brand logo

මෙවර ජනපතිවරණයට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි

19 October 2019

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි දස දහසක් දේශීයව මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ටෙන්ඩර් කැඳවීමට සූදානම් වෙයි. ප්‍රමාණ තුනකින් යුත් ඝනකම කාඩ්බෝඩ්වලින් සකස් කරන ලද ඡන්ද පෙට්ටි මෙලෙස මිලදී ගැනීමට නියමිතය. බර අඩු, එක් පුද්ගලයකුට ඔසවා රැගෙන යා හැකි අයුරින් මෙම ඡන්ද පෙට්ටි නිෂ්පාදනය කළ යුතු වෙයි. ඡන්ද පෙට්ටි විදේශීය රටවලින් ආනයනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර තීරණය කළත් එම තීරණය පසුගිය සිකුරාදා (18වැනිදා) පැවති සාකච්ඡාවකදී වෙනස් කර තිබේ. ඒ අනුව දේශීයව පමණක් ඡන්ද පෙට්ටි මිලදී ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක පැවසීය. මෙම ඡන්ද පෙට්ටි මිලිමීටර් අටේ ඝනකමින් යුතුව ඉබියතුරු ලෑමට හැකි කොන්ඩිපට්ටම් සවි කළ හැකි අයුරින් නිෂ්පාදනය කළ යුතු බවද හෙතෙම පවසයි. මීට පෙර පැවති ඡන්ද විමසීම්වලදී එක් ඡන්ද පෙට්ටියකට ඡන්දය සලකුණු කළ පත්‍රිකා 700ක් ඇතුළත් කළ හැකිය. එහෙත් මෙවර ඡන්ද පත්‍රිකාව දිගු වීම හේතුවෙන් එක් ඡන්ද පෙට්ටියකට පත්‍රිකා 400ක් පමණ ඇතුළත් වේ යැයි මැතිවරණ කොමිෂන් සභාව අනුමාන කර ඇත. ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන 12000ක් ඇත. මැතිවරණ කොමිෂන් සභාව සතුව ඡන්ද පෙට්ටි 25000ක් පමණ මේ වන විට ඇති බව අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක පැවසුවේය. උදයජීව ඒකනායක
 

More News..