brand logo

මීළඟ මහ මැතිවරණයට මමත් එනවා

26 December 2020

පුෂ්පිකා සඳමාලි ලංකාවේ බොහෝ දෙනෙක් දැනගත්තේ ලාංකීය රූ රැජනක් ලෙස කිරුළු පැලඳි නිසා. 2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළු පැලඳි ඇය මව් භූමිකාව නිසා නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත්වුණා. ඒ වගේම ඇය දැන් දේශපාලන ගමන් මගකත් යමිනුයි සිටින්නෙ. මේ දවස්වල නත්තලට ලෑස්ති වෙනවා වගේ? මේ දවස්වල නත්තලට වගේම නව වසර වෙනුවෙනුත් ලෑස්ති වෙනවා. ඒ වගේම ඉදිරියෙදි ලොකු වෙනසක් වෙන්න තියෙනවා. ඒක වුණාම කියන එක තමයි හොඳ... දැන් පුෂ්පිකා නිරූපණ කටයුතුවලින් ඈත් වෙලාද? මම කොහොමත් නිරූපණ කටයුතු කළේ විනෝදාංශයක් විදිහට. විවාහ වෙලා පුතා ලැබෙන්න ඉදිද්දි මම නිරූපණ කටයුතුවලින් ටිකක් ඈත් වුණා. පුතාට මුල් තැන දීලා තමයි මම කටයුතු කළේ. පුතාට දැන් අවුරුදු හතරයි. පුතා ටිකක් ලොකු වුණා කියලා මට එයාගෙ වැඩවලින් මිදෙන්න බැහැ. මම පුතාට පුදුම විදිහට ආදරෙයි. ඒ නිසා එයා එක්ක වැඩි කාලයක් ගත කරනවා. දරුවෙක් ඉන්න මවක් විදිහට මට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියත් ක්ෂේත්‍රයට යම් දායකත්වයක් අවශ්‍ය වෙලාවට ඒ සහය දෙන්න මගහරින්නෙ නැහැ. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයට වුණත් කාලෙන් කාලෙට අලුත් අය එනවා. අපිට හැමදාම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න බැහැ. ඒ අයටත් අපි තැන දෙන්න ඕනේ. අපි ක්ෂේත්‍රයට එන කාලේ හොඳ තත්ත්වයක් නිරූපණ ක්ෂේත්‍රයේ තිබුණා. දැන් නිරූපණ ක්ෂේත්‍රය අඩපණ වෙලා. දැන් වෘත්තීමය මට්ටමක් පේන්නෙ නැහැ. අලුතින් මේ ක්ෂේත්‍රයට එන පිරිසට හොඳ මග පෙන්වීමක් ලැබෙන්න ඕනේ කියලා හිතෙනවා. ඒ මග පෙන්වීම ලබා දෙන්න ඔබට යමක් කරන්න බැරිද? පුළුවන්. නමුත් දැන් මම දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නෙ. අපේ ජීවිතේ එක එක කාලවල හැරවුම් ලක්ෂ්‍ය තියෙනවනේ. මම දැන් දේශපාලන කටයුතුවලින් ඉස්සරහට යන්න තමයි උත්සාහ කරන්නෙ. දේශපාලනය කියන්නෙ වෙනමම ක්ෂේත්‍රයක්. ඒ නිසා මට නිරූපණයයි දේශපාලනයයි දෙකටම කාලය වෙන් කරන්න බැහැ. මොකද මම අම්මා කෙනෙක් විදිහටත් මගේ වගකීම අකුරටම ඉෂ්ට කරන්න ඕනෙනෙ. හිටි හැටියේ දේශපාලනය පැත්තට අවධානය දෙන්න හිතුවේ වරප්‍රසාද ලබා ගැනීමේ අරමුණින්ද? ඇත්තටම ඒක හිටි හැටියේ වුණ දෙයක් නෙමෙයි. රටක් නියෝජනය කරමින් රූ රැජිනක් ලෙස ජාත්‍යන්තරයට ගිය කෙනෙක්. දේශපාලනය කරන්න, රට වෙනුවෙන් වැඩ කරන්න මම කැමැතියි. මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණ පළවෙනි අවස්ථාවේ කළ සම්මුඛ සාකච්ජාවකදීත් මම කිව්වා මට රූ රැජිනක් වෙන්න වගේම කවදා හරි දේශපාලනයට එන්නත් කැමැත්තක් තියෙනවා කියලා. දේශපාලනය කරනවා කියලා ඡන්දය ඉල්ලන්නම ඕනෙ නැහැ. මෙවර ජනාධිපතිවරණයෙදිත් ජනාධිපතිතුමා වෙනුවෙන් මම පොළොන්නරු දිස්ත්‍රික්කය පුරාම විශාල කැම්පේන් එකක් කළා. මට මිනිස්සු හරිම ආදරෙයි. ගොඩක් අය දේශපාලනයට එන්න කියලා මගෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීම් වගේම මගෙත් පෞද්ගලික කැමැත්තක් තිබ්බා දේශපාලනයට එන්න. වරප්‍රසාද ගන්න මට දේශපාලනයට එන්න අවශ්‍ය නැහැ. දේශපාලනයට ආවත් නාවත් මට ලැබෙන්න ඕනේ වරප්‍රසාද ලැබිලා තියෙන්නෙ. අමුතුවෙන් වරප්‍රසාද ලබන්න ඕනේ නැහැ. මම පොළොන්නරුවේ ඉපදුණ හැදුණ වැඩුණ කෙනෙක්. මට මිනිසුන්ගේ අගහිඟකම් ප්‍රශ්න දැනෙනවා. මට ඔවුන් වෙනුවෙන් වැඩ කරන්න හැකියාව තියෙනවා. ඉස්සරහට තිබ්බ පය පස්සට ගත්තේ නාම යෝජනා අහිමි වුණ නිසා නේද? මම පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න හිටියේ. නමුත් පොළොන්නරුව කියන්නෙ තරගකාරි දිස්ත්‍රික්කයක්. හිටපු ජනාධිපතිතුමත් අපේ පක්ෂයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වුණා. අපි පරදින්න නෙමෙයිනෙ දිනන්නනෙ මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනෙ. මට තව කාලය තියෙනවා. මම තව අත්දැකීම් ලබාගෙන දේශපාලනය ගැන අධ්‍යයනය කරලා සුදුසු කාලෙදි මැතිවරණයකට සම්බන්ධ වෙනවා. පුෂ්පිකාගෙ ජීවිතේ පැරදුණ තැන් ඇත්තෙම නැද්ද? මම පරාජය ලබන්න අකැමැති කෙනෙක් නෙමෙයි. මම 2010දි මුලින්ම මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණා. හැබැයි මට ඒ වසරේදී මිස් ශ්‍රීලංකා වෙන්න බැරි වුණා. මම ඒ පැරදුම පැරදුමක් කර ගත්තේ නැහැ. මම 2011 දී මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණේ හොඳ සැලසුමක් ඇතුව. ජීවිතේදි වුණත් මම වැටි වැටී නැගිටපු යකඩ ගැහැනියක්. මට ඕනම වෙලාවක නැගී සිටින්න ආත්ම විශ්වාසය තියෙනවා. මට බයක් නැහැ. මම හරි විදිහට ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මට වරදින්නේ නැහැ කියලා දන්නවා. මවකට තනියම දරුවෙක්ගේ වගකීම දරන්න පහසු නැහැ. හැබැයි ඔබ ඒ වගකීම දරනවා? ඇත්තටම තනියම දරුවෙක් හදන එක පහසු නැහැ. මොන දේ වුණත් ගැහැනිය තමයි හැම පැත්තෙන්ම තැළෙන්නෙ. මොන දේ වුණත් වචන අහගන්න වෙන්නෙ, ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නෙ, ළමයි හදන්න වෙන්නෙ, ගෙදර දොර වැඩ කරන ගමන් දරුවත් බලාගන්න ගමන් හම්බ කරන දේවල් පවා ගැහැනියකට කරන්න වෙන අවස්ථා තියෙනවා. පවුලක ජීවත් වෙද්දි බිරිය සැමියා වගේම ඒ දෙපාර්ශ්වයේ මවුපියන්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙන්න ඕනේ. අද කාන්තාවෝ දහ දෙනෙක් ගත්තොත් නවයක් දික්කසාද වෙලා. විවාහයකදී ගැහැනියට ගොඩක් ඉවසන්න වෙනවා. දෙන්නම පවුල් ජීවිතයක් ඇතුළේ නම්‍යශීලී වෙන්න ඕනේ. පවුල් ප්‍රශ්නවලදි ඒ අයගේ මවුපියෝ වුණත් දැනගන්න ඕනේ ඇවිළෙන ගින්නට පිදුරු නොදා දෙපාර්ශ්වය එකට ජීවත් වෙන තැනට එකතු කරන්න. හිතුවක්කාරකමට විවාහ වුණත් බැඳලා ළමයි හැදුවට පස්සෙ එකට ජීවත් වෙන්න කියලා මවුපියෝ දරුවන්ට කියන්න ඕනේ. ගොඩක් ගැහැනු ළමයි අදාළ කෙනාට ආදරය කරලා විවාහ වෙනවා. මම අනෙක් අයට කියන්නෙ විවාහයක් වෙද්දි පවුල් පසුබිමත් බලන්න. ඒ පවුල්වල අය ආශ්‍රය කරන්නේ මොන වගේ අයද බලන්න. ඒ කාරණා එකට ජීවත්වීමේදි හරියට බලපානවා. අද සමාජය ගොඩක් පිරිහිලා. දැන් කසාද බැඳලා දික්කසාද වෙන එක යාළුවෙලා අතහරිනවා වගේ සාමාන්‍යකරණය වෙලා. මට තනියම මගේ දරුවා බලාගන්න වෙද්දි මගේ මවුපියෝ, සහෝදරයෝ,යාළුවෝ, මට ගොඩක් උදව් කළා. එයාලා මට උදව් කළ නිසා තමයි මට ඔළුව කෙළින් තියන් ඉන්න පුළුවන් වුණේ. ආදරය රැකවරණය ගැන පුෂ්පිකාට මොකද හිතෙන්නෙ? මම හරි ආසයි ආදරය ලබන්න විඳින්න. ඕනම ගැහැනියක් එයට කැමැතියි. නමුත් අද කාලේ කාවත් විශ්වාස කරන්න බැහැ. කතාවක් තියෙනවනෙ තමන් හිසට තම අතමය සෙවණැල්ල කියලා. තමන්ගේ රැකවරණය තමන්මයි සලසා ගන්න ඕනේ. මම හැම කාන්තාවකටම කියන්නෙ තමන්ට කිසියම් හැකියාවක් තියෙනවා නම් ගෙදරට වෙලා ස්වයං රැකියාවක්වත් කරලා ආර්ථිකය හදාගන්න. දරුවන් එක්ක අසරණ වුණ කාන්තාවෝ මේ රටේ කොච්චර ඉන්නවද. අසරණ වුණා කියලා එහෙම ඉන්නෙ නැතුව නැගිටින්න උත්සාහ කරන්න ඕනේ. මම අද මෙතන ඉන්නෙ වැටි වැටී නැගිට්ට නිසා. මම මගේ හිත එක්ක කතා කරලා ශක්තිමත් වෙනවා. මට දෙවියන් වහන්සේගේ ආශීර්වාදයත් ලැබෙනවා හැම මොහොතකම. මම විශ්වාස කරනවා අපි හොඳ කළොත් ඒ හොඳ අපිට ලැබෙනවා කියලා. තමන් කරන හොඳ නරක තමන්ට අනිවාර්යයෙන් ලැබෙනවා. අපි කාටවත් අතපාන්න අවශ්‍ය නැහැ. දැන් කාවවත් විශ්වාස කරන්නත් බැහැ. මිනිස්සු කාලගුණය වගෙ වෙනස් වෙනවා. මට තියෙන අත්දැකීම් එක්ක මම දැන් කාවවත් විශ්වාස කරන්නෙ නැහැ. දරුවා හැරෙන්න කාවවත් විශ්වාස කරන්නෙ නැහැ. මම මගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන හොඳ ගමනක් යනවා. මොනවද ඉදිරිය ගැන ඔබට තියෙන සැලසුම්? මම මගේ ජීවිතේ විවිධ කඩඉම්වලට මුහුණ දුන්න කෙනෙක්. මම මගේ හීන සැබෑ කරගත්තා. දැන් මගේ හීනය මගේ දරුවා. එයාට හොඳට උගන්නලා එයාව රටට වැඩදායී කෙනෙක් කරන්න මම මහන්සි වෙන්නෙ. ඒ වගේම මම දේශපාලනයට කැමැති නිසා ජනතාවට සේවය කරන්න මහ මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඒකට තව කාලයක් තියෙනවා.   තිළිණි කෞශල්‍යා විජේසිංහ  
 

More News..