brand logo

මීගමු මුහුදේ ගිල්වූ ප්‍රභූ වාහන සහිත නැව විදෙස් විනිමය ආකරයක් 

01 April 2019

සාගර පත්ලේ සුන්දර දසුන් සැමටම දක්නට නොලැබෙන අපූර්ව සෞන්දර්යාත්මක සිහිවටනයන්ය. වෛවර්ණ මත්ස්‍යයින්, කොරල්පර, මිණිමුතු මෝරුන් මත්ස්‍ය රෑන් සමගින් සාගර පතුලේ අසිරිය විඳින්නට දෙස් විදෙස් සියලු දෙනා මේ දිනවල වැඩිපුරම එන්නේ මීගමු මුහුදු කලාපයටය. මතුපිටින් පේන රළ සහිත සාගරයට වඩා නිසසල ගැඹුරු සාගර පතුලේ සුන්දරත්වය විඳින්නට එන විදේශිකයන් දැන් තෝරාගෙන ඇත්තේ මීගමු මුහුදු තීරයය. ඒ ලොව අන් කිසි තැනක මුහුදේ අත්විඳින්නට නැති අලුත්ම අත්දැකීමක් සාගර පත්ලෙන් ලබාගන්නටය. මත්ස්‍ය රෑන්, කොරල්පර අතරින් මුහුදු පත්ලේ ඇති ප්‍රභූවරුන් භාවිත කළ වෙඩි නොවදින වාහනවල අත්දැකීමක් ලබා ගන්නට දෙස් විදෙස් සංචාරකයන්ට විරල අවස්ථාවක් ලැබෙන්නේ මීගමු කලාපයේදීය. නාවික හමුදා කිමිදුම් අංශයේ සිටින ජ්‍යෙෂ්ඨතම කිමිදුම් නිලධාරියා වන වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මීගමු කලාපයේ කිමිදෙමින් මේ කියන වෙඩි නොවදින වාහන සොයා යන්නේත් සාගර පත්ලේ අලුත් අසිරිය විඳිමිනි. වෙඩි නොවදින ජගුවර්, බෙන්ස් බී.එම්.ඩබ්ලිව්. වැනි ඉහළ පැලැන්තියේ අය භාවිත කළ මෝටර් රථ හා වෙඩි නොවදින ඩිෆෙන්ඩර් රථ ගිල්වා ඇත්තේ මීගමුවේ සිට කිලෝමීටර් දොළහක් පමණ ගැඹුරු මුහුදේ මීටර් විසිහයක් නැතහොත් අඩි හැත්තෑඅටක් පමණ ගැඹුරට වන්නටයි. මේ කියන වෙඩි නොවදින වාහන ඇත්තේ වෙලින් හෙවත් ඒ 522 නෞකාවේය. මුහුදු පත්ලට නැවක් සමග වෙඩි නොවදින කාර් ගිය හැටි එහි එන විදේශිකයන්ටත් පුදුමය. මීගමුවේ ජාත්‍යන්තර කිමිදුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ෂෙලී ප්‍රනාන්දු මහතා සොයා එන දෙස් විදෙස් කිමිදුම්කරුවන්ගේ අලුත්ම විනෝදාංශය වී ඇත්තේද මේ කියන ප්‍රභූ වාහන ඇති නැව සොයා යෑමය. ‘‘නොවැම්බර් මාර්තු කියන්නේ මීගමුවේ සීසන් එක. දැන් කිමිදෙන්න එන හුඟක් අය එන්නේ මේ කියන නැවට යන්නයි. එයාලා නැව ඇතුළට කිමිදිලා ඇතුළේ තියෙන වාහන බලලා මේ වාහනේ මොන වර්ගයේ ද කියලා හොයනවා. වාහනේ පාවිච්චි කළේ කොයි ජනපතිද? මේක කාගේද කියලා ප්‍රශ්න මාලාවක් අහනවා. ඇත්තටම මේක අලුත්ම අත්දැකීමක්.’’ නැව ගිල්වා වසරක් සපිරෙන දා අපටද එම අත්දැකීම ලබා ගැනීමට හැකි විය. ෂෙලි ප්‍රනාන්දු මහතා කීවේ එවන් දෙයකි. මේක සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කිරීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. මුලින්ම මේ නැව බලන්න හොංකොං ජාතිකයන්, ඔස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඉන්දියානු, ජර්මන් අය දැන් මීගමුවට එනවා. අද මේ ඉන්න තාත්තයි, දුවයි ජර්මන් ඉඳන් ඇවිත් නැවේ කිමිදෙන්න ගියා. මේකෙන් සංචාරක හෝටල්වලට මෙන්ම රටට විදේශ විනිමය ගලා ගෙන එනවා. ඒ වගේම මේක මත්ස්‍යයන් බෝ කිරීමේ ආකරයක්. මීගමුවේ ධීවරයන්ට මේ පැත්තේ විශාල මත්ස්‍ය සම්පතක් බෝවීමෙන් එහි ප්‍රතිඵල තව අවුරුදු දෙකක් විතර යද්දි නෙළා ගන්න පුළුවන්. ධීවර අමාත්‍යාංශය මැදිහත් වෙලා කරන්න ඕන දෙයක් තමයි නාවික හමුදාව කරලා තියෙන්නේ. අපි මේ දවස් ටිකේ යද්දි කහ පරව්, තෝර පරව්, ඇට නගුල් පරව්, කුම්බලා වැනි මාළුන් හොඳින් බෝවී තිබුණා. මිනී මුතු මෝරු පවා හිටියා. නැවේ දැන් බෙල්ලෝ කාවට්ටි බැඳිලා කොරල් පරත් හැදෙන්න එනවා. තාම ධීවරයෝ මෙතැන දන්නේ නැහැ. එයාලා අනාගතය ගැන හිතන්නේ නැතිව මාළු පැටව් ටික අල්ලන් ගියොත් අනාගතයේ ලොකු ආයෝජනයක් නැති වෙනවා. අපි යද්දි අහම්බෙන් වැදුණු බෝට්ටු දැල් නැවේ පැටලිලා තිබිලා හම්බ වෙනවා. මාළු දැල්වල පැටලිලා පණපිටින් හිටියොත් ඒ අයව බේරලා අභයදානය දීලා දැල් අයින් කරන්න සංචාරකයින් වඩාත් කැමැතියි. ‘‘මේ අත්දැකීම ඕනෑම අයකුට විඳ ගත හැකිද’’ ෂෙලි ප්‍රනාන්දු මහතාගෙන් අපි විමසුවෙමු. ‘‘අලුතෙන් කෙනෙක් ආවොත් පළවැනි කෝස් එක දවස් තුනයි. ඇඩ්වාන්ස් ට්‍රේනින් එක දවස් හතරයි. හැබැයි එයාලට පිහිනන්න පුළුවන් වගේම මෙඩිකල් ෆිට්නස් තියෙන්න ඕනා. හොඳින් කිමිදෙන්න පුළුවන් කෙනකුට නැව හොයාගෙන යන්න ඉතාම පහසුයි. විනාඩියකට මීටර් දහයක් යටට පීනන්න පුළුවන්. විනාඩි දහයක් යද්දි මාළු කන්දරාවක් දකින්න ලැබෙනවා. මීටර් දහඅටක් යද්දි නැව හම්බවෙනවා. නැව ගාවට යන්න ගත වෙන්නේ විනාඩි දෙකයි. නැවේ පතුල තියෙන්නේ මීටර් 26ක් සාගර පතුලෙයි. මීටර් දහඅටක් යටට කිමිදුනාම ඔක්සිජන් ටැංකියෙන් විනාඩි පනස් හයක් මුහුදු පතුල බලන්න පුළුවන්. පලපුරුදු කෙනකු හුස්ම ගන්න ප්‍රමාණය අනුව ඊටත් වැඩි කාලයක් ඉන්න පුළුවන්. මීටර් තිහකට ගියොත් විනාඩි විස්සක් වෙලා ඉන්න පුළුවන්. ඩීප් ස්පෙෂල් ට්‍රේනින් තියෙන අයටනම් නැවේ ඇතුළෙත් පිහිනන්න පුළුවන්’’ මේ ෂෙලී ප්‍රනාන්දු මහතා කියන කතාවය. අප මේ කතා කරන සාගර පත්ලේ නවමු අත්දැකීමක් දෙන වෙලින් නැව සොයා කිමිදුණු නාවික හමුදාපතිවරයාගෙන්ද විමසා සිටියේ මෙම කර්තව්‍යයට අතගැසූ නිර්මාතෘ ඔහු නිසාය. ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් භාවිත කළ වෙඩි නොවදින වාහන අටක් සමග වෙලින් නෞකාව මීගමු මුහුදු තීරයේ ගිල්වන මෙහෙයුම සිදුවන්නේ පසුගිය වසරේ මාර්තු මාසයේය. නාවික හමුදාපතිව සිටි වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා එවකට නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් පියල් සිල්වා වෙත මෙම නැව ගිල්වන මෙහෙයුම භාර දුන්නේය. කොටින්ගේ ජාත්‍යන්තර ජාලයේ නායකයා වූ කුමාරන් පද්මනාදන් (KP) ගේ නාවික ජාලයට අයත් ත්‍රස්ත ක්‍රියාවලට යොදාගත් මෙම නැව 2008දී නාවික හමුදා අත්අඩංගුවට ගත්තේත් සයුර නැවේ කපිතාන් වූ පියල් ද සිල්වාගේ අණදීමෙන් ය. දෛවෝපගත ලෙස ඔහුම ඇල්ලූ නැව ගිල්වා දමන්නට කටයුතු යෙදෙන්නේ මෙය යකඩවලට විකුණන්නට ටෙන්ඩර් කැඳවූ මොහොතේය. ‘‘මේක යකඩවලට විකුණන්න ටෙන්ඩර් කැඳෙව්වම රුපියල් මිලියන පහළොවකටත් අඩු ලංසුවක් ලැබුණේ. යකඩවලට විකුණන්නේ නැතිව විදේශීය කිමිදුම්කරුවන්ට කිමිදෙන්න පුළුවන් අයුරෙන් මේ නැව මුහුදේ ගිල්වන්න අනුමැතිය අරගත්තේ ඊට පස්සේ. මීපා (සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය) ඒකත් එක්ක කතා කරලා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ගත්තේ ඊට පස්සේ. නැව ගිල්වන්න යද්දි අපිට තවත් අභියෝගයක් තිබුණා. උසාවි නියෝගයකින් මුහුදේ ගිල්වා විනාශ කරන්න තිබුණ ප්‍රභූ පැලැන්තියේ වෙඩි නොවදින වාහන ගිල්වන්න. ඒ වාහනවල වීදුරු ග්‍රීල්වලින් විදලා වාහන අටම අරන් නැවට තියලා වෙල්ඩින් කරලා ගිල්වූයේ ඒ අනුව.’’ යැයි නාවික හමුදාපතිවරයා මතකය අවදි කළේය. නාවික හමුදාව මෙම නෞකාව ගිල් වූ විට සමාජ ජාලාවලින් විවිධ කතා බහ ඇතිවිය. නැව හා වාහන මුහුදේ ගිල්වීමෙන් තොරව විකුණා රජයට ආදායමක් ගන්නට තිබූ බවට දෝෂාරෝපණ නාවික හමුදාවට එල්ල විය. මෙහිදී ගිල්වූ ප්‍රභූ වාහන අතර හිටපු ජනපතිවරුන් වන රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ මහත්වරුන් භාවිත කළ වෙඩි නොවදින වාහන මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ වාහනද විය. භාවිතයෙන් ඉවත් කළ වෙඩි නොවදින වාහන පිටස්තරයන් අතට පත්වීමට නොදී මුහුදේ ගිල්වා විනාශ කරන්නට උසාවි නියෝගය දීම නිසා එම කාර්යය නාවික හමුදාව අතට ගත්තේය. මෙය අනාගතයේ සාගර පත්ල කිමිදුම්කරුවන්ගේ පාරාදීසයක් කරන්නට නාවික හමුදා කිමිදුම් අංශයේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨතමයා වූ නාවික හමුදාපති පියල්ද සිල්වා සැලසුම් කර එවකට නාවික හමුදාපතිගෙන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගෙන් අවසර ගත්තේය. ප්‍රභූ වාහනවල ටයර්, එන්ජින් ගලවා ඉන්ධන ඉවත් කර සමුද්‍රිය හානියක් නොවන ආකාරයට නැව තුළට තබා පෑස්සුම්කරුවන් ලවා පාස්සවන්නේය. නැවේ එන්ජින්, පොපලර් ඇතුළු සියල්ල ගලවා ඉන්ධන ඉවත් කර නැවේ බඳ කපා දොරවල් සේ පාස්සන්නේ ගිල් වූ පසුව ඒවා විවර කරන්නටය. ටොන් අටසිය හතළිස් දෙකක් බර නැව කොළඹ වරායේ සිට ටග් යාත්‍රාවලින් මීගමුවේ හඳුනාගත් තැනට ඇදගෙන එන්නේ අවසන් මෙහෙයුමටය. කිමිදුම්කරුවන් යොදා නැවේ කලින් සිදුරු කළ කුහර විවෘත කර වතුර පිරෙන්නට ඉඩ සලස්වන්නේ ඉන් අනතුරුවය. නාවික හමුදාවේ හැටක කාර්ය මණ්ඩලයක් නැව ගිල්වන මෙහෙයුමට දායක වූහ. අපි ගිය අවුරුද්දේ නැව ගිල්ලපුවම පත්තර හයක පහුවදාම හෙඩ් ලයින් ගියා. වාහන ගිල්වූයේ ඇයි කියලත් කතා බහක් ඇතිවුණා. ඒකට නාවික හමුදාපතිතුමත් කලබල වුණා. නමුත් අපිට තිබුණේ සාධාරණ අරමුණක්. ප්‍රතිඵල ආවහම පෙන්වමු කියලා අපි කතා කරගත්තා. නැව ගිල්වලා සති දෙකකට පස්සේ මම මගේ දෙවන පුතත් එක්ක නැව ගිල්වපු තැන කිමිදුණා. ඒ වෙද්දී නැව තුළ කුඩා මාළු බෝ වෙනවා. මාළු බිත්තර දානවා කියලා අපිට තේරුණා. අපේ ව්‍යාපෘතිය සාර්ථක වෙයි කියලා මට හිතුණා. ගිය මාසේ 19 වැනිදා මම අවසන් වරට ලොකු පුතා එක්ක කිමිදුණා. ඒ දර්ශනය දකිද්දී හිතාගන්න බැරි අසීමිත සතුටක් හිතට දැනුණා. හිතාගන්න බැරි තරම් මාළු බෝවෙලා. එක පැත්තක් බැලුවත් ලක්ෂයකට වඩා මාළු දකින්න හිටියා. හැඩැල්ලා, මොලන්ද, පරව් රෑන් පිටින් හිටියා. කිලෝ හතේ අටේ ජිලාවෝ හිටියා. මේක මාළුන්ගේ බ්‍රිඩීන් ග්‍රවුන්ඩ් එකක් වෙලා. මාළු පැටව් මේ විදිහට බෝ වෙලා ලොකු වෙද්දි ධීවරයින්ට ඉදිරියේදී මෙතැනින් එළියට එන මාළු අල්ලගන්න හැකියි. තව අවුරුදු දෙකකින් විතර මේකේ නියම ප්‍රතිඵල ධීවරයන්ට හම්බ වෙනවා. මෙතැන කාටවත් මාළු අල්ලන්න දෙන්නේ නැහැ. මෙතැනින් බෝවෙලා හතර වටේම යන මාළු අල්ලගන්න ධීවරයන්ට අවස්ථාවක් වෙනවා’’ යැයි නාවික හමුදාපතිවරයා කියන්නේය. මත්ස්‍ය සම්පත බෝකරන මෙන්ම විදෙස් කිමිදුම්කරුවන් ආකර්ෂණය කරන පාරාදීසයක් කරන්නට නාවික හමුදාව ගත් වෑයම දැන් ප්‍රතිඵල දරා අවසන්ය. දැනටමත් කිමිදුම්කරුවන් ලෙසින් දෙසීයකට වැඩි පිරිසක් කිමිදී මෙහි අත්දැකීම් ලබාගෙන ඇත. එකවරකට කිමිදුම්කරුවකු ඩොලර් හැත්තෑපහක් ගෙවනවා. මේක විදේශිකයන් ආකර්ෂණය කරන ඩයිවින් සයිට් එකක් වෙලා. එදා අපි යකඩවලට විකුණන්නේ නැතිව ගත්ත තීරණය රටට විදේශ විනිමය ගලා එන මත්ස්‍ය සම්පත නිසා ධීවරයන්ට ආදායම් ගලාඑන මාර්ගයක් බවට පත්වෙලා යැයි නාවික හමුදාපතිවරයා පෙන්වා දෙන්නේය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..