brand logo

මෙත්තානන්ද නම​ට ගැළපෙන මිනිහෙක් හමුවුණෙමි

25 March 2019

සල්ලි හම්බ කරද්දී බොහෝ මිනිසුන්ගේ මනුස්සකම් නැතිවී යාම සාමාන්‍ය දෙයකි. ඔවුන් මුදලින් පොහොසත් වෙද්දි නැති බැරි මිනිසෙකුට උදව් කරන්නටවත් ඔවුන්ගේ දුකක් අසන්නටවත් නවතිනවා අඩුය. බොහෝ දෙනකු එසේ වූවත් අම්පාරේ තරිඳු ඕෆ්සේට් ප්‍රින්ටර්ස් හිමි මෙත්තානන්ද නම් එවන් අයකු නොවීය. වසර පහක් තිස්සේ උහන නගරයේ කුඩාවට පවත්වාගෙන ගිය තරිඳු ඕෆ්සේට් ප්‍රින්ටර්ස්, අම්පාර නගරයට එන්නේ 2010 වසරේය. කවුරුත් සමග ඉතා සුහදව ගනුදෙනු කරන මුද්‍රණාල හිමිකරු මෙත්තානන්දගේ අත මිට වාගේම හදවතත් පොහොසත් බවින් පිරී තිබුණේය. ඒ හදවතේ වූ පොහොසත් බව නිසාම පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදා දැන දැනම මෙත්තානන්ද සිය මුද්‍රණාලයට විශාල වූ පාඩුවක් කරගත්තේය. මුද්‍රණ යන්ත්‍රයේ වැඩකරමින් සිටි මුණසිංහගේ අත වැරදීමකින් මුද්‍රණ යන්ත්‍රයට හසුවෙද්දී දෙවරක් නොසිතා ඔහු මුණසිංහගේ අත බේරා ගන්නට හිතුවේය. ඒ අනුව සිදුවීම සිදු වූ ඇසිල්ලේම අවට වෑල්ඩින්කරුවන් හා වෛද්‍ය කණ්ඩාමක්ද ගෙන්වාගෙන මහත් පරිශ්‍රමයක් දරා මැෂිම කපා මුණසිංහගේ අත නොකපා බේරාගත්තේය. ඒ මීට මාස තුනකට වාගේ පෙරය. ඒ වන විට මෙත්තානන්ද රූබසිංහ පළාතේ සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහු අත යහමින් මුදල්ද ගැවසුණේය. ඔහුගේ මුද්‍රණ ආයතනයට හොඳින් වැඩද ලැබුණේය. මුණසිංහගේ අත අසු වූ මුද්‍රණ යන්ත්‍රය මෙත්තානන්ද මුද්‍රණාලයට ගෙන්වන්නේ මීට අවුරුදු පහකට පමණ කලිනි. ජර්මනියේ නිෂ්පාදිත මේ මුද්‍රණ යන්ත්‍රය වෙනුවෙන් එදවස ඔහු රුපියල් ලක්ෂ සියයක් වැය ක‍ර තිබුණි. එමෙන්ම මේ මුද්‍රණාලය රක්ෂණ ආවරණ තුනකට යටත් කරද තිබුණේය. ඒ සේවක රක්ෂණයක් සහ ගොඩනැගිලි ඇතුළු මුද්‍රණාල රක්ෂණයක් ද මුද්‍රණ යන්ත්‍ර ඇතුළුව මුද්‍රණාලයේ සම්පූර්ණ තවත් රක්ෂණයක් ද වශයෙනි. "එදා මුණසිංහගේ අත මැෂින් එකට අහු වුණාම මුණසිංහ විතරක් නෙවේ වැඩ කරපු අය කිව්වෙත් මැෂින් එක රිවස් එකට අරන් එයාගේ අත එළියට ගන්න කියලා. මට ඒක ලේසියෙන් කරන්න තිබුණා. ඒත් එහෙම කළා නම් අහුවෙලා තිබ්බ අත කෑලිවලට කැඩිලා තමයි එළියට ගන්න වෙන්නෙ. මං රිවස් කරන්න එපා කියද්දී කට්ටිය පුදුම වෙලා ඒ තත්පරේ බලා හිටියා මං ඒ මනුස්සයාගෙ අත එළියට ගන්නෙ නැතුව මොකද්ද මේ කරන්නෙ කියලා. ඒත් එක්කම මං කිව්වෙ මැෂිම කපලා මුණසිංහගෙ අත එළියට ගනිමු කියලා. එතකොට කට්ටිය තවත් පුදුම වුණා. මුණසිංහ කියන්නෙ මගෙ පරණ සේවකයෙක් නෙවෙයි. මුද්‍රණාලයට අලුතෙන් ආව කෙනෙක්. ඒත් මට ඕන වුණේ ඒ වෙලාවේ කාගෙ වුණත් අත බේර ගන්න මිසක් මේ යකඩ ගොඩ බේර ගන්න නෙවේ. කොහොම හරි පැය දෙක හමාරක් විතර මහන්සිවෙලා මැෂින් එක කපලා අත එළියට ගත්තා. මුණසිංහව ඉස්පිරිතාලේ යැව්වා. අත කුඩුවෙලා තිබ්බ විදිහට දොස්තරලා කිව්වා ඒ අත කපන්න වෙයි කියලා. මං කිව්වා කොහේ හරි තැනකට අරන් ගිහින් අත නොකපා හොඳ කරන්න කියලා. අත කැපුවෙ නැතුව සුව කළා. ඒත් මුණසිංහගෙ අතින් තවම වැඩක් කරගන්න බෑ. ඒකට තව ඔපරේෂන් සහ ව්‍යායාමත් කාලයත් අවශ්‍ය වෙන බව දොස්තරලා කිව්වා." එසේ වී හෝ අත නොකපා බේරාගන්නට ලැබීම ගැන මෙත්තානන්ද සිටින්නේ සතුටිනි. ඒ අතර කාලයේදී ඔහු කැපූ මුද්‍රණ යන්ත්‍රයද අලුත්වැඩියා කරන්නට දැමුවේය. එය පොඩි වියදමක් නොව ලක්ෂ ගණනාවක විශාල අලුත්වැඩියාවකි. එහෙත් ඔහුගේ හිතට බයක් නොවීය. ඒ මුද්‍රණ ආයතනය හා බැඳි රක්ෂණ ආවරණ තුනක්ම තිබූ නිසාත් ඒ එක් රක්ෂණ ආවරණයක් වෙනුවෙන් පැමිණි රක්ෂණ නියෝජිතයකු මුද්‍රණ යන්ත්‍රයේ ඡායාරූප සමගින් අලාභය තක්සේරු කොටගෙන සිද්ධියත් වාර්තා කරගෙන ගිය නිසාය. " මගේ සේවක රක්ෂණ ආවරණය එක් රක්ෂණ ආයතනයකත්, අනෙක් රක්ෂණ ආවරණ දෙකම තවත් ආයතනයක් විදිහට ආයතන දෙකක පැවතුණේ. මම ඒ රක්ෂණ ආවරණයත් අනෙක් දෙක තිබුණු රක්ෂණ ආයතනයටම එකතු කළා. එතකොට මගේ රක්ෂණ ආවරණ තුනම ඒ කාලේ වෙනකොට තිබුණේ එකම රක්ෂණ සමාගමක. මම ඒ සේවක රක්ෂණ ආවරණය හරහා මුණසිංහට වන්දි මුදලක් ලබා දෙන්න හැදුවා. නමුත් ඒ මොහොතේ ඒ රක්ෂණ සමාගම කිව්වේ මම රක්ෂණ ආවරණයට නම් කරපු සේවකයන්ගේ නම් අතර මුණසිංහගේ නම නෑ කියලා. මම කවදාවත් රක්ෂණ සමාගමට මගේ සේවකයින්ගේ නම් දීලා නෑ. මං දැම්මේ පොදුවේ මගේ සියලුම සේවකයින් උදෙසා රක්ෂණයක්. එතකොට මාව දැනුවත් නොකර තමයි අදාළ රක්ෂණ සමාගම මගේ සේවකයින්ගේ නම් මගේ ආයතනයේ කෙනෙක්ගෙන් අරන් ඇත්තෙ. ඒ ගැටලුව නිසා මුණසිංහට හිමි වන්දි මුදල ලැබුණෙ නෑ. ඊට පස්සෙ ලොකුම ප්‍රශ්නෙ ආවෙ මගේ මුද්‍රණ යන්ත්‍රය නැවත අලුත්වැඩියාවට රක්ෂණ ආයතනයෙන් වන්දි මුදල් ලබාගන්න යෑමේදියි. ඒ ප්‍රශ්නයට නම් මගේ දුර්වලතාවකුත් හේතුවක්. නමුත් මගේ දුර්වලතාව මැකෙන්න තිබුණා රක්ෂණ ආයතනයක් විදිහට ඒ ගොල්ලො කාර්යක්ෂම වුණා නම්. මේ රක්ෂණ ආවරණයන් සඳහා අපි වාරික මුදල් ගෙව්වෙ වසරකට වරක්. එතකොට මුද්‍රණ යන්ත්‍රය ඇතුළත්ව ආවරණය කර තිබූ රක්ෂණයේ අලුත් වාරික මුදල මට ගෙවන්න තිබුණෙ 2018 ඔක්තේබර් මාසයෙ. මට ඒ දවස්වල ආව මුදල් කරදර තත්ත්වයක් හේතුවෙන් මාස දෙකක් විතර කාලයක් වාරික මුදල් දාන්න පමාවෙනවා. හැබැයි ඒ ලොකූ කාලයක් නෙවේ. ඔවුන් ඒ බව මට මතක් කළෙත් නෑ. නමුත් ඒ රක්ෂණය ඒ අයුරින්ම තවත් වසරක් බලාත්මක බවට බැංකුවකට ඔවුන් විසින්ම යැවූ ලිපියක සඳහන් වෙනවා. නමුත් සිද්ධිය වූ දෙසැම්බර් 28 වෙනකොට මගේ රක්ෂණ ආවරණය මුදල් නොදැමීම නිසා අවලංගු වී ඇති බව කිව්වා. ඒ නිසා මට කිව්වා සානුකම්පිතව ගෙවන්න කියලා ඉල්ලලා ලියුමක් ලියන්න කියලා. මං ඒ වැඩෙත් කළා. ඒත් අන්තිමට කියනවා ඒ රක්ෂණයෙන් ගෙවන්න බෑ බලාත්මක නෑ, තියෙන වෙන එකත් හරහා ඉල්ලන්න කියලා. ඒ වෙලේ මම මුද්‍රණාලය හා නිවස සහිත ඉඩම බැංකුවට තියා ණය මුදලක් ලබාගත් මොහොතේ බැංකුවෙන් දුන් රක්ෂණ ආවරණය ඉදිරිපත් කළා. ඒකට කරන්නම් කියලා ඇවිත් පින්තූරත් අරන්, තක්සේරුවත් ගණන් බලාගෙන ගියා. මම ලක්ෂ විසිපහක් වියදම් කරලා මුද්‍රණ යන්ත්‍රය හැදුවා. ඒ වෙලාවෙ මගෙ යාලුවෝ ගොඩාක් උදව් කරපු නිසයි ඒ ගාණට එන්න පුළුවන් වුණේ නැත්තම් අලාභය ලක්ෂ හතළිහක් විතර වෙන්න තිබුණා. දැන් හදලා දවස් 15 ක් ඇති. ඒත් දවස් දහයකට කලින් රක්ෂණ ආයතනයෙන් කියනවා මට වන්දි දෙන්න බෑ. ඒ රක්ෂණ ආවරණය තියෙන්නෙ ගොඩනැගිලිවලට විතරයි කියලා. " මෙත්තානන්දගේ හොඳ හිත එයින් පලුදු වුණා නොවේ. ලක්ෂ විසිපහක් කියන්නේ පොඩි ගණනක් නොවේ. මුද්‍රණාලයට ලැබුණු ලොකු වැඩ සියල්ල කළේ ඒ කැපූ යන්ත්‍රයෙනි. ඊටද වසර අවසානය මුද්‍රණාලයකට කරන්නට බැරි තරම් වැඩ එන කාලයකි. මැෂිම කැපූ නිසා බාරගෙන බාගෙට කර වැඩ අවසන් නොකළ ඒවා ද විය. පොඩි මුද්‍රණ යන්ත්‍ර තිබුණද ඒවායින් ලොකු ආදායමක් ගන්නට තරම් වැඩ කළ නොහැක. අනෙක මුද්‍රණාලයේ සේවක සංඛ්‍යාවද විස්සක් විසිපහක් පමණය. ඔවුන්ට වැටුප් ගෙවන්නටත් තරමක මුදලක් වුවමනාය. ඒ අතරේ මෙත්තානන්ද රූබසිංහ ලොකුම අමාරුවක වැටුණේ මුද්‍රණාලය ඇපයට තබා පෞද්ගලික බැංකුවකින් ලබාගෙන තිබූ ණය මුදලේ වාරික ගෙවාගත නොහැකිවයි. "මං ඒ බැංකුවෙන් අවුරුදු 9 ක් තිස්සෙ ණය අරගෙන මේතාක් ගත්ත ණය කලට වෙලාවට පියවලා තියෙනවා. අන්තිමට ගත්ත ණය මුදලෙ වාරිකවල තමයි ප්‍රශ්නෙ ආවෙ. ඒ මේ හදිස්සියේ උද්ගතවෙච්ච තත්ත්වෙ නිසා ආව ප්‍රශ්නයක්. දැන් මාස තුනකින් විතර මට හරියට ආදායමක් නෑ. සේවක වැටුප් ගෙවාගන්නෙ අමාරුවෙන්. මගේ වැඩකරන අය නම් පුදුම හොඳ පිරිසක්. මං මේ වැටිලා ඉන්න වෙලේ එයාලා. කියනවා වැටුප් නැතුව හරි මාස දෙක තුනක් වැඩකරලා මාව ගෙඩදාලා දෙන්නම් කියලා. ඒත් බැංකුව කියන්නේ මගේ උගස්කරපු ගෙය, ඉඩම, මුද්‍රණාලය වෙන්දේසි කරනවා කියලා. මිනිස්සු වැටෙනවා. නැගිටිනවා. නැගිටලා ඉන්න අය ආයෙ වැටෙනවා. එහෙම වුණත් උදව් ලැබුණොත් ඒ මිනිස්සුන්ට ‍ආයෙ නැගිටින්න පුළුවන්. මටත් මේ වෙලාවෙ අඩුම තරමේ එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වගේ රාජ්‍ය බැංකු ආයතනයකින් අඩු පොලි ණයක් හරි දෙනවා නම් මේ ණය පියවන්න ගෙවීමේ කාලය ටිකක් වැඩිකරලා. මට නැවත ගොඩනැගෙන්න පුළුවන් වෙයි. එදා මං මුණසිංහගේ අත ගැන, ජීවිතය ගැන නොසිතා මුද්‍රණ යන්ත්‍රය ගැන හිතුවා නම් මේ ප්‍රශ්න මොනවත් මට නෑ. ඒත් එදා විතරක් නෙවේ මනුස්සයෙක් විදිහට ආයේ මෙහෙම දෙයක් වුණොත් හෙටත් මට බෑ එහෙම ආත්මාර්ථකාමී වෙන්න." මෙත්තානන්ද රූබසිංහගේ හදවතේ මානූෂීයත්වය ඔහු අද ණයකාරයකු කර ඇතත් ඒ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ඔහු කියන්නා සේ මේ රාජ්‍ය බැංකුව තුළින් ලබන්නට හැකි නම් ඔහු තවදුරටත් මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ණයකරුවෙකු නොවී ඉදිරියටම යනු ඇත. ඒ සමග මෙත්තානන්දගේ සිද්ධිය හා බැඳුණු විසඳුමක් තිබිය යුතු තවත් මාතෘකාවක් කරලියට පැමිණියේය. ඒ තවත් මෙවැනි අවස්ථාවකදී ව්‍යාපාරිකයාත් සේවකයාත් දෙන්නාම කරදරයක් නැතුව රැකබලාගන්නා ක්‍රමයක් රජයෙන් එළිදැකීමයි. බියංකා නානායක්කාර
 

More News..