brand logo

මූඩීස් ගැන රාජ්‍ය ඇමැති කබ්රාල් කළ හෙළිදරව්ව

01 October 2020

‘‘මූඩීස්’’ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් අසාධාරණ හා කාලානුරූපී නොවන ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිය පහත හෙළීමට කටයුතු කර ඇතැයි රජය ප්‍රකාශ කරයි. ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය ශක්තිය පිළිබඳව කනස්සල්ල පළ කරමින් ‘‘මූඩීස්’’ ආයතනය සිදු කර ඇත්තේ වැරැදි විශ්ලේෂණයක් බවද මුදල් අමාත්‍යාංශයේ ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේය. ‘‘වසර පහකට පසුව ශ්‍රී ලංකාවේ දේශපාලන හා ප්‍රතිපත්තිමය ස්ථාවරත්වයක් නැවත ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් ව්‍යාපාරික විශ්වාසයත් විශාල ලෙස වැඩිදියුණු වී තිබෙනවා. එමගින් ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබුණත් එම තත්ත්වය ගෙනහැර දැක්වීමට මෙම වාර්තාව සමත් වී නැහැ. විශේෂයෙන්ම නව රජය 2021 වර්ෂය වෙනුවෙන් නව අය-වැයක් ප්‍රකාශයට පත් කිරීමට ආසන්නව සිටියදී මෙම වාර්තාව නිකුත් කිරීම වැරැදි අර්ථනිරූපණයක් ලබා දීමක්.’’ මූඩීස් ශ්‍රේණිගත කිරීම් පිළිබඳව එලෙස කනස්සල්ල පළ කළ ඇමැතිවරයා අදාළ වැරැදි වාර්තා නොසලකා අධෛර්යට පත් නොවී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පසුබට නොවන ලෙස ආයෝජකයන්ට ආරාධනා කළේය. ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනෙන් එකක් වන ‘‘මූඩීස්’’ නැවත වතාවක් සිය ශ්‍රේණිගත කිරීම්වලදී මෙලෙස ශ්‍රී ලංකාව පහත හෙළා ඇත. විදේශ ණය ගෙවීමට රටට ඇති හැකියාව, ඉහළ අය-වැය හිඟය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ඇති සීමිත ඉඩකඩ යන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ‘‘මූඩීස්’’ මෙලෙස සිය ශ්‍රේණිගත කිරීම්වල B2 සිට Caa1 දක්වා ශ්‍රී ලංකාව පහත හෙළා තිබේ. රටවල් වෙනුවෙන් ණය සපයන අන්තර්ජාතික සංවිධාන මෙන්ම ධනවත් රටවල්ද සිය ණය නිකුත් කිරීමේදී මෙන්ම විදේශීය ආයෝජකයන් රටට සිය යෝජනා ගෙන ඒමේදී ප්‍රධාන නිර්ණායකයක් ලෙස ‘‘මූඩීස්’’ වාර්තා සැලකිල්ලට ගනු ලබයි. නයන තරංග ගමගේ
 

More News..