brand logo

මීටර් 800ක් පොළොව යට බලන්න ආ ගුවන් යානාව

14 July 2019

පසුගිය ජූලි හත්වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අමුතු ගුවන් යානයක් පැමිණියේය. මෙම යානය ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමු වූයේ එහි වූ අධි තාක්ෂණික මෙවලමක් නිසාය. මෙවැනි ගුවන් යානයක් ලංකාවට හදිසියේම කඩා පාත් වූයේ ඇමෙරිකාවෙන් වීම නිසා ඒ ගැන විවිධ සැක සංකාද මතුවෙන්නට වූයේය. එසේ සැක සංකා මතු වෙන්නට වූයේද මේ දිනවල සෝෆා වැනි රහසිගත ගිවිසුම් පිළිබඳ වැඩි කතාබහක් ඇතිවන පසුබිමකය. අදාළ යානය මෙරටට පැමිණියේ ලංකාවේ ඛනිජ සම්පත් මංකොල්ලයට සැරසෙන ඔත්තුකරුවෙක් ලෙසින් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් සඳහන් කළේ ඉහත උපකල්පනයේ සිට වන්නට ඇත. ඇමෙරිකාව සමග එක්ව රටේ සම්පත් සූරාගෙන කන්නට ගිවිසුම් ගසන මැති ඇමැතිවරුනගේ හොර ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙසින් මෙවැනි යානා පැමිණිය හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ලංකා භූමියේ වටිනාකම හොඳින්ම දන්නා ඇමෙරිකාව මෙවැනි යානා මගින් රටේ භූගත සම්පත්වල තොරතුරු සොයන්නට වෙහෙසෙන බවටද සැක කළ හැකි බව ඔහු පැවසුවේය. සැබෑවටම මෙම යානය කුමක්ද? එය ලොව විශාලතම සහ බලවත්ම ගුවන් සමාගමක් වන ‘‘ස්පෙක්ට්‍රම් එයාර් ප්‍රොපටි’’ (Spectrum Air Property) සමාගමට අයත් යානයක් බව අනාවරණය විය. මෙම යානය ZS - ASN දරන HC - 47 ස්කයිට්‍රේන් වර්ගයේ ගුවන් යානයකි. එවැනි යානා මෙම සමාගම යොදා ගන්නේ ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී එනම් අඩි 10000ක් පමණ උසකින් පිට පොළොව අභ්‍යන්තරයේ (මීටර් 800ක් ගැඹුරට) ගැඹුර නිරීක්ෂණය කිරීමටය. මෙය පොළොව අභ්‍යන්තරය පරීක්ෂා කිරීම සඳහාම විශේෂිත තාක්ෂණික පද්ධතියක් ‘‘Spectrum plus’’ (ස්පෙක්ට්‍රම් ප්ල්ස්) ලෙස නිර්මාණය කර ඇත. එම පද්ධතියට වායුගෝලයේ විද්‍යුත් චුම්භක ශක්තිය එකතු කරගන්නා බැවින් SQUID නම් සුපිරි සන්නායක චුම්භක ශ්‍රේණියක් ඉන් නිෂ්පාදනය කරයි. එම චුම්භක ශක්තියෙන් අඩි 10000ක් පමණ ඉහළ සිට පොළොව අභ්‍යන්තරයේ ගැඹුර නිරීක්ෂණය කළ හැක. ස්පෙක්ට්‍රම් එයාර් ප්‍රොපටි සමාගම හෙවත් මෙම යානාවේ මව් සමාගම දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ලැන්සිරියා නම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටුවා තිබේ. මෙම සමාගමට අයත් ගුවන් යානා හඳුන්වන්නේ spectrum Air ලෙසය. ලොව ප්‍රබලතම සහ එකම විද්‍යුත් චුම්භක ශක්තියෙන් භූ ගර්භ පරීක්ෂා කළ හැකි සුවිශේෂ තාක්ෂණික පද්ධතියක් ඇති සමාගම වන්නේද මෙම සමාගමයි. අදාළ සමාගම සතුව ඇති ලොව බලවත්ම වායුගෝලීය චුම්භක පද්ධතිය නිසා ISO 9001 තත්ත්ව සහතිකයෙන්ද ඔවුන් ලබා ඇත. ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම්වලට පමණක් ජාත්‍යන්තර ගුවන් භූ භෞතික ආරක්ෂණ සංගමයෙන් අනුමැතිය හිමි වේ. මෙම සමාගමටද එම අනුමැතිය ද ලැබී ඇත. ගෙවී ගිය වසර 15ක කාලයක තුළ ස්පෙක්ට්‍රම් එයාර් පොපටි සමාගමේ ගුවන් යානා රේඛීය කිලෝමීටර් මිලියන දෙකකට වඩා පියාසර කරමින් ගුවනේ සැරිසරන වැඩකාරයන් බවටද පත්ව ඇත. මෙම සමාගම ආරම්භ කරන ලද්දේ 1983 වසරේදීය. (RX - 28) නම් කුඩා බීවර යානයක් නිපදවමින් ඔවුන් එම ක්ෂේත්‍රයට අත ගැසුවේය. එම යානය අල්ට්‍රාලයිට් (Ultralight) නම් වර්ගයේ යානයකි. ඔවුන්ගේ පළමු නිෂ්පාදනයම ඇමෙරිකාව සහ කැනඩාවේ ජනප්‍රිය වෙද්දී 1984දී Beaver RX - 35 නම් තවත් අල්ට්‍රාලයිට් යානයක්ද 1986 දී ආසන දෙකක් සහිත අල්ට්‍රාලයිට් යානයක්ද 1991 දී Beaver RX 650 නම් ගුවන් යානයක්ද එක පෙළට නිෂ්පාදනය කළේය. ස්පෙක්ට්‍රම් එයාර් ප්‍රොපටි සමාගම වැඩි කලක් නොගොස්ම ලෝකයේ අංක එක බවට පත් වන්නේ ඔවුන්ගේ නිෂ්පාදනවලට ලොව පුරා පාරිභෝගිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර සේම ඔවුන් නිෂ්පාදනය කළ භූ ගර්භ පරීක්ෂාවට යොදා ගන්නා අධි බලැති චුම්භක ශ්‍රේණි සහිත විශේෂිත යානාවක් හේතුවෙනි. මෙවැනි විශේෂිත යානා වෙනත් මගීන් රැගෙන යන යානා මෙන් නොවේ. මෙම යානාවලට යොදා ගන්නා අධි බලැති විද්‍යුත් චුම්භක තරංග පද්ධතිය හේතුවෙන් එහි ගමන් කිරීමට හැක්කේ උපරිම වශයෙන් පුද්ගලයින් සිව් දෙනකුට පමණය. ‘‘ස්පෙක්ට්‍රම් එයාර් ප්‍රොපටි සමාගම සතුව බහුල වශයෙන්ම ඇත්තේ මෙවැනි භූ ගර්භ පරීක්ෂාවන්ට ලක් කිරීමට යොදා ගන්නා යානායි. එවැනි යානා ඇති ලොව එකම සමාගම වන්නේ ස්පෙක්ට්‍රම් එයාර් ප්‍රොපටි සමාගමය. මෙම සමාගම ලෝකයේ විවිධ රටවල්වල සිදු කරන භූ ගර්භ පරීක්ෂාවන් සඳහා ස්පෙක්ට්‍රම් එයාර් යානා ලබාදෙයි. ඒ ඒ රටවල්වල සිදු කරන භූමි පරීක්ෂාවන්ට උචිත වන ලෙස මෙම සමාගම විසින් එම යානාවලට සවි කරන සංනිවේදන පද්ධතීන්ද වෙනස් කරනු ලබයි. එම එක් එක් යානාවලට සවි කරන එම සන්නිවේදන පද්ධතිවල චුම්භක ශක්තීන්වල කාර්යක්ෂමතාව අනුව ඉහළ අහසේ සිටම පොළොව අභ්‍යන්තරයේම මීටර් 800කටත් වඩා ගැඹුරක් පරීක්ෂා කළ හැකිය. ලංකාවේ අප මෙවැනි දියුණු ගවේෂණයක් තවමත් නොමැති බවත් එවැනි තාක්ෂණික උපකරණ හෝ එවැනි යාන්ත්‍රික චුම්භක පද්ධතියන් අප සතුව නොමැති බවත් අප කළ විමසුමකදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් දැන ගන්නට ලැබුණි. අධි බලැති චුම්භක තාක්ෂණයේ හිනිපෙත්තේම සිටින මෙම සමාගම සතුව ඇති යානාවල එක්තරා දෝෂයක් ඇත. මෙම යානාවලට අතරමැදි ස්ථානයක ගොඩ බස්වන්නේ නොමැතිව දිගු ගුවන් ගමන් පියාසර කළ නොහැකිය. එයට හේතුව වන්නේ මෙම යානාවලට සවි කර ඇති අධි බලැති චුම්භක නිසා ඒවායේ තාක්ෂණික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍යවීමය. මේ කියන තාක්ෂණික ක්‍රියාවලියන් සපුරා ගැනීමට පමණක් ඉන්දුනීසියාවේ සිට ඉන්දියාවේ මුම්බායි බලා යන අතුරතුර මෙම යානය ගොඩබැස්වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාද කියා සිටියේය. රටට එරෙහි වන කිසිදු ගිවිසුමකට හෝ කුමන්ත්‍රණයකට මෙම යානය ලංකාවට පැමිණියේ නැති බවත් රට නොමග යවනු ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසත් ඔහු කනක හේරත් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක්ද කළේය. කෙසේ වෙතත් මෙම යානාව ජූලි 09 වැනිදා (දින දෙකකට පසුව) පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගියේය. මෙම ගුවන් ගමනේ භයානකකම නම් මෙවැනි යානාවලට යම් කිසි රටක ගුවන් මාර්ගයක් ඔස්සේ යාමේදී ඉතා පහසුවෙන් අහසේ සිටම පොළොවේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට සුවිශේෂී හැකියාවක් තිබීමය. එවැනි යානාවක් හදිසියේම ලංකාවට පැමිණීම පිළිබඳ බොහෝ පුද්ගලයන් තුළ සැක සංකා මතුවන්නට පටන් ගෙන ඇත්තේද ඒ නිසා විය යුතුය. අශිකා ජයවීර
 

More News..