brand logo

මෙරට අලි පැටවු ජාවාරමේ සුල මුල

05 November 2020

මෙරට වනාන්තරවල ජීවත්වන අලි පැටවුන් අල්ලා විකිණීමේ ජාවාරම පිළිබඳ සකස් කරන ලද පළමු විද්‍යාත්මක අධ්‍යයනයේ ප්‍රතිඵල පර්‌යේෂණ වාර්තා පසුගියදා දෙස් විදෙස් පර්‌යේෂණ කණ්ඩායමක් විසින් එළිදක්වන ලදී. එම අධ්‍යයන වාර්තාව ‘Illegal capture and internal trade of wild Asian elephants (Elephas maximus) in Sri Lanka’ යන නමින් පළකර තිබේ. මෙම පර්‌යේෂණ පත්‍රිකාව විසින් සුවිශේෂී වූ කාරණයක් අනාවරණය කර ඇත. එනම් ඉකුත් 2008 වසරේ ජනවාරි මස සිට 2018 දෙසැම්බර් දක්වා කාලසීමාව තුළ වනාන්තර වලින් ඇල්ලූ බවට වාර්තා වූ සහ එසේ අල්ලාගෙන පෞද්ගලික භාරකාරීත්වයේ රඳවාගෙන සිටි බවට සැක කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලයලත් ආයතන මගින් අත්අඩංගුවට ගනු ලැබූ අලි පැටවුන් 55 දෙනෙකු පිළිබඳව පර්‌යේෂකයන් කරුණු අනාවරණය කිරීමය. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්‌යේෂණ කවයේ සභාපති සහ වනජීවී පර්‌යේෂකයෙකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් මෙම පර්‌යේෂණ කණ්ඩායමේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ අතර, මෙරට අලි පැටවුන් මුදලට විකිණීමේ ජාවාරම නීතියේ රැහැනට හසුකර ගැනීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ උපුල් ඉන්ද්‍රජිත් සහ චමින්ද අත්තනායක යන වනජීවී නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඊට දායකත්වය ලබාදී ඇත. එමෙන්ම වනජීවී වෙළෙඳාම පිළිබඳව ලොව පුරා අධ්‍යයන රැසක් සිදුකර ඇති එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් බ්රුක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වින්සන්ට් නිජ්මන්, ඇමරිකාවේ ලෝන්ග්වුඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුජාන් හේන්කනත්තෙගෙදර, මෙරට ප්‍රමුඛපෙළේ වනජීවී පර්‌යේෂකයෙකු වන ස්වභාව ගවේෂණ සහ අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධානී සමීර සුරන්ජන් කරුණාරත්න සහ ජෛව විවිධත්ව සංරක්ෂණ සංගමයේ පර්‌යේෂක මාධව බොතේජු යන මහත්වරුන් මෙම පර්‌යේෂණ කණ්ඩායම නියෝජනය කරනු ලබයි. “දැනට අපිට අලි පැටවුන් 55 දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී තිබෙනවා. මේ 55 න් 10 ක් හැර අනෙක් සියලු දෙනාම පෞද්ගලික භාරකාරිත්වයේ තබාගෙන සිටි අයයි. මේ සතුන් පිළිබඳව 2014 සහ 2015 යන කාලවලදී අධිකරණයේ නඩු පවා ගොනු කරනු ලැබුවා. මේ කාල සීමාව තුළදී කැලෑවලින් ඝෘජුවම අල්ලපු අය ඉන්නවා දස දෙනෙක්. උඩවල ජාතික වනෝද්‍යානය,යාල ජාතික වනෝද්‍යානය, ගල්ගමුව, මහව, කටගමුව, වීරවිල අලි කළමනාකරණ ප්‍රදේශය ආදී ප්‍රදේශවලින් තමයි මේ අලි පැටවුන් අල්ලාගෙන තිබුණේ. මේ අතරින් උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවුන් දෙදෙනකු අල්ලාගෙන තිබුණා. මෙම විද්‍යාත්මක පත්‍රිකාව සැකසීමේදී අපි ඔප්පු කරගත් දෙයක් තමයි අලි පැටවුන්ගේ ලියාපදිංචි ලේඛනවල සඳහන් වයස සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් උපකල්පනය කරන වයසයි අතර කැපීපෙනෙන වෙනසක් තිබෙන බව. මෙහිදී එක්කෝ සිදුවී තිබෙන්නේ ව්‍යාජ ලේඛන සකසා තිබීම වෙන්න පුළුවන්. බලංගොඩ ප්‍රදේශයේ නාන කාමරයක් තුළ සඟවාගෙන සිටි අලි පැටියෙක් මියගියා. මිනිස්සු අල්ලාගෙන සිටි අලි පැටියෙක් උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන ආ පසු මිය ගියා. උඩවලව ඇත් අතුරු සෙවණට ගේන අලි පැටවුන්ගෙන් සියයට 40ක් පමණ මියයනවා. අලි පැටවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආදී කාරණා ඊට බලපානවා. එවන් තත්ත්වයක් තිබියදී අලි පැටව් ජාවාරම සිදුකරන මිනිස්සු ළඟ පශු වෛද්‍ය යාන්ත්‍රණයක් නෑ. මේ නිසා කැලෑවල මියයන අලි පැටවුන් සෑහෙන ප්‍රමාණයක් මියයන්න ඇති කියලා අපි උපකල්පනය කරනවා. මේක වනජීවි ජාවාරමක්. ඊට විවිධ ජාවාරම්කරුවන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්, ඇතැම් ස්වාමීන් වහන්සේලාත් හවුල්. මේ නිසා අපිට සියයට සියයක්ම තොරතුරු හොයන්න අමාරුයි. අපි හිතන්නේ අලි පැටවුන් 55 දෙනෙකුට වඩා කැලෑවලින් අල්ලන්න ඇති කියල.”යැයි වනජීවී පර්‌යේෂක සුපුන් ළහිරු ප්‍රකාශ් සඳහන් කරයි. ආසියානු අලි ඇතුන් ජීවත්වන රටවල් අතරින් තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය වැනි රටවල වනාන්තරවලින් අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳව පුළුල් විද්‍යාත්මක පර්‌යේෂණ සිදුකර තිබුණත් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එම පර්‌යේෂණ මෙතෙක් සිදුකර නොමැති බව පර්‌යේෂකයෝ පවසති. වන අලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී අපරාධකරුවන් විසින් මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට, නිර්වින්දන බෙහෙත් විද මවු ඇතින්න අකර්මණ්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්දන බෙහෙත් විදීමෙන් අකර්මණ්‍ය කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඊට අමතරව උඩවලව ඇත් අතුරු සෙවණින් පුනරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි පැටවුන් ද වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනරුත්ථාපනය කිරීමට ඇත් අතුරු සෙවණ වැනි රැඳවුම් මධ්‍යස්ථානවලට රැගෙන එන ලද අලි පැටවුන්ද ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන ඇති බව හෙළිවී ඇත. එමෙන්ම වනයේ අතරමං වන අලි පැටවුන් සම්බන්ධ තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඇත් අතුරු සෙවණ වෙත වාර්තා වීමට ප්‍රථම එම අලි පැටවුන් තම ග්‍රහණයට ගෙන ජාවාරම් කිරීමට ද ජාවාරම්කරුවන් විසින් කටයුතු කර ඇත. මෙසේ ජාවාරම් කරනු ලබන අලින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දූෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචා සහගත ලෙස ලියාපදිංචි කරගෙන ඇති බව පසුගිය විශ්ලේෂණ වාර්තා පදනම් කරගනිමින් පර්‌යේෂකයන් අනාවරණය කරයි. උඩවලව සහ රුහුණු (යාල) ජාතික උද්‍යාන, කටගමුව අභයභූමිය, හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය, ගල්ගමුව, මහව සහ වීරවිල යන ප්‍රදේශවලින් මෙසේ ජාවාරම්කරුවන් විසින් අලින් අල්ලා ඇති බවට සෘජු සාක්ෂි ඇති බව පෙන්වාදෙන පර්‌යේෂකයන් ඊට අමතරව හබරණ ප්‍රදේශයේ වනජීවී රක්ෂිතවලින්ද අලින් අල්ලා ඇති බවට සම්මුඛ සාකච්ඡා මගින් හෙළිවී ඇති බව පර්‌යේෂකයෝ පවසති. දූෂණය, අකාර්යක්ෂම නීති, දුර්වල අධිකරණ පද්ධති, වනජීවී නීතිය බලාත්මක නොවීම සහ සැහැල්ලු දඬුවම් හේතුවෙන් ජාවාරම්කරුවන්ට වනජීවී සම්පත් කොල්ලකෑමට පහසුවී ඇති බව ලොව පුරා සිදුකර ඇති අධ්‍යයනවලින් පැහැදිලිවන බව පර්‌යේෂකයෝ පවසති. රජය විසින් මෙම අලි පැටවුන් විවිධ උපක්‍රම මගින් නැවතත් සැකකරුවන් වෙතම පැවරීමටද උත්සාහ දරා ඇති බව පර්‌යේෂකයන් තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකුට ඉහළ දේශපාලකයකු විසින් බලපෑම් කර ඇති බව පර්‌යේෂකයන් සඳහන් කරයි. තවද තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයෙකු විසින් ඉදිරිපත් කළ අංක 16/2204/708/017-1 සහ 2016 ජූලි 4 දිනැති සහ අග්‍රාමාත්‍යවරයා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ අංක PMO/CM/44/2019 සහ 2019 සැප්තැම්බර් 10 දිනැති කැබිනට් පත්‍රිකාද මීට නිදසුන් වශයෙන් පර්‌යේෂකයන් ඉදිරිපත් කරයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..