brand logo

මිහින්තලේ රක්ෂිතයක් වනසලා

23 August 2018

මිහින්තලය වෙරුප්පන්කුළම වෙළුසුමන රාජමහා විහාර භූමියට අයත් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමියක වටිනා  දැව කපාදමා මහා විනාශයක් සිදුකර ඇති බව ගම්වැසියෝ පවසති. වේළුසුමන යෝධයාගේ මවට වැදුම් පිදුම් කිරීම පිණිස තැනූ බවට ප්‍රකට වෙරුප්පන්කුළම වෙළුසුමන රාජමහා විහාරය මිහින්තලා රාජමහා විහාරයට අයත් දේපළකි. මීට දින හතරකට පමණ ඉහතදී මෙම ස්ථානයට කැති පොරෝ උදළු රැගෙන පැමිණි මැදවච්චිය සිවිල් ආරක්ෂක බලකා කදවුරේ සෙබළුන් බව කියන පනස් දෙනෙකු පමණ විහාරයට පිටුපසින් ඇති භූමියේ පිහිටි ඉපැරණි ගස් සිය ගණනක් කපා විනාශ කළ බව ගම්වැසියෝ වැඩිදුරටත් පැවසූහ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වැසියන් පිරිසක් මෙසේ ද පැවසූහ. ‘‘හුරිමාර, කොහොඹ, කොතල හිඹුටු ඇතුළු අවුරුදු සිය ගාණක් පැරණි ගස් විශාල ප්රේමාණයක් ඔවුන් කැපුවා. ඒ වෙලාවෙ විහාරස්ථානයට අයත් භූමියේ තියෙන රක්ෂිතයේ ගස් කපනවා කියලා අපි මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ට වහාම දුරකථනයෙන් දැන්වූවා. උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරින්ට දැන්වූවාට පස්සේ පිරිස කැලය කැපීම නතරකළා. කාගේ උවමනාවකටද සිවිල් ආරක්ෂක සෙබළු ආවෙ කියන එකයි අපිට තියන ප්‍රශ්නෙ. මේ වනාන්තර මේ විදියට කැපුවම සතා සිවුපාවුන්ට ඉන්න විදියක් නෑ. වන අලියෝ ගම් වදිනවා.“ මේ සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශ්රාහස්ත්රෝපති පූජ්යර වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ මෙසේ පැවසූහ. ‘‘ප්‍රදේශයේ ජනතාව මට වන විනාශය ගැන දැනුම් දුන්නා. මම අදාළ ආයතනවලට දන්වලා එය නවත්වන්න පියවර ගත්තා. මේ ස්ථානය පුරාවිද්‍යා වටිනාකමකින් යුතු ස්ථානයක්. වගකිව යුතු ආයතන කිසිම සැලකිල්ලක් නෑ. කාටවත් ඕනෙ විදියට කැලෑ කපලා වගාවන් කරන්න බෑ.“ මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිසා වන නිලධාරි ලලිත් ගමගේ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමකදී ඔහු පැවසුවේ කැලෑ කැපීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරින් දැනුම්වත් කිරීමක් සිදුකර නොමැති බවයි. ඒ පිළිබදව සොයා බලන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
 

More News..