brand logo

මෙරට කොටි මරණවලට ජාත්‍යන්තර‍ය හවුල්ද?

29 September 2020

මෙරට තුළ ක්‍රමයෙන් වර්ධනය වන කොටි මරණවලට අන්තර්ජාතික සම්බන්ධතාවක් පවතීද යන්න පිළිබඳ සැකයක් පවතින බව පරිසර සංවිධාන සඳහන් කරයි. මේ වසරේ මදුවලට හසුවීමෙන් කොටි මරණ 15ක් පමණ සිදුවී ඇතැයි පරිසරවේදීන් පවසන අතර මෙලෙස ඝාතනය වූ කොටි අතර, කළු කොටියකුද වේ. එම සතුන්ගේ නිය, දත් සහ සම ලබා ගැනීම සඳහා මෙලෙස බහුල වයෙන් කොටි ඝාතන සිදු වන බව අනාවරණය වී තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටින්නේ ඉකුත් වසර දහයක කාලය තුළ දී කොටි මරණ 50ක් පමණ වාර්තා වූ බවය. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මේ වසරේදීය. පසුගියදා උඩුදුම්බර, කළල්ගමුව ප්‍රදේශයේ දී කොටියකු ඝාතනය කර හිස, නැට්ට, පාද ආදිය වෙන් කර තිබූ අතර අලෙවිය සඳහා මන්ද සූදානම් කර තිබුණි. මේ පිළිබඳ ‘‘serendipity wild life foundation’’ නමැති ජාත්‍යන්තර පරිසර සංවිධානය කියා සිටින්නේ මෙම අපරාධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක කිරීම් හා පර්‌යේෂණවලට අමතරව, අන්තර්ජාතික හවුල් කරුවන් හෝ ගැනුම්කරුවන් පිළිබඳ තොරතුරු සෙවීම මේ වන විට ආරම්භ කර ඇති බවය. මෙම අපරාධ සම්බන්ධයෙන් කිසිවකු සතුව අමතර විස්තර ඇත්නම් https://www.csiwildlife.org/wildlife-crime නමැති වෙබ් අඩවියට දන්වන ලෙසද එම සංවිධානය ඉල්ලා සිටියි. දිගින් දිගටම සිදුවන කොටි මරණ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බලන බවත්, මෙම මරණවලට ජාත්‍යන්තර සබඳතාවයක් අත්දැයි සොයා බැලීම සඳහා සිය දෙපාර්තමේන්තුවට යාන්ත්‍රණයක් නොමැති බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර කීවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..