brand logo

'මිලේනියම්' අනුමැතියට ඇමෙරිකානු තානාපතිනිය ජනපතිගේ සහය ඉල්ලයි

27 July 2019

ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය අලෙයිනා බී මෙජලිට්ස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඉල්ලීම කරමින් තානාපතිවරිය ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය යටතේ සිදුකරන ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිදු ඉඩමක් ඇමෙරිකානු රජයට හෝ ඇමෙරිකානු ආයතනයක් වෙත පැවරෙන්නේ නැතැයිද පවසා ඇති ඇමෙරිකානු තානාපතිවරිය නිදහස ලදදා සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමෙරිකාව විසින් ඩොලර් බිලියනයක් ඉක්මවා ආධාර ලබා දී ඇතැයිද ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ ඩොලර් මිලියන 480ක පරිත්‍යාගයක් බවද එය නැවත ඇමෙරිකාවට ගෙවීමට ගිවිසුමෙන් බැඳී නැතැයිද එනිසා මෙම ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට සහාය වන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය ශ්‍රී ලාංකික නායකත්වයට සහ සෙසු හවුල්කරුවන්ට වග කියන ආකාරයට මෙහෙයවනු ලබන්නේද ශ්‍රී ලාංකිකයන් විසින්ම බව ඇමෙරිකානු තානාපතිවරිය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. ශ්‍රී ලංකාවේ ගමනාගමනය සහ ඉඩම් කළමනාකරණය යන ප්‍රධාන ආර්ථික ගැටලු දෙක විසඳීමේ අරමුණින් මෙම සංවර්ධන එකඟතා වැඩසටහන නිර්මාණය කර ඇති බවද ගමනාගමනය යටතේ කොළඹ සහ මහනුවර අතර වාහන තදබදයට අවධානය යොමුකර තිබෙන බවද තානාපතිවරිය ජනාධිපතිවරයා වෙත සඳහන් කර තිබේ. කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට අධිවේගී මාර්ගවලට ඉක්මනින් යා හැකි වැඩසටහනක් මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය වන බවද ඒ අනුව කොළඹ නගරයේ කිලෝමීටර් 205ක වාහන තදබදයක් අඩුවන බවද පවසා ඇත. ඊට අමතරව ඇමෙරිකානු තානාපතිවරයා කොළඹ වටරවුම් මාර්ගයේ ගමන් කාලය සියයට තිස්පහකින් අඩුවන නිසා වාහන අනතුරු මරණ සංඛ්‍යාවද අඩුවන බව සඳහන් කර ඇත. අජිත් අලහකෝන්
 

More News..