brand logo

මෙල්ඩර් පෙදෙසේ ඉඩම් පිටස්තරයන් අත්පත් කර ගෙන

26 February 2021

වේරැස් ගඟ ව්‍යාපෘතියේ අවසාන අදියර ලෙස සැලකෙන නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ ඉඩම් බාහිර පුද්ගලයන් විසින් අත්පත්කර ගැනීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත. මෙම ප්‍රදේශය කේන්ද්‍රකොට ගෙන ඇවිදින මංතීරුවක්ද මේ වන විට සැකසෙමින් තිබෙන අතර මේ හේතුවෙන් එයටද ගැටලු රැසක් උද්ගතව ඇ තැයි ඔවුහු පවසති. එම ප්‍රදේශය තුළින් නුගේගොඩ නගරයේ ජලය ගලායාමට ඇළ මාර්ගයද වැටී තිබේ. අඩි දහතුනක් වුවද අනවසර ඉදිකිරීම් හේතුවෙන් එය අඩි 8ක් දක්වා පටුවී ඇත. ඇවිදින මංතීරු මේ දුර තවත් වැඩිකිරීමට යෝජනා වී තිබුණද මෙරට ජනප්‍රිය නළුවකුද එම ඉඩමේ කොටසක් අත්පත් කරගෙන ඇති හෙයින් එම මංතීරුවද වෙනස් කර ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. ලංකාවට එවා තිබූ මත්ද්‍රව්‍ය බහාලුම් තොගයක් මුදාගැනීමට ලිපියක් නිකුත් කළ අමාත්‍යාංශ ලේකම්වරයකුද එම වේරුස් ගඟ ව්‍යාපෘතියේ ඉඩමක් ගොඩකර එයට ව්‍යාජ ලිපිලේඛන සකස් කර ඇති බවද පැවැසේ. එම පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුට මෙම ඉඩම් ලැබුණු ආකාරය ගැන විමර්ශනයක් සිදුකළ යුතු බවද ප්‍රදේශවාසීහු අවධාරණය කරති. දේශපාලන ක්‍රියාකාරිකයකු වන පුද්ගලයකු ක්‍රීඩා පිටියක් ලෙස එක බිම්කොටසක් වෙන්කරගෙන ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය යොදවා මේ දිනවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ. තවත් පසකින් ඇති බිම් තීරුව පෞද්ගලික සමාගමක් වෙත ලබාදී ඇති අතර එය මේ වන විට කම්බි ගසා වෙන්කරගෙන තිබේ. මුළු නුගේගොඩ නගරයේම වැහි ජලය ගලායාමට ඇති මෙම ස්ථානයට අද අත්ව ඇත්තේ මෙවන් ඛේදනීය ඉරණමකි. අප එම ස්ථානය නිරීක්ෂනය කිරීමට ගිය අවස්ථාවේ පැහැදිලි වූයේ ජල බැස්මට තිබෙන කාණු පද්ධති ඔවුන්ගේ අභිමතය පරිදි වෙනස් කර ඇති බවකි. මෙහි ඇවිදින මංතීරුවක් නිර්මාණය වෙමින් පැවැතියද එයට පැමිණීමට ඇත්තේ කොහුවල ධාතු මන්දිර විහාරයට ඉදිරිපිටින් පමණකි. එයට මෙල්ඩර් පෙදෙසෙහි අවසාන කොටසෙන් මෙම ඇවිදින මංතීරුවට ඇතුළුවීමට ඇති මගද අවුරා දැමීමට කටයුතු සිදුවෙමින් පවතින බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. ඔවුන් පැවැසුවේ නුගේගොඩ නගරය පෙනෙන මාන​යේ ඇති මෙම ස්ථානයට ඒම සඳහා කෙටි මාර්ගයක් ඇතොත් නුගේගොඩ මහරගම ජනතාවටද මෙම ඇවිදින මංතීරුවෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි බව ඔවුන්ගේ අදහසය. යහපාලන සමයේ සිදුවූ බව කියන මෙම දූෂිත ක්‍රියා පිළිබඳව දැන්වන් ඇහැ යොමුකර තමන්ට සාධාරණයක් ඉටුකරදෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. මෙම හිස් බිම් සංවර්ධනය කර රජයට පවරාගෙන රජයේ කටයුත්තකට හෝ යාබදව පිහිටි පාසල්වලට ක්‍රීඩාපිටි ලබාදීමද යහපත් කටයුත්තක් බව ඔවුහු පවසති. මෙල්ඩර් පෙදෙස ආසන්නයේ සිදුවන මෙම දූෂිත ක්‍රියා පිළිබඳ වගකිවයුතු අංශ රැසක් දැනුවත් කළද ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රදේශවාසීන්ට මහත් ගැටලුවක් වී තිබේ. ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නේ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන සිදුකොට ව්‍යාපෘතිය කඩිනම් කර දෙන ලෙසටයි.

‘අරුණ’ කළ විමසුමට බලධාරීන් නිහඬයි

මේ සම්බන්ධයෙන් විමසීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්.ඩී. සොයිසා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් ගත් උත්සාහය අසාර්ථක විය. සංස්ථාවේ ආරක්ෂක ප්‍රධානී තනතුරක් දරන කැප්ටන් අර්ජුන සිල්වා හරහාද සභාපතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද ප්‍රකාශ කළේ සභාපතිවරයා ඇමැතිතුමා සමග සාකච්ඡාවක නිරතවන හෙයින් සම්බන්ධ කිරීමට නොහැකි බවකි. තවද මේ සම්බන්ධයෙන් විමසීමට නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවාද දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එයද අසාර්ථක විය. හේමන්ත ලියනපතිරණ
 

More News..