brand logo

මුම්බායි කොළඹ ගුවන් ගමන් අරඹමින් විස්තාරා ශ‍්‍රී ලංකාවට පැමිණෙයි

30 November 2019

ඉන්දියාවේ හොඳම ගුවන් සේවය වන විස්තාරා අද දින කොළඹට තම ගුවන් ගමන් ඇරඹූ බව නිවේදනය කර සිටියි. මෙම ගුවන් සේවය සතියේ සෑම දිනකම (බදාදා දින හැර) මුම්බායි සිට කොළඹට පියාසර කරන අතර ඉකොනමි සහ ව්‍යාපාරික පන්තියට අතිරේකව ප‍්‍රීමියම් ඉකොනමි යනුවෙන් තවත් ආසන පන්තියක් ප‍්‍රථම වරට හඳුන්වා දී තිබේ. විස්තාරා ගුවන් සේවය ඉන්දියාවේ ටාටා සන්ස් සහ සිංගප්පූරු ගුවන් සේවයේ හවුල් ව්‍යාපෘතියකි. ශ‍්‍රී ලංකාවට සමාරම්භක ගමන් අරඹමින් විස්තාරා ගුවන් සේවයේ පැමිණි මගීන් කොළඹදී සම්ප‍්‍රදායික උඩරට නැටුම් සහිතව මහත් හරසරින් පිළිගත් අතර ඔවුන්ට දේශීය රසකැවිලි සංග‍්‍රහයක් ද පවත්වන ලදී. මෙම පිළිගැනීමේ අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් ප‍්‍රවාහන හා ආර්ථික නියාමන අධ්‍යක්ෂ රේහාන් වන්නිඅප්පා, ශ‍්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ගුවන්තොටුපළ කළමනාකරණ අංශ ප‍්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි, සහ හේලීස් විධායක අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න යන මහත්වරු සහභාගී වූහ. මෙම අවස්ථාවට එක් වූ විස්තාරා හි ප‍්‍රධාන උපායමාර්ගික නිලධාරි විනෝද් කන්නන් මහතා අදහස් දක්වමින් ‘‘සංචාරක ක්ෂේත‍්‍රය සහ වෙළෙඳාම සඳහා විශාල අවස්ථාවන් සහිත රටක් වන ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹමින් තවත් භූගෝලීය තලයකට පිවිසෙන්න ලැබීම පිළිබඳ අප ඉතාමත් සතුටට පත්වෙනවා. ප‍්‍රශස්ත සේවයක් සලසමින් ලෝකය පුරාම විශිෂ්ට නාමයක් සලකුණු කිරීමට සමත් වූ ඉන්දියාවේ එකම තරු පහේ ගුවන් සේවය ශ‍්‍රී ලංකාවට අද අපි හඳුන්වා දෙනු ලැබුවා. අපගේ අසම සම ආගන්තුක සත්කාරය සමග පියාසර කරන ඔබ සැමට විස්තාරා සමග නව හැඟීමක්” ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා යැයි පැවසීය. විස්තාරා හි ශ‍්‍රී ලාංකික නියෝජිතයා ලෙස හේලීස් සමූහ ව්‍යාපාරයට පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන නොර්ත් සවුත් ලයින්ස් පුද්ගලික සමාගම (North South Lines Pvt' Ltd) පත් කර තිබේ.
 

More News..