brand logo

මෙරට සිර වූ ඉන්දියානුවන් නැවකින් එරටට

21 May 2020

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අතරමංව සිටින ඉන්දියානු ජාතිකයන් යළි එරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් එරට නාවික හමුදාවට අයත් නෞකාවක් යොදවා ඇත. මෙරට රැඳී සිටින ඉන්දීය ජාතිකයන් මෙම නෞකාවෙන් ජුනි 01 වැනිදා කොළඹ වරායෙන් ඉන්දියාවේ ටුවින්කොරින් වෙත පිටත්ව යෑමට නියමිතය. මීට දින දෙකකට පෙර ‘අරුණ’ වාර්තා කළ ආකාරයට කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් විවිධ හේතූන් මත මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෝ 2000 ක් පමණ කොළඹ අවට සිරවී සිටිති. මෙම පිරිසෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන ඉන්දියානුවන් පළමුවෙන් අදාළ නෞකාවෙන් ඉන්දියාව බලා රැගෙන යෑමට නියමිතය. විදෙස් රටවල කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අතරමංව සිටින ඉන්දියානුවන් නැවත සිය රට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාව ‘වන්දේ භාරත්’ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ‘අයි. එන්. එස්. ජලාෂා’ (INS Jalasha) නම් මෙම නෞකාව ඉන්දීය නාවික හමුදාවට අයත් යාත්‍රාවකි. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ලැබුණු ඉල්ලීම් සලකා බලමින් ලියාපදිංචි කරගත් ඉන්දියානුවන් මෙලෙස නැවත එරටට රැගෙන යන බව මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.   නයන තරංග ගමගේ
 

More News..