brand logo

මියන්මාර් වැසියන්ට ගුවනින් ප්‍රහාර

03 April 2021

වසර කිහිපයක් ප්‍රජාතන්ත්‍රවාදයේ පහස විඳි මියන්මාරය හෙවත් බුරුමය මේ වන විට ගිනි ජාලාවක් බවට පත් වී ඇත්තේ එහි හැම පුරවැසියකුම පාහේ ජීවත් වන්නේ මරණය අතේ තබාගෙන, හදවතේ ගිනි දල්වාගෙනය. ඊට පදනම දැමුණේ පසුගිය පෙබරවාරි පළමුවැනිදා වූ හමුදා කුමන්ත්‍රණය සමගය. මාර්තු 27 වැනිදා එරට ආරක්ෂක හමුදා සංවත්සර දිනයට හමුදා කුමන්ත්‍රණයෙන් පසු කෙරුණු දරුණුම ඝාතනය එදින සිදු විය. සෙනසුරාදා පමණක් ආරක්ෂක අංශවල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව සියයකට වැඩි බව සඳහන් වේ. පසුගිය නොවැම්බර් මාසයේ පැවැති මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ අවුන්-සාන්-සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ලීගයයි. (NLD) නමුත් පෙබරවාරියේ දී හමුදා කුමන්ත්‍රණයක් මගින් එම රජය බලයෙන් පහ කර හමුදා පාලනයක් ඇරැඹීමට මියන්මාර ආරක්ෂක අංශ පියවර ගත්තේය. නව ජුන්ටා පාලනයට එරෙහිව එරට ජනතාව වීදි බසින්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. සෙනසුරාදා රාත්‍රියේ එහි උච්ඡතම අවස්ථාවක් වාර්තා වී තිබේ. ගිනිකොන දිග මියන්මාරයේ කරෙන් ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන කරෙන් ජාතික එකමුතුවේ (KNU) සටන්කාමින් ඉලක්ක කරගෙන එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ගොදුරු වීම නිසා ළමෝ හා කාන්තාවෝ ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇති බව ජ්‍යතන්තර මාධ්‍ය වාර්තා කළේය. හමුදා ප්‍රහාරවලට දහස් ගණනක් කැලෑ වැදී ඇති බවද වාර්තා වේ. ඉරිදා බෝම්බ ප්‍රහාරයකට ලක් වීමෙන් අවුරුදු 05ක දරුවෙක්ද මියගියේය. 12 හැවිරිදි දැරියකට බෝම්බ කැබැල්ලක් වැදීමෙන් තුවාල සිදු විය. Free Burma Rangers නම් සහන සංවිධානය ප්‍රකාශ කරන්නේ සඳුදා දිනයේ එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් හ්සෝ-හි නගරයේ 06 දෙනකු මියගොස් 11 දෙනකුට තුවාල සිදු වී ඇති බවයි. එසේම ඩ්වේ-ලෝ උසස් විද්‍යාලයද විනාශ වී තිබේ.මේ වන විට රටපුරා ප්‍රධාන නගර 40කට අධික සංඛ්‍යාවක පාලක හමුදා ජුන්ටාවට එරෙහි විරෝධතා පැවැත්වේ. දශක ගණනාවක් තිස්සේ ස්වයං පාලන අයිතිය ඉල්ලා සිටින විවිධ වාර්ගික සන්නද්ධ කණ්ඩායම් 20ක පමණ සහයෝගයද ඔවුන්ට ලැබී ඇත. කරෙන් ජාතික එකමුතුව (KNU) එවැනි එක් සංවිධානයකි. 2015 දී ඔවුන් රජය සමග සටන් විරාමයකට එළැඹුනු නමුත් දැන් එය බිඳී ගොසිනි. පසුගිය සතියේ තායිලන්ත දේශසීමා ආසන්නයේ පිහිටි KNU කේන්ද්‍රස්ථානවලට එල්ල කළ හමුදා ගුවන් ප්‍රහාරවලට බියෙන් 3000ක පමණ පිරිසක් සැල්වීන් ගංගාව හරහා තායිලන්තයට පලා ගියෝය. ඒ සමග 10000කට පමණ සිය නිවාස අහිමි වී ඇති බවද වාර්තා වේ. 114ක පමණ එම ප්‍රහාර හේතුවෙන් ජීවිත අහිමි විය.මෙම අර්බුදය හමුවේ ආරක්ෂාව පතා මියන්මාරයෙන් යාබද රටවල් වන ඉන්දියාව, තායිලන්තය, චීනය, රුසියාව ආදී රටවල් කරා පලා යාමට උත්සාහ කරන පිරිසද වැඩිවෙමින් පවතී. තායිලන්ත විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මු-ට්‍රෝව් ප්‍රදේශයේ සිට පලා ආ දස දහස් ගණනක මියන්මාර් ජාතිකයන් පිරිසක් එයි-තෝ-හිටා හි සරණාගත කඳවුරක රඳවා සිටින බවයි. එසේ පැමිණෙද්දී තුවාල ලද අයට ප්‍රතිකාර දීමටද ඒ සඳහා ගිලන් රථ හයක් යොදවා ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. බටහිර බුරුමයෙන් පලා විත් ඉන්දියාවේ මයිසෝර් ප්‍රාන්තයට ඇතුළු වන පිරිසද වැඩි වෙමින් පවතී. බොහෝ ඉන්දියානුවන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටද ඉදිරිපත් විය. මේ අතර චීනය හා රුසියාව තුළ කොවිඩ් 19 ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් සරණාගතයන් වෙත දෝෂාරෝපණ එල්ල වී ඇත. මියන්මාර් දේශ සීමාව ආශ්‍රිතව පිහිටි යුනාන් ප්‍රාන්තයෙන් පසුගියදා කොවිඩ් ආසාදිතයින් 09 දෙනකු වාර්තා වූ අතර ඉන් සිව් දෙනකුම පලා ආ බුරුම ජාතිකයෝ වෙති. ඒ හේතුවෙන් රුයිලි නගරයේ විශේෂ කොවිඩ් පරීක්ෂා වැඩසටහනක් අරඹා ඇත. එමෙන්ම එහි සංචරණ සීමා පැනවීමටද කටයුතු කර තිබේ. රුසියාවද පවතින්නේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් විදේශිකයන්ට රටට ඇතුළු වීම අවහිර කිරීමේ තත්ත්වයකය. පසුගිය බදාදා දිනයේ දී කචින් ගරිල්ලා හමුදාව විසින් උතුරු මියන්මාරයේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළේය. එමගින් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියන්මාර ජනගහණයෙන් 90% පමණ බෞද්ධයන්ය. එමෙන්ම එහි බලවත්ම සිවිල් සංවිධානය ලෙස සැලකෙන්නේ භික්ෂුන්ය. 1948දී ඉංග්‍රීසින්ගෙන් නිදහස ගැනීම සඳහා එරට හමුදාව සමග එක්ව භික්ෂුන්ද විශාල කාර්යභාරයක් ඉටු කළෝය. එහෙත් වර්තමානයේ දී සංඝ සමාජය ආරක්ෂක අංශයට විරුද්ධව කටයුතු කිරීමේ තීරණාත්මක කඩඉමකට ළඟාවෙමින් සිටී. තවමත් රජයේ අධ්‍යාත්මික උපදේශකයන් ලෙස කටයුතු කරන්නේ භික්ෂූන්ය. කෙසේ වුවද ආරක්ෂක අංශ නිතරම උත්සාහ දරන්නේ භික්ෂු සමාජයේ හොඳ හිත ආරක්ෂා කරගෙන පාලනය ගෙන යාමටය. 2007 වසරේ සිදු වූ කුංකුම විප්ලවයෙන් පසු ඒ සඳහා ඔවුන් දැඩි වෑයමක් ගනිමින් සිටී. සිවිල් ජනතාවට එරෙහිව ආරක්ෂක අංශ ප්‍රහාර එල්ල කිරීම භික්ෂුන් අතර දැඩි විවේචනයකට බඳුන් වී පවතී. එසේ වුවද මියන්මාරය ‘ඉස්ලාමිකරණයට’ ලක්වීම සම්බන්ධ ප්‍රචාරයන් හේතුවෙන් එහි හමුදාවේ බලය අඩපණ කිරීමට භික්ෂු ප්‍රජාව කටයුතු කරතැයි සිතීම අපහසුය. හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව මාස දෙකකුත් ගෙවී ගොස් තිබේ. ගැටුම් හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 530කට අධිකය. ඒ අතර ස්ත්‍රීන් හා කුඩා දරුවන්ද සිටී. කෙසේ නමුත් මියන්මාර් වැසියන් හෝ ආරක්ෂක අංශ යන දෙපාර්ශ්වයම පසු බැසීමට සූදානම් බවත් නොපෙනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇමරිකාවද හමුදා ජුන්ටාවට එරෙහිව අනතුරු හඟවා ඇත. නමුත් වර්තමාන ලෝක දේශපාලන වාතාවරණය තුළ මේ කිසිවක් ක්ෂණිකව සිදු වෙතැයි අපේක්ෂා කිරීම අපහසුය. බලාපොරොත්තු විය හැකි එකම ප්‍රතිඵලය සමාජ දුරස්ථභාවය හා නිරෝධායන උපක්‍රම පිළි නොපැදීම හරහා කොවිඩ් අවදානම ඉහළ යාම පමණකි. වසන්ත විජේරත්න
 

More News..