brand logo

මුහුදේ දී විනාශයට පත්වන බෝට්ටු සදහා 50% ක සහනාධාරයක්

22 May 2019

ධීවර රැකියාවේ නිරතව සිටියදී අනතුරට පත්ව විනාශ වන බෝට්ටුව වෙනුවට නව බෝට්ටුවක් සදහා වැය වන මුදලින් 50% ක් සහනාධාරයක් ලෙස ලබාදීමට තීරණය කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය . රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ දැනට අඩි 55 බෝට්ටුවක් මිලදී ගැනීම සදහා ලබාදෙන 50% සහනාධාරය විනාශ වන බෝට්ටු වෙනුවට නව බෝට්ටුවක් ගැනීම සදහා ද ලබාදීමට මේ යටතේ කටයුතු කරන බවය . පසුගියදා විනාශයට පත් වූ ධීවර යාත්‍රා පිලිබදව සහ විපතට පත් ධීවර පවුල් වෙනුවෙන් යම් සහන වැඩපිළිවෙලක් සකස් කිරීම පිලිබදව අද [ 22 ] පැවති සාකච්ජාවේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කළේය . මෙහිදී වැඩිදුරටත් අදහස් දැක වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා “බෝට්ටුවක් තැනීමට ලක්‍ෂ 150 ක් පමණ වැය වෙනවා . ඒ මුදල හොයාගන්නේ ඉඩමක් විකුණලා , නැත්නම් තියෙන දේපළ උගස් කරලා . බැංකු වලට ණය වෙලා . දන්නා කියන අයගෙන් ණයට අරගෙන , ගෙදර රන් අභරණ උගසට තියලා . එහෙම කරලා ධිවර රැකියාවට යවන බෝට්ටුව මහා මුහුදේදී විනාශ වුනාම ඒ පවුලම විනාශයි . මේ විනාශ වන බෝට්ටුවලට වන්දි ලබාගැනීමේ ගැටළු තියෙනවා . මේ නිසා ධීවරයා කබලෙන් ලිපට වැටෙනවා . පවුල් පිටින් ධිවරයින් අනාථ වෙනවා . මේ තත්වය බරපතල සමාජ ගැටළුවක් .මේ තත්වය පිලිබදව මම ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් සමග සාකච්ජා කළා . ඒ මුහුදේදී විනාශ වන යාත්‍රාවක් සදහා නව යාත්‍රාවක් වෙනුවෙන් වැය වන මුදලින් සියයට 50 ක් සහනාධාර මුදලක් ලෙස ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීමට . ඒ සදහා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරලා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාගැනීමටත් තීරණය කළා . දැනට මෙම සියයට 50 සහනාධාරය ලබා දෙන්නේ අඩි 55 බෝට්ටු සදහා . ඒ කියන්නේ සල්ලි කාරයින්ට බෝට්ටු හදාගන්න . ” යැයි පැවසිය .
 

More News..