brand logo

මිල්කෝ ගත්ත කිරිවලට සල්ලි නොලැබී ගොවීහු ළතවෙති

15 September 2018

මිල්කෝ ආයතනය ගොවීන්ගෙන් ලබාගන්නා කිරි සඳහා මාසයක පමණ සිට මුදල් ගෙවා නොමැති වීමෙන් කිරි ගොවීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. රටපුරා සිටින කිරිගොවීන් හැටදහසකගෙන් පමණ අගෝස්තු මාසයේ ලබාගත් දියර කිරි සඳහා මෙතෙක් මුදල් ගෙවා නැත. ලීටරයක් රුපියල් 68-70 අතර මිලකට දිනකට ලීටර් ලක්ෂ 2 1/2ක් මිල්කෝ ආයතනය මිලට ගිනියි. එසේ ගන්නා කිරි සඳහා දින 15කට වරක් මුදල් ලබාදීම සිදුකරයි. මේ සම්බන්ධයෙන් මිල්කෝ ආයතනයේ සභාපති සුල්තා කාදර් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ තමන් පසුගිය මැයි මාසයේ එම තනතුරට පත්වන විට ආයතනය පාඩු ලබමින් තිබුණත් මේ වන විට දිනකට මිලියන 100ක පමණ ආදායමක් ලැබෙන නිසා කිරි ගොවීන්ගෙන් ලබා ගත් දියර කිරි සඳහා මුදල් ගෙවීම ආරම්භ කර ඇති බවයි. මේ වන විට අගොස්තු මාසයේ පළමු දින 15ක මුදල් ගෙවීම ආරම්භ කර ඇති බවද සභාපතිවරයා පැවසීය. චමින්ද සේනාරත්න
 

More News..