brand logo

මේඩ් ඉන් ශ්‍රී ලංකා මල්ටි බැරල් රොකට් ලෝන්චර්

10 February 2019

යුද හමුදාව රොකට් ලෝන්චර් මිසයිල හැදුවේ මෙහෙමයි මෙවර ජාතික නිදහස් දින සැමරුමට සහභාගි වන්නේ දැයි මාධ්‍යයන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. ‘‘අනිවාර්යයෙන්ම යනවා. මොකද මේ සැරේ අපි හදපු මිසයිල් එකක් ප්‍රදර්ශනය කරනවනේ’’ හිටපු ජනාධිපතිවරයාගේ මේ පිළිතුර මෙවර ජාතික නිදහස් දින සැමරුම පිළිබඳ ජනතාවගේ උනන්දුව වඩවන්නක් විය. පෙබරවාරි 04 දා ජාතික නිදහස් දින සැමරුමට සහභාගි වූ දෙස් විදෙස් ආරාධිතයන්ට සේම රූපවාහිනිය ඔස්සේ එය නැරඹූ සෑම දෙනාටම දේශීයව නිෂ්පාදිත මේ යුද අවිය දැක ගත හැකි විය. එය බැරල් 20 මල්ටි බැරල් රොකට් ලෝන්චරයකි. (MBRL) ඒ සමග ඊට භාවිත කරෙන මිසයිල උණ්ඩද ප්‍රදර්ශනය කෙරිණි. එයද දේශීයව නිෂ්පාදනය වූවකි. සිව්වැනි ඊළාම් යුද්ධයේදී ඉදිරියට යන පාබල හමුදාවන්ට ශක්තිය දුන් ප්‍රධාන අවියක් වන්නේ මල්ටි බැරල් රොකට් ලෝන්චර් අවියයි. ඒ සමයේ බැරල් 40 මෙම බර අවිය ගෙන්වනු ලැබුවේ ප්‍රධාන වශයෙන්ම පාකිස්තානයෙන් සහ චෙක් රාජ්‍යයෙනි. එම අවිය මෙරට නිෂ්පාදනය සඳහා මූලික අඩිතාලම වැටෙන්නේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වය යටතේ ආරම්භ කෙරුණු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය යටතේය. මෙම මධ්‍යස්ථානය යටතේ මුලින්ම ආරම්භ වන්නේ ක්ලේමෝ බොම්බ පුපුරුවා හැරීම වළක්වාලන ජෑමර් නිෂ්පාදනය කිරීමේ පර්යේෂණයය. ඒ සඳහා යුද හමුදාවේ පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේද සහාය ලැබිණි. මෙම ඒකක සඳහා 2014 වසරේදී හෝමාගම පිටිපන තාක්ෂණ උද්‍යානයෙන් අක්කර දෙකහමාරක ඉඩමක් ලබා දෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා යුද උපකරණ හා අවි නිෂ්පාදනය සඳහා පුළුල් පහසුකම් ලබා දෙන්නට පියවර ගත්තේය. යුද්ධය අවසන් වීමෙන් පසු මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා, මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, හා මේජර් ජෙනරාල් රේණුක රොමෙල් යටතේ ක්‍රියාත්මක ඒ යුද හමුදා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මූලික අවධානයට යොමු වූයේ යුද තාක්ෂණය හා තොරතුරු තාක්ෂණ පර්යේෂණය කෙරෙහිය. මෙම මධ්‍යස්ථානයේ වත්මන් අධ්‍යක්ෂවරයා ලෙස වත්මන් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ටිරාන්ද සිල්වා වර්ෂ 2015දී පත්වූ අතර ආයුධ නිෂ්පාදනය සඳහා පර්යේෂණ ආරම්භ වන්නේ ඉන් පසුවය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක ඇමැති ලෙස ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය සේම විද්‍යාගාර හා තාක්ෂණ පහසුකම් ලබා දෙනු ලැබීය. ඒ අනුව 2016 වසරේදී මිසයිල තාක්ෂණය පිළිබඳ පර්යේෂණ ආරම්භ වූ අතර න්‍යෂ්ටික රසායනික ජීව විද්‍යාත්මක පර්යේෂණ අංශය ආචාර්ය චන්දන පෙරේරා යටතේ ආරම්භ කෙරෙන්නේ මින් පසුවය. විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන ඔහු ඒ වන විටත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශයේ කටයුතු කළ නිලධාරියකු විය. ‘‘අපට සියයට සියයක් අපේම මිසයිලයක් හදන්න අවශ්‍ය වුණා. අපේ පර්යේෂණ කණ්ඩායම් පර්යේෂණ කරගෙන යන අතරේ චෙක් රාජ්‍යයෙන් ගෙනාපු මල්ටිබැරල් අවියක රෙපයාර් එකක් ආවා. අපි ඒ අවිය ගලවලා සියලු දේ අධ්‍යයනය කළා. මල්ටි බැරල් තාක්ෂණය අධ්‍යනය කරලා ලබාගත් දැනුම අනුව අපේම තනි බැරලයේ මල්ටි බැරලයක් නිෂ්පාදනය කළා. චීනයෙන් යුද සමයේ ගෙන්වූ මල්ටි බැරල් රොකට් උණ්ඩයක් පාවිච්චි කරලා බැලුවා. ඒක සාර්ථක වුණා’’ යැයි බ්‍රිගේඩියර් ටිරාන්ද සිල්වා සඳහන් කළේය. යුද්ධයට ගෙන ආ මල්ටි බැරල් උණ්ඩ හා අවි නුදුරේදී කල් ඉකුත් වන බැවින් මෙරටදී නිෂ්පාදනය කිරී‍මේ අවශ්‍යතාව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙම පර්යේෂණ කණ්ඩායමට අවධාරණය කර තිබුණේය. එක් බැරලයේ මල්ටි බැරල් විදිනය උණ්ඩ හතරක් යෙදිය හැකි එකක් බවට පරිවර්තනය වන්නේ ඉන් පසුවය. අපේ ෆයරින් මැකැනිසම් එක චෙක් කරලා බැලුවා. ඒක අපි යොදාගත් අලුත් ටෙක්නොලජි එකක්. ඒක සාර්ථක වුණා. ඒක සාර්ථක වුණාම බැරල් දහයේ රොකට් ලෝන්චරයක් හැදුවා. ඉදිරි සති කිහිපය තුළ බැරල් විස්සේ රොකට් ලෝන්චරය හදලා ඉවර කරන්නත් පුළුවන්. මේකෙන් පස්සේ බැරල් හතළිහේ ලෝන්චරය හදන්න අපි සූදානම් වෙනවා. මේ අතරේ තමයි අපේම කියලා රොකට් උණ්ඩයක් නිෂ්පාදනය කරන්න හැකිවුණේ. බ්‍රිගේඩියර් ටිරාන්ද සිල්වා පවසන ආකාරයට මෙම රොකට් උණ්ඩය සියයට සියයක්ම දේශීය අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කළ එකකි. සාමාන්‍යයෙන් භාවිත වන නොසල් හයේ උණ්ඩයට අවශ්‍ය ආකාරයට මෙය නිෂ්පාදනය කෙරෙන්නේය. අපේම රටේ නිෂ්පාදනයක් ලෙස ඊට යොදන ඉන්ධනද යොදාගැනුණේය. කිලෝග්‍රෑම් තුනත් පහත් අතර පුපුරන ද්‍රව්‍ය එහි අඩංගු වෙනවා. අපේම ෆෝමියුලා එකකට කෙමිකල් වර්ග කිහිපයක් එකතු කරලා තමයි නව තාක්ෂණය යොදා ගත්තේ. මෙතැන රොකට් උණ්ඩයත් බැරලයත් සියයට සියයක්ම අපේ ඒවා කියලා ආඩම්බරයෙන් පෙන්වා දෙන්න පුළුවන් වුණා’’ යැයි බ්‍රිගේඩියර් ටිරාන් පවසන්නේය. යුද්ධයක් නොමැතිව ලංකාවේ හමුදාවන්ට මිසයිල හදන්නේ මොනවාටදැයි ඇතැම්හු මෙම ව්‍යාපෘතියට එරෙහිව කතා කරන්නට වූහ. නමුත් එය නොතැකූ පර්යේෂණ අංශය තමන්ට වූ අභියෝගයේ සියලු කටයුතු අවසන් කරමින් නිදහස් දිනයට තම තාක්ෂණය ගෙනහැර පාන්නට සැලසුම් කළහ. අපට සරිලන ආකාරයට සැහැල්ලුවෙන් හැසිරිය හැකි හයිඩ්‍රොලික් පද්ධතියක් සහිතව නාවික හමුදා නෞකාවලට අවශ්‍ය මල්ටි බැරලයක් මේ සමගම නිෂ්පාදනය කෙරුණේය. යොදන ඉන්ධන ප්‍රමාණයම අඩු කර උණ්ඩය යන දුර ප්‍රමාණය අවශ්‍ය ආකාරයට සකසා ගැනීමේ තාක්ෂණයක් එහිදී භාවිත කෙරුණේය. සැබවින්ම මෙම රොකට් උණ්ඩ නිෂ්පාදනය පිළිබඳ වූ අභියෝගයන් ගැනද බ්‍රිගේඩියර් ටිරාන් ද සිල්වාගෙන් විමසුවෙමු. සිවිල් ජනතාව ඉන්න පැතිවල මේවා හදන්නෙ ඇයි? මේවා රටින් ගේන්න පුළුවන්නෙ කියල ඇතැම් අයගෙන් බලපෑම් ආවා. නමුත් ජනාධිපතිවරයා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරුන් සියලු පහසුකම් ලබාදුන්න නිසා අපිට අපේම රොකට් තාක්ෂණයක් 71 වැනි නිදහස් දිනයට අභිමානයෙන් පෙන්වන්න හැකිවුණා. රොකට් තාක්ෂණය ගැන නව පියවරක් තබමින් ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනයන පර්යේෂණවලදී මෙම කණ්ඩායම් කළ කැපකිරීම මෙන්ම ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතා රටට කළ මෙහෙවරද අමතක කළ නොහැකිය. ඊශ්‍රායල් සංචාරයකදී රටේම ආන්දෝලනයක් ඇති කරමින් මියගිය අමිත් මුනින්ද්‍රදාස මහතා මල්ටි බැරල් රොකට් අවි මෙරටදීම අලුත්වැඩියා කරන්නට තම දැනුම යොදාගත් දක්ෂයකු ලෙස එවකට ප්‍රකට විය. මෙතෙක් කලක් ලංකාවට පාකිස්තානයෙන් හා චෙක් රාජ්‍යයෙන් ගෙන්වූ මල්ටි බැරල් අවිවලට වඩා මෙරට නිෂ්පාදනය කළ අවියේ හා උණ්ඩයේ විශේෂත්වය එය ඩිජිටල් තාක්ෂණයෙන් නිමවීමය. මීට පෙර භාවිත කෙරුණේ ඇනලොග් තාක්ෂණයෙන් යුත් රොකට් අවිය. මේ සියලු කාරණා වගේම වැදගත් වන්නේ පිරිවැයය. සාමාන්‍යයෙන් මල්ටි බැරල් අවියක මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5කි. උණ්ඩයක මිල ඇමෙරිකන් ඩොලර් 809ක් 1000ක් අතරය. නමුදු මෙරටදී මෙම බැරල් යන්ත්‍රය සහ රොකට් නිෂ්පාදනයට හා සියලු පර්යේෂණවලට වැයවී තිබුණේ රුපියල් මිලියන හතකි. එවන් වටපිටාවක තානාපති අංශ අතරද කතාබහක් ඇතිවූයේ 71 වන ජාතික දින සැමරුමේදීය. ශ්‍රී ලංකාවට මෙම අවි නිෂ්පාදනයට තාක්ෂණය ලැබුණේ කෙසේද? මුදල් ලැබුණේ කෙසේද යන්න ඔවුන්ට ප්‍රශ්නය වී තිබුණේය. අප වැනි රටකට යුද අවි නිෂ්පාදනය කළ හැකිද යන ප්‍රශ්නයද ඇතැමුන් නගා තිබුණි. එහෙත් සමූල ඝාතන අවි නොවන අවියක් නිෂ්පාදනය කිරීමට අප වැනි රටකට වුවද බාධාවක් නැත. තිස් වසරක යුද්ධයේ අත්දැකීම් අනුව ලංකාවේ ප්‍රති ත්‍රස්තවාදී යුද උපක්‍රම හා දැනුම් සම්භාරයක් ඇති හමුදාවක් ඉන්නේ. ඔවුන් ලබාගත් අත්දැකීම් මත රටේ ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රියක් තියෙන්න ඕනේ. අත්‍යවශ්‍ය වන එම්.බී.ආර්.එල්. රොකට් යන්ත්‍රයක් පර්යේෂණ මගින් හැදුවා. සාර්ථක අත්හදා බැලීමක් කළා. මේකෙන් හමුදාව ස්වයංපෝෂිත වනවා. මේකෙන් ශ්‍රී ලංකාවේ යුද ශක්තිය ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කරන්න හැකිවුණා යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සති අග අරුණට පැවසුවේය. අපට ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා ශක්තිමත් හමුදාවක් අවශ්‍යයි. ලංකාව කාටවත් යටත් නොවී කෙළින් සිටින්නට නම් ශක්තිමත් යුද හමුදාවක් තිබිය යුතුයි. මේ වගේ උපකරණ රට තුළ නිෂ්පාදනය කිරීම අපේ රටේ ශක්තිමත්භාවය පෙන්නුම් කිරීමට හැකිවනවා’’ යැයිද යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. වැදි ජනතාවට තමන්ගේ අත්දැකීම් මත පොරවක් නිෂ්පාදනය කරන්නට හැකිනම් තිස්වසරක යුද්ධයක අත්දැකීම් ඇති හමුදාවකට තාක්ෂණය යොදාගෙන අවියක් නිපදවීමම අරුමයක් නොවන්නේය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..