brand logo

මිහිතලයේ පෙණහැල්ල ගිනිගනී

25 August 2019

ඇමසන් හදවත වෙළාගත් ගිනි දැල් බුර බුරා නැගෙමින් තිබේ. වනාන්තරයේ තැන තැන ගිනි ගැනීම් දහස් ගණනක් සිදුව ඇති අතර මෙම ව්‍යසනය දශකයක් තුළ වාර්තා වූ දරුණුතම ගිනි ගැනීමය. බ්‍රසීලයේ අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානය වාර්තා කළේ ඉකුත් වසරට සාපේක්ෂව මේ වර්ෂයේදී බ්‍රසීලයෙන් වාර්තා වූ ගිනි ගැනීම් විශාල ලෙස වැඩිවී ඇති බවය. එය ප්‍රතිශතයක් ලෙස 80%ක වැඩිවීමකි. ඉන් අඩකටත් වඩා වාර්තා වූයේ ඇමසන් වනාන්තරයෙනි. එය පරිසර විද්‍යාත්මකව හැඳින්විය හැක්කේද ඛේදවාචකයක් ලෙස බව ඔවුහු පෙන්වා දෙති. මේ ගිනි ගැනීම්වලින් 99%ක්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා හටගත් ඒවා වීම බරපතළම තත්ත්වයයි. එක්කෝ ඒවා සිතාමතාම සිදුකර ඇති අතර එසේ නොවේ නම් නොසැලකිලිමත් බව නිසා සිදුවී තිබේ. ඉතා කුඩා කෘෂිකාර්මික ක්‍රියාකාරකම් නිසා වුවද ගිනි ගැනීම් ඇතිවිය හැකි බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන ඇල්බර්ටෝ සෙට්ෂර් අවධාරණය කරයි. වැඩි වශයෙන් වනාන්තර විනාශ කරමින් තිබීම හා කරමින් තිබීම හා නූතන කෘෂි ව්‍යාපාර වැඩසටහන් වඩාත් බරපතළ ලෙස මෙවැනි ව්‍යසනයන්ට හේතු සාධක වී තිබේ. ව්‍යාපාර හිතෛෂී බ්‍රසීල ජනාධිපතිවරයාද පරිසර විනාශයන් දිරිගැන්වීම පරිදි ක්‍රියා කරන බවද චෝදනා නැගී තිබේ. ‘ඇමසන් වොච්’ නම් ලාබ නොලබන සංවිධානයේ වැඩසටහන් අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් පොයිරියර් පවසන පරිදි ඇමසන් වැනි වැසි වනාන්තරයක් දැඩි නියං සමයකදී වුවද පහසුවෙන් ගිනි ගැනීම් හටගන්නේ නැත. කැලිෆෝනියාවේ හෝ ඔස්ට්‍රේලියාවේ පඳුරු සහිත වනාන්තරවල වියළි කාලයේදී හටගන්නා ලැව් ගිනි ඇමසන්වලදී දැකිය නොහැකිය. එහෙත් ගොවීන් හා මහා පරිමාණ ගොවිපොළ පවත්වාගෙන යන්නන් විසින් භූමිය විශාල වශයෙන් එළිපෙහෙළි කිරීම හේතුවෙන් අසාමාන්‍ය ලෙස විශාල වශයෙන් ගිනි ගැනීම් හටගනිමින් තිබේ. මේ වසරේ මුල් මාස 8 තුළ පමණක් මෙතෙක් ඇමසන් වනාන්තරයෙන් වාර්තා වූ ගිනි ගැනීම් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. එය 2013 වර්ෂයෙන් පසුව වසරක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාවය. 2018 වර්ෂයටම වාර්තා වූයේ ගිනි ගැනීම් 39,759කි. ඇතැම් විද්‍යාඥයන්ගේ අදහස ජූලි, ඔක්තෝබර් කාල සීමාවේදී ඇමසන් වනයෙන් ගිනි ගැනීම් වාර්තා විය හැකි බවයි. පවතින වියළි කාලගුණය ඊට හේතුවය. එහෙත් වැසි වනාන්තරයක එය පහසුවෙන් සිදු නොවේ. බොහෝ විට එම ගිනි දැල් ඇවිළවෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. සෑම මිනිත්තුවකදීම පාපන්දුවක තරම් ප්‍රමාණයක් ඇමසන් වනයට අහිමි වන බව ගණනය කර තිබේ. කෙසේ වුවද මේ සංඛ්‍යාත්මක දත්ත පිළි ගැනීමට බ්‍රසීල ජනාධිපතිවරයා අකැමැතිය. ඔහු පවසන්නේ ඒවා අසත්‍ය වාර්තා බවයි. වනාන්තර විනාශය සඳහා ඔහු අනුබල දෙන බවට පරිසර සංවිධාන හා පරිසරවේදීන් චෝදනා කරද්දී ජනාධිපතිවරයා පෙරළා ඔවුන් දෙසටම චෝදනාව යොමු කරන්නේ තම රජයේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා එම ගිනි ඔවුන් විසින්ම අවුළුවන බව පවසමිනි. ඒ සමගම ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි ගිනි ජාලා නිවා දැමීමට තරම් පහසුකම් හා සම්පත් තම රජයට නොමැති බවය. මෙම ගිනි ගැනීම්වලින් වැඩිම හානි සිදුව ඇත්තේ බ්‍රසීලයේ උතුරු ප්‍ර‍දේශවලටය. රොරයිටා, ඇකිරොන්ඩොනියා හා ඇමසන්හි 2015-2018 වකවානුව තුළ විශාල වශයෙන් ගිනි ගැනීම් වාර්තා විය. ඉන් වැඩිම වර්ධනයක් පෙන්වන්නේ රොරයිටාහිය. එය 141%කි. දරුණු ගිනි ගැනීම් හේතුවෙන් බ්‍රසීලයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර තිබේ. බුර බුරා නැගෙන ගිනි දැල් සමග අහසට නැගෙන කළු දුමාරය හා අළු ඇමසන් වනයේ සිට විශාල වපසරියක් ආවරණය වන පරිදි විහිදෙමින් පවතී. එම දුමාරය අත්ලන්තික් සාගරය දක්වාම පැතිර යනු ඇතැයි පරිසරවේදීහු පවසති. ඇමසන් සිට කි.මී. 3200ක් දුරින් පිහිටි සාඕපාවුලෝ ප්‍රදේශයට ඉහළ අහසද අඳුරින් වැසී ඇති අයුරු දිස්වේ. මෙම ගිනි ගැනීම් සමග විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක්ද වායුගෝලයට එක්වෙමින් පවතී. මේ වසර තුළ එම ප්‍රමාණය මෙගාටොන් 228ක් ලෙස ගණන් බලා ඇත. එය 2010 වර්ෂයෙන් පසු එවැනි වැඩිම ප්‍රමාණයයි. කාබන් මොනොක්සයිඩ් විශාල ප්‍රතිශතයක්ද මේ සමග මුදා හැරෙමින් පවතී. දකුණු ඇමෙරිකාවේ වෙරළ තීරයට පවා එහි විෂ සහිත බව දැනෙණු ඇතැයි අනතුරු ඇඟවේ. ඇමසන් වනය හරහා ඇමසන් නදියද ගලා බසී. ගෝලීය ඔක්සිජන් ප්‍රතිශතයෙන් 20%ක්ම නිෂ්පාදනය කරන්නේ ඇමසන් වනාන්තරයයි. මේ හේතුවෙන් එය ‘මිහිතලයේ පෙණහලු’ ලෙසද හැඳින්වේ. ඇමසන් මිලියන 3ක් වන ශාක හා සත්ත්ව විශේෂත්වයේ නිවහනය. මිලියනයක් පමණ ස්වදේශික ජනයාද එහි වාසය කරති. වාර්ෂිකව කාබන් ටොන් මිලියන ගණනක් ඇමසන් වනය විසින් උරාගනු ලබන්නේය. ගිනි ගැනීම් හා වනාන්තර එළිපෙහෙළි කිරීම හේතුවෙන් එලෙස උරාගනු ලබන කාබන් ප්‍රමාණය සීමා වේ. මේ තත්ත්වය ගෝලීය උෂ්ණත්වය තවත් ඉහළ නැගීමට බලපාන බව පරිසරවේදීහු සහ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඇමසන් ප්‍රදේශයට වැඩිම වියළි කාලගුණයක් පවතින්නේ සැප්තැම්බර් මාසයේදීය. ඊටත් පෙරම මෙවැනි දරුණු ගිනි ගැනීම් තත්ත්ව වාර්තා වීම යනු එළැඹෙන සමය තවත් බියකරු වීම බවට මත පළ වේ. මීට වසරකට පෙර පැවති තත්ත්වයට වඩා වනාන්තර විනාශය 88%කින් වැඩි වී ඇති පසුබිමක එම ව්‍යසනකාරී තත්ත්ව ගැන අනුමානයක් කළ හැකිය. ඇමසන් කලාපයෙන් විශාල ලෙස ගිනි ගැනීම් වාර්තා වූ එකම රට බ්‍රසීලය නොවේ. විශේෂත්වය ඒවා වැඩිම රටය. මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් එය 75,300කි. දෙවැනි තැන වෙනිසියුලාවටය. ඒ 25,500ක් වශයෙනි. තෙවැනි තැන බොලිවියාව සිටින්නේ 17,200ක් වාර්තා කරමිනි. දකුණු ඇමෙරිකාවේ උතුර ආවරණය කරන ඇමසන් වනය වර්ග කි.මී. 6,000,000ක් පුරා විහිදේ. බ්‍රසීලයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 40%ක් වසා සිටින්නේ එයයි. ඇමසන් යනු ලොව වැඩිම ජෛව විවිධත්වයක් සහිත මෙන්ම පොහොසත්ම ජෛව විද්‍යාත්මක සංචිතයක්ද වේ. එය ජීවත් වන මිලියන සංඛ්‍යාත ශාක හා සත්ත්ව විශේෂ අතරින් බොහොමයක් විද්‍යාව විසින් තවමත් අනාවරණය කරගෙන පවා නොමැත. ධම්මික සෙනෙවිරත්න
 

More News..