brand logo

මුස්ලිම් මෘත දේහ ආදාහනයට බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු

01 January 2021

එක්සත් රාජධානියේ විශාලතම මුස්ලිම් සංවිධානය වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කොවිඩ් - 19 ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වේ. මේ වන විට එම කවුන්සිලය ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ නීතිඥ සමාගමක් වන බයින්ඩ්මන්ස් එල්.එල්.පී. (Bindmans LLP) හරහා ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටී. එසේම ශ්‍රී ලංකාවේ සිදු කරන ආසාදිත මුස්ලිම් දේහයන් ආදාහනය කිරීමට එරෙහිව ගත යුතු පියවර සලකා බැලීම සඳහා බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය විසින් එය සහකාර මහ ලේකම් සාරා මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික නියෝජිතායතන, නීතිඥයන්, වෛද්‍ය විශේෂඥයන් සහ ප්‍රජා නායකයන්ගෙන් ස්ථාපිත ‘කාර්ය සාධක බළකායක්ද’ පිහිටුවා ඇත. බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වහාම හකුළා ගන්නා ලෙසට ශ්‍රී ලංකා රජයට අන්තර්ජාතික මට්ටමින් බලපෑම් එල්ල කිරීම එහි අරමුණයි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය පවසන්නේ බලහත්කාරයෙන් සිරුරු ආදාහනය කිරීම මුස්ලිම් සුළුතර කණ්ඩායමේ ආගමික නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. ‘‘පවුලේ ඥාතියකුගේ දේහයක් නියමිත වේලාවට භූමිදානය කිරීමට ඉඩ ලබා නොදීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමකි. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා බලධාරීන් කිසිදු සාධාරණ හේතුවක් නොදක්වමින් වසංගතය අතරතුර මළ සිරුරු ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයෙන් ඉවත් වී ඇත යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. නයන තරංග ගමගේ
 

More News..