brand logo

මුතුරාජවෙල අභයභූමියේ අක්කර 700ක් ගොල්ෆ් පිටියට ?

08 January 2021

මුතුරාජවෙල අභය භූමියේ අක්කර 700ක භූමි ප්‍රමාණයක් විනාශ කරමින් ගොල්ෆ් පිට්ටනි ඉදිකිරීමට පෞද්ගලික සමාගමක් සැරසෙනවා නම්, මෙම භූමි ප්‍රදේශ ආශ්‍රිතව ජීවනෝපාය සලසා ගන්නා පුද්ගලයන්ට හිඟමනට පැමිණීමට සිදුවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ. මෙම භූමි ප්‍රදේශයේ අක්කර 700ක ප්‍රමාණය පෞද්ගලික සමාගමකට අයත් දේපළක් ලෙස ඔවුන් සන්තකයේ තබා ගනිමින් සංචාරක ආකර්ෂණය ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මෙම සියලු ස්වාභාවික සම්පත්වල අයිතිය ඇත්තේ මෙරට ජනතාවට පමණකි ’ යැයිද උන්වහන්සේ කියති. ගම්පහ දිස්ත්‍රික්කයෙන් බැහැර වන වැසි ජලය මුහුදට ගලා යන ස්වාභාවික පෙරණයක් බඳු මුතුරාජවෙල භූමි පද්ධතියේ ගොඩනැගිලි ඉඳිකළහොත් සිදුවන්නේ මුළු දිස්ත්‍රික්කයටම ගංවතුර උවදුරක් පැමිණීමේ අවදානම ඉහළ යාම බවද කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් කියා සිටියහ. උන්වහන්සේ මේ පිළිබඳ පවසා සිටියේ ​ඊයේ (7 වැනිදා) කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු හිමිපාණන් මෙසේද පවසා සිටියහ. ‘මෙම ව්‍යාපෘතියට ජනතාව එකහෙළාම විරුද්ධයි. අපි මේ රජයට සහ මේ අංශයන් පාලනය කරන දෙපාර්තමේන්තුවල සිටින දූෂිත නිලධාරීන්ට කියන්නේ රටේ නීතියට අනුව පමණක් ක්‍රියා කරන්න කියලා. ස්වභාව ධර්මයෙන් නිර්මාණය කර තිබෙන මේ ජෛව පද්ධතිය විනාශ කරන්න එපා කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලනවා. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පෞද්ගලික සමාගමකට අයත් දේපළක් කියලා මෙම මුතුරාජවෙල භූමියේ ප්‍රදර්ශනය කරලා තියෙන දැන්වීම් පුවරුත් ගලවලා ඉවත් කරන්න කියලා. මේක රජයට අයත් ඉඩමක්. පෞද්ගලික දේපළක් නෙමෙයි. මුතුරාජවෙල භූමියේ කලපු ආශ්‍රිතව ජීවනෝපාය සලසා ගන්නා විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම මීගමුව කලපුවේ තිබෙන කඩොලානවලින් තමයි මත්ස්‍යයන්ට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ. මේ ව්‍යාපෘතිය සිදුවුවහොත් වෙන්නේ මේ කලපු වේලිලා මත්ස්‍යයන් මියයාමයි. මේ කලපුවල ඉස්සන් වගා සිදුකරන පිරිස් ඉන්නවා. ඔවුන්ට රැකියාවල් නැතිවෙනවා. ඒ පුද්ගලයන්ට සිදුවන්නේ හිඟමනට වැටෙන්න. මේ විනාශය කරන්න එපා කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා. අශිකා ජයවීර
 

More News..