මාර්ගයේය. මෙම ධාවනය වන්නේද දෛනිකව ලබා ගන්නා තාවකාලික බලපත්‍ර යටතේය. තාවකාලික දෛනික බලපත්‍ර යනු විනෝද චාරිකා සහ වන්දනාගමන් ආදිය යෑම සඳහා එක දිනකට ලබාදෙන බලපත්‍රයයි. බස් රථය මෙලෙස ධාවනය කෙරෙනුයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ සෘජු මැදිහත්වීම මත බව පැවසේ. හිටපු සභාපතිවරයාගේ කාලයේ සිදුවූ අක්‍රමිකතා රැසකට සම්බන්ධ පුද්ගලයකු ලෙස සැලකෙන අයකු වෙනත් පුද්ගලයකු නමින් ND 5949 බස් රථය කීනියාවල - මතුගම මාර්ගයේ ධාවනය සඳහා බලපත්‍රයක් ලබාගෙන ඇත. එහෙත් එම බලපත්‍රයෙන් ඔහු බස් රථය ධාවනය කරවනුයේ අධිවේගී මාර්ගය හරහා තීනියාවල සිට කොළඹ දක්වාය. තීනියාවල - කොළඹ මාර්ගය සඳහා බලපත්‍රයක් ටෙන්ඩර් කළහොත් එහි වටිනාකම රුපියල් කෝටිය ඉක්මවනු ඇතැයි අධිකාරියේ නිලධාරීහු පවසති. ඒ අනුව මෙම බස් රථය ධාවනය හරහා අධිකාරියට අවම තරමින් අහිමි වන මුදල රුපියල් කෝටියකි. මෙම පුද්ගලයා හිටපු පළාත් ඇමැතිවරයකුගේ පුත්‍රයකුගේ සම්බන්ධීකාරවරයකු ලෙස කටයුතු කර ඇත. අවසානයේ ඔහුව බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරයේ අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයකු ලෙසින් පත් කෙරේ. ඉතාම ඛේදනීය තත්ත්වය වන්නේ මෙම පුද්ගලයාට මූලික අධ්‍යාපන සුදුසුකම් තබා අකුරු ලිවීමේ හෝ හැකියාවක් නොතිබීමයි. දේශපාලන බලපෙරළියකට සමගාමීව පසුගිය දෙසැම්බරයේ සිදුවුණ ආයතනයේ බලය වෙනස් වීමෙන් අනතුරුව ඔහුගේ අධ්‍යක්ෂ ධුරය අහෝසි වන නමුත් අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු සකස් කරගත් ආයතන හැඳුනුම්පත මෙතෙක් අධිකාරියට භාර නොදී එය භාවිත කරමින් විවිධ ව්‍යාපාරවල නිරත වන බව වාර්තා වේ. මෙවැනි ජාවාරම් අතරතුර ව්‍යාජ සහතික පත් උපයෝගී කරගෙන විවිධ පුද්ගලයන් අධිකාරියේ සේවයට අනුයුක්ත කිරීමද පසුගිය වකවානුවේදී සිදුව තිබේ. එවැනි එක් පුද්ගලයකු වන්නේ අධිකාරියේ ඉහළ තනතුරක් දරන අයකුගේ සහෝදරයන්ය. මෙම පුද්ගලයාගේ අධ්‍යාපන සහතිකපත් අපැහැදිලි බවත් ඔහුගේ විභාග ප්‍රතිඵල සනාථ කළ නොහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව විසින් අධිකාරියට දන්වා එවා ඇත. එහෙත් මෙම පුද්ගලයන්ට ගුණසිංහපුර ප්‍රධාන බස් නැවතුම්පොළේ එක් මාර්ගයක බස් රථ හැසිරීමේ බලය ලබාදී තවමත් සේවයේ යොදවා තබා ගැනීමට අධිකාරිය කටයුතු කරමින් සිටී. මෙලෙස සේවය කරන පුද්ගලයන් 05 දෙනකු සිටින බව පැවසේ. විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයන්ට අධිකාරියෙන් වැටුප් නොගෙවීමයි. ඒ වෙනුවට මෙම තනතුරු හරහා කප්පම් රැස් කිරීම සිදුවන බව තතු දත් අධිකාරියේ සේවකයෝ පවසති. අධිකාරිය මෙලෙස කප්පම් ගැනීම සඳහා සෘජුව අනුග්‍රහය දක්වා ඇත. මේ දිනවල කඩුවෙල සිට පිටකොටුව දක්වා ධාවනය කෙරෙන බස් රථ දෙකක් ඇත. ඒවායේ අංක වන්නේ ND 6834 - ND 5876යි. කඩුවෙල කොටුව අතර ධාවනය කළද මෙම බස් රථ දෙකටම ඇත්තේ වෙනත් මාර්ග දෙකක ධාවනය සඳහා ලබාදී ඇති බලපත්‍ර 02කි. පළමු බස් රථය පානදුර කඩුවෙල බලපත්‍රයක් ඇති අතර දෙවන්නට ඇත්තේ මොරටුව - පිටකොටුව බලපත්‍රයකි. මෙලෙස වෙනත් මාර්ගයක් වෙනුවෙන් ධාවන බලපත්‍ර ලබාදී ඇති බස් රථ දෙකක් බලහත්කාරයෙන් කඩුවෙල - පිටකොටුව මාර්ගයේ ධාවනය කරවීම පිළිබඳව කොළඹ - 02 ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු ඩබ්.ආර්. වෙත්තසිංහ විසින් අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා ලිඛිතව දැනුවත් කර ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් සාමාන්‍යාධිකාරීවරයා වෙනුවට හිටපු සභාපති තුසිත කුලරත්න විසින් නැවත ලිපියක්ද යොමු කරමින් වහාම අදාළ නීතිවිරෝධී ධාවනය අත්හිටුවන ලෙසද දැනුම් දී තිබේ. එහෙත් අදටද අදාළ බස් රථ දෙක කඩුවෙල - කොළඹ මාර්ගයේ ධාවනය කෙරෙනු ලැබෙයි. මේ අතර විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් කළ අභ්‍යන්තර විගණනයකදී අනාවරණය වූ අක්‍රමිකතා රැසක්ද ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ පෙර කී විශේෂ චාරිකා සඳහා ලබා දෙන එක් දින බලපත්‍ර යටතේ දෛනිකව අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනයයි. නිත්‍ය මාර්ග බලපත්‍ර ලබා නොදී මෙලෙස අතයට ගනුදෙනු ලෙස දෛනික බලපත්‍ර ලබාදීම ඔස්සේ අධිකාරියට සිදුව ඇත්තේ රුපියල් කෝටි ගණනක දැවැන්ත පාඩුවකි. අදාළ විගණන වාර්තාවට අනුව අධිවේගයේ මහරගම - කඩවත ධාවනය සඳහා 2019 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල ලබාදී ඇති අවසරපත්‍ර සංඛ්‍යාව 404කි. කඩවත - මොරටුව අතර අවසර පත්‍ර සංඛ්‍යාව 123කි. කඩවත - පානදුර අතර 23ක් සහ මහරගම - අලුත්ගම අතර 41ක් වශයෙන් මෙලෙස අනවසර බලපත්‍ර රාශියක් දී ඇත. අධික මගී ඉල්ලුමක් සහිත මෙම මාර්ගයන් සඳහා යම් හෙයකින් ටෙන්ඩර් කැඳවා බලපත්‍ර ලබා දුනහොත් එක් බස් රථයකින් අවම තරමින් එක්කෝටි පනස් ලක්ෂයකට වඩා වැඩි මුදල් ගාස්තු ලෙස අය කර ගත හැකි බව පූර්ව ටෙන්ඩර් මණ්ඩල වාර්තා පෙන්වා දෙයි. එහෙත් එම පියවර අනුගමනය නොකරන්නේ මීට මැදිහත් වන සියලුම නිලධාරීන්ට අල්ලස් ලැබෙන බැවිනැයි අධිකාරියේ වාර්තා සඳහන් කරයි. මේ අතර කඩවත පර්යන්තයෙන් ගමන් වාර ආරම්භ නොකරන මාර්ග රැසක් සඳහාද අධිවේගය හරහා ගමන් කිරීමට දෛනික විශේෂ චාරිකා බලපත්‍ර මගින් අවසර ලබාදීමද පැහැදිලි අක්‍රමිකතාවක් ලෙස 2019/11/25 දින නිකුත් කරන ලද ඉහතකී අභ්‍යන්තර විගණන වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව 2019 සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී මීරිගම - පානදුර මාර්ගයේ ගමන් ගන්නා ND - 5366 බසයට අලුත්ගම - මීගමුව නව මාර්ගයක් සකස් කොට (නීතිවිරෝධීව) ධාවනය සඳහා අවකාශය ලබාදී ඇති අතර NC - 2633 බසයට ගම්පහ - බත්තරමුල්ල නිත්‍ය මාර්ගය වෙනුවට ගම්පහ - නුගේගොඩ මාර්ගයක් සකස් කර දී ඇත. මෙසේ NC - 7828, NC 8442, ND 4999 ආදී බස් රථ විශාල සංඛ්‍යාවක් සඳහා අතුරු මාර්ග නිර්මාණය කර අධිකාරිය විසින් බලපත්‍ර නිකුත් කර තිබේ. අධිකාරියට නිලධාරී හා සේවක මණ්ඩල බඳවා ගැනීමේදී සිදුවන තවත් අක්‍රමිකතා ද රැසකි. පසුගිය වකවානුවේ පුරප්පාඩු වූ තනතුරු රැසක් මුදල් ලබා ගැනීමෙන් පුරවා ඇත. නිදසුනක් ලෙස පරිපාලන නිලධාරී (ධාවන) ධුරය සඳහා නිලධාරියකු බඳවා ගැනීම පෙන්වා දිය හැකිය. මේ සඳහා අධිකාරියට අයැදුම්පත් 17ක් ලැබී ඇත. පුරප්පාඩු 06ක් සඳහා අයැදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතව තිබිණි. මේ සඳහා පැවත්වූ සම්මුඛ පරීක්ෂණයේදී අවම ලකුණු ලබා ගත්තවුන් (ලකුණු 16ක්) අතර සිටි බී.කේ.එන්.එස්. කරුණාචන්ද්‍ර නමැත්තකුටද ද පත්වීමක් ලබා දී තිබේ. ඒ ඉහළම ලකුණු ලබා ගත්තවුන් 04ක් මගහරිමිනි. අදාළ පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයායි. මෙම නීතිවිරෝධී පත් කිරීම පිළිබඳව අමාත්‍යාංශ ලේකම් මට්ටමින් පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ව ඉන් ඉවත් කරන ලෙස දැනුම්දී ඇතත් අද දක්වාම ඔහු සිය බලය විහිදුවමින් අදාළ ධුරයේ රැඳී සිටී. මේ ආකාරයට නිමක් නැති දූෂණ හා අක්‍රමිතා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තුළ සිදුව ඇති බවට ඕනෑතරම් සාක්ෂි පවතී. අවාසනාවන්ත කරුණ වන්නේ තුසිත කුලරත්න සභාපති පුටුවෙන් ඉවත්ව ගියද නව සභාපති ලෙස එම පුටුවට පත්ව ආ ප්‍රසන්න කුරේ යටතේද තවමත් මෙම චෝදනාවන්ට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීමයි.   නයන තරංග ගමගේ
 

More News..