brand logo

මිලියන සියයක පව් සෝදන කුම්භ් මේලා

20 January 2019

ලොව ලොකුම ආගමික සැණකෙළිය

ගංගා සහ යමුනා නදියේ දිය නෑමෙන් පව් සේදී දීර්ඝායුෂ ලැබෙන බවට විශ්වාසයක්.

පොලිස් ආරක්ෂාව මැද කඩු හා ත්‍රිශූල අතින් ගත් නිරුවත් යෝගින් ද සැණකෙළියට එක්වෙයි.

බැතිමතුන් වෙනුවෙන් වර්ග කිලෝමීටර් තිහක වෙනම නගරයක්, වැසිකිළි ලක්ෂයක් ඒ අතර තියෙනවා.

මෝදිගේ පක්ෂයෙන් සැණකෙළියට විශේෂ සැලකිලි.

වන්දනාකරුවන් වැඩිම පිරිසක් රැස්වන ලොව ලොකුම ආගමික උත්සවය මේ දිනවල ඉන්දියාවේ අලහබාද් නුවර දී ආරම්භ වී තිබේ. කුම්භ් මේලා යනුවෙන් හැඳින්වෙන මෙම මහා සැණකෙළිය සඳහා මේ වසරේ මිලියන 100 කට ආසන්න වන්දනාකරුවන් පිරිසක් සහභාගි වනු ඇතැයි මේ වනවිට අනාවැකි පළ වී ඇත. පසුගිය 15 වෙනි අඟහරුවාදා ආරම්භ වූ මෙම උත්සවය දින 48 ක් පුරා පැවැත්වීමට නියමිතව තිබේ. මෙම කුම්භ් මේලා සැණකෙළිය ප්‍රබල සංචාරක ආකර්ෂණයක් ද වන අතර විදේශීය බැතිමතුන් ද මිලියනයකට වැඩි පිරිසක් මෙවර මේ සඳහා සහභාගි වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙහිදී වන්දනාකරුවන් රැස්වන්නේ ප්‍රධාන වශයෙන්ම ගංගා සහ යමුනා නදීවල ඉවුරුවල ය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ මෙම නදී ජලයෙහි බැස ස්නානය කිරීමයි. එයින් ඔවුන් ගේ පව් සේදී යන බවත්, දීර්ඝායුෂ හා නිරෝගී සම්පත් ලැබීමට මෙන්ම ජීවිතයේ බලාපොරොත්තු ඉටු වීමට එය හේතු වන බවත් ඔවුන්ගේ විශ්වාසයයි. සැණකෙළිය ආරම්භ වූ අඟහරුවාදා දිනයේ පමණක් ලක්ෂ 150 කට ආසන්න පිරිසක් මෙහි ස්නානය කර ඇති බව ගණන් බලා තිබේ. හින්දු ජනප්‍රවාදවලට අනුව දෙවියකු අමෘත පානය කළයක බහා රැගෙන යමින් සිටිය දී ස්ථාන හතරක දී එයින් බිංදු කිහිපය බැගින් පොළොවට පතිත වී ඇත. අමෘත පානය යනු අමරණීය බව ලබා ගත හැකි පානයක් ලෙස සැලකෙන්නකි. දැන් කුම්භ් මේලා සැණකෙළිය පවත්වනු ලබන්නේ මෙම ස්ථාන හතර ලෙස විශ්වාස කෙරෙන තැන්වල ය. අලහබාද් නගරය ද එයින් එක් ස්ථානයකි. කෙසේ හෝ වේවා, මේ පිළිබඳ මෙයට වෙනස් අර්ථ දැක්වීම් ද තිබෙන බව සඳහන් වෙයි. සැණකෙළිය ආරම්භ වන්නේ හින්දු යෝගීන්, පූජකයින් දහස් ගණනක් පෙරහරවලින් මෙම ගං ඉවුරු වෙත ළඟා වීමෙනි. නිරුවතින් දිවි ගෙවීම පිළිවෙත කරගත් නාග වැනි හින්දු නිකායන්ට අයත් යෝගීන් ද මෙම සැණකෙළිය සඳහා සහභාගි වීම විශේෂත්වයකි. මෙම යෝගීන් හිමාල කඳුවැටිය වාසස්ථානය කොට කල් ගෙවන අතර ඔවුන් එළිමහනට පැමිණෙන්නේ ප්‍රධාන වශයෙන්ම මෙම කුම්භ් මේලා සැණකෙළිය පැවැත්වෙන අවස්ථාවල ය. සිරුර පුරා අළු තවරාගෙන, කඩු සහ ත්‍රිශූලයන් අත දරා සිටින මොවුන් මෙම කාලයේ කාටත් විශේෂ දසුනක් වන බව රහසක් නොවේ. මෙම යෝගීන් සැණකෙළිය පැවැත්වෙන ගං තීරය වෙත සම්ප්‍රාප්ත වන්නේ පොලිස් ආරක්‍ෂාව යටතේ වීම ද තවත් විශේෂත්වයකි. කුම්භ් මේලා මහත් ජීවයෙන් පිරි උත්සවයක් ලෙස සැලකෙන අතර ලක්‍ෂ ගණන් වන්දනාකරුවන් නිසා ප්‍රදේශය එකම හිස් ගොඩක් බවට පත්වෙද්දී නැටුම් ගැයුම් වැයුම්වලින් එය තවත් වර්ණවත් වෙයි. කුම්භ් මේලා සැණකෙළි වර්ග දෙකක් වේ. ඒ මහා කුම්භ් මේලා සහ අර්ධ කුම්භ් මේලා යනුවෙනි. සෑම වසර 12 කට වරක්ම මහා කුම්භ් මේලා සැණකෙළියක් පැවැත්වෙන අතර වසර 6 කට වරක් අර්ධ සැණකෙළියක් පවත්වනු ලැබේ. මීළඟ මහා කුම්භ් මේලා සැණකෙළිය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 වසරේ ය. අවසන් වරට එවැන්නක් පැවැත්වුණේ 2013 වසරේ යි. කෙසේ වෙතත්, මෙවර කුම්භ් මේලා සැණකෙළිය අර්ධ සැණකෙළියක් වුවත් මෑත කාලයේ පැවැත්වෙන විශාලතම සැණකෙළිය වනු ඇති බවට අනාවැකි පළවෙමින් තිබීම ද විශේෂත්වයකි. මෙම සැණකෙළි ඉතිහාසය තුළ වැඩිම වියදමක් දරා පවත්වනු ලබන කුම්භ් මේලා සැණකෙළිය ද මෙය වනු ඇති බව පැවසේ. සැණකෙළිය පැවැත්වෙන අලහබාද් නගරය පිහිටා තිබෙන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රජය ඉන්දියානු රුපියල් කෝටි 4,200 කට ආසන්න මුදලක් මේ වෙනුවෙන් වෙන් කර ඇති බවද වාර්තා වෙයි. මෙයට කලින් 2013 වසරේ පැවැති කුම්භ් මේලා සැණකෙළිය වෙනුවෙන් වැය කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 1,300 ක් පමණි. නමුත් මෙතෙක් කලකට වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වී ඇත්තේ එම 2013 වසරේ සැණකෙළිය වෙනුවෙනි. මිලියන 120 කට අධික පිරිසක් ඒ සඳහා සහභාගි වූ බව වාර්තා වෙයි. මේ අතර මෙවර මෙම සැණකෙළිය අන් කවරදාටත් වඩා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වීමට නරේන්‍ද්‍ර මෝදි රජය ද විශේෂ උනන්දුවක් දක්වන බව පැවසේ. මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්‍ෂය සැලකෙන්නේ හින්දු සංස්කෘතියට, හින්දු අනන්‍යතාවට විශාල සැලකිල්ලක් දක්වන ජාතිකවාදී පක්ෂයක් වශයෙනි. කුම්භ් මේලා සැණකෙළිය හින්දු සංස්කෘතිය තුළ දැවැන්තම උත්සව අවස්ථාවක් වන අතර භාරතීය ජනතා පක්‍ෂය එයට ලොකු අනුග්‍රහයක් දැක්වීම බලාපොරොත්තු විය යුතු කාරණයකි. මේ අතර මෙම වසරේ අප්‍රේල්-මැයි මාසවල ඉන්දියාව තුළ මහා මැතිවරණයක් පැවැත්වීමට ද නියමිතව තිබේ. එම පසුබිම තුළ රජය මෙම සැණකෙළියෙන් දේශපාලන තල්ලුවක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඇතැම් නිරීක්‍ෂකයින්ගේ අදහසයි. අගමැති නරේන්‍ද්‍ර මෝදි ගේ විශාල ප්‍රමාණයේ කටවුට් ආදිය සැණකෙළි බිම පුරා ප්‍රදර්ශනය කර ඇති අන්දම ද මාධ්‍ය හරහා දැකගත හැකි විය. සැණකෙළිය පැවැත්වෙන නගරයේ නම පවා පසුගිය දිනවල ප්‍රයාග්රාජ් යනුවෙන් වෙනස් කරනු ලැබිණි. කලින් එය හැඳින්වුණු අලහබාද් යන්න මුස්ලිම් නමකි. මෙවර සැණකෙළියට සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් වර්ග කි.මී. 30 ක පමණ වපසරියකින් යුතු වෙනම නගරයක් ද ඉදි කර තිබේ. මංමාවත්, බැංකු, රෝහල්, ගිනි නිවීමේ ඒකක ආදී බොහෝ අංගවලින් එය සමන්විත වේ. වැසිකිළි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ද මේ තුළ ඉදි කර ඇති බව එක් මාධ්‍ය වාර්තාවක සඳහන් විය. මිලියන ගණනින් බැතිමතුන් මේ සැණකෙළිය සඳහා සහභාගි වෙද්දී බොහෝ දෙනෙකු අතරමං වීමට ලක් වීම සංවිධායකයින් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයකි. මේ වසරේ මෙම ගැටලුවට මුහුණ දීම සඳහා නවීන තාක්‍ෂණයෙන් සන්නද්ධ වෙනම ඒකක කිහිපයක් ද පිහිටුවා ඇති බව පැවසේ. අන්තර්ජාලය හරහා එකිනෙකට සම්බන්ධ කෙරෙන මෙම ඒකක සමාජ මාධ්‍ය ද යොදා ගනිමින් මේ වෙනුවෙන් වඩාත් කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට නියමිත ය. කුම්භ් මේලා සැණකෙළිය සඳහා සහභාගි වන බැතිමතුන් සංඛ්‍යාව මෑත කාලයේ වේගයෙන් වැඩි වෙමින් ඇති බව ද සඳහන් වෙයි. මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක් බැතිමතෙකු පවසා තිබුණේ බටහිර සංස්කෘතියට නැඹුරුව සිටි බොහෝ දෙනෙකු ද එයින් සැනසීමක් නොලැබෙන කල වඩ වඩාත් මෙවැනි අධ්‍යාත්මික අවස්ථාවන්ට සහභාගි වීමට පෙලඹෙමින් සිටීම මෙයට එක් හේතුවක් බවයි. නිහාල් පීරිස්
 

More News..