brand logo

මිනී මරන අලි මන්තර

12 January 2019

කතරගම ප්‍රදේශයේ අලි මන්තර දැන හිඳින්නකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි කතරගම, වල්ලිමාතාගම පදිංචි හතළිස් එක් හැවිරිදි පුද්ගලයෙක් පසුගිය දා වනඅලි ප්‍රහාරයකින් මිය ගියේය. එල්.ඒ. සුසන්ත නමැති ඔහු දේශීය සංචාරකයන් පිරිසක්ද සමග යාල කලාප අංක 03ට අයත් වෙහෙරගල වන සීමාවේ දී මෙම අනතුරට මුහුණ පා තිබිණ. තමන් සතු අලි මන්තර හැකියාව මුල් කොට එහිදී හමුවූ වන අලියකු ඉදිරියට අභීතව ගිය ඔහු එම වන අලියාගේ ප්‍රහාරයෙන් එතැනදීම ජීවිතක්ෂයට පත් විය. ඉන් පසුව ප්‍රදේශයේ ඇතැමුන් ප්‍රකාශ කොට සිටියේ ඔහු පාවහන් පැලඳ අලි මන්තර කීම නිසා එම මන්ත්‍ර බලය අහිමිව ගිය බවකි. මේ අතර ඔහු එම අවස්ථාවේ බීමත්ව සිටි බවට හා අසභ්‍ය වදන්වලින් අලියා ආමන්ත්‍රණය කළ බවට පදනම් විරහිත කටකතාද ප්‍රදේශය පුරා පැතිර යන්නට විය. මෙම කටකතාවලට හේතු වූයේ ඔහුගේ මරනයත් සමග අලි මන්තර හෑල්ලුවට යාම කෙරෙහි ඇති පොදුජන නොකැමැත්ත බව මගේ පෞද්ගලික විශ්වාසයයි. අලි මන්තර පිළිබඳව අප රටේ සෑම අයකුම පාහේ අසා තිබේ. එහෙත් ඒ සම්බන්ධ ප්‍රායෝගික මට්ටමේ උනන්දුවක් පළ කරනුයේ වන අලින් ගැවසෙන ප්‍රදේශවල ජනතාව පමණි. කතරගමද ඒ අතරින් ප්‍රධානත්වයක් හිමි කරගෙන තිබේ. පසුගිය දිනයෙක අලිමන්තර මගින් අලින් පසු ගැන්වීමට සමත් කතරගම ප්‍රදේශයේ වෙසෙන යුනාරා නම් නව හැවිරිදි දැරිය පිළිබඳව මාධ්‍ය මගින් පුළුල් ලෙස ප්‍රචාරය කෙරිණ. තමන්ට එම මන්තර ගුරුකම් ලැබී ඇත්තේ තම පියා වන දිනෙක සිල්වා ගෙන් බව ඇය කියා තිබිණ. මෑත සිට අතිශයින් ජනප්‍රියත්වයට පත්ව කැබිලිත්ත දේවාලය වෙත යන වන්දනාකරුවන්ට මග පෙන්වන්නකු වන දිනෙකගේ එම අලි මන්තර හැකියාව අන්තර්ජාලයේ යූ ටියුබ් වෙබ් අඩවියෙන්ද දැක බලා ගත හැක. ඔහු එම අලි මන්තර ඉගෙන ගෙන ඇත්තේ ඔහුගේ මාමණ්ඩිය හෙවත් කේ. ඩේවිඩ් ගෙනි. අම්පාර, කුමන ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු ඩේවිඩ් වන සත්ත්ව නියාමකවරයකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳී අවඩි සහකාර නිලධාරියකු වශයෙන් විශ්‍රාම ගෙන මීට මඳ කලකට ඉහත සදහටම මෙලොවින් සමුගෙන තිබේ. තමන් සමීපයේ ඇතැයි පැවසෙන එම අලිමන්තර ඔහු පසුව සලාකා සමූහ ව්‍යාපාරයේ අධිපති ධුරය හෙබවූ ලක්ෂ්මන් නෙත්තිකුමාරට ද උගන්වූ බව සඳහන්ය. එමෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේම වන සත්ත්ව නියාමකවරයකු වශයෙන් සේවය කරන ඩේවිඩ්ගේ පුත් සුජීව යාල ජාතික වනෝද්‍යානයේ බුතව බංගලාවේ ටැංකියෙන් වතුර බීමට පැමිණි ප්‍රචණ්ඩ හස්තියකු මෙල්ල කරනු තමන් සියැසින් දුටු බව හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන එඩ්මන්ඩ් විල්සන් මීපගේ විසින් ලියන ලද හතළිස් වසරක වන දිවියේ පිය සටහන් නම් කෘතියට ඇතුළත් කොට තිබේ. එමෙන්ම එම සිද්ධියෙන් තමන් කෙතරම් කැලඹීමට පත්වූයේද යත් මින්පසු තමන් සිටින තැන ඔවැනි අවදානම් සහගත කටයුතු නොකරන ලෙස තමන් සුජීවට තදින් අවවාද කළ බවද ඔහු එම කෘතිය මගින් පවසා තිබේ. තවද කතරගම රූමතිය නමින් ඉමහත් ප්‍රසිද්ධියට පත් 1971 කැරැල්ල සමයේ කෘෘර ඝාතනයට ලක් වූ ප්‍රේමවතී මනම්පේරිගේ පියා ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර අලින්ට ලේ බඩ යන තරම් ප්‍රබල අලිමන්තර ඔහු සතුව තිබූ බව පැවසෙයි. ඒ කෙසේ හෝ මේ සියලු තොරතුරු මධ්‍යයේ මෙම අලි මන්තරවල ශාස්ත්‍රීය සහ විද්‍යාත්මක පක්ෂය පිළිබඳව විමසුමක යෙදීම මැනවැයි සිතේ. අලි මන්තර භාවිතයෙන් වන අලින් මෙල්ල කළ පුවත් ලක් ඉතිහාසයේ අතිශයින් විරලය. එහෙත් නූතන සිංහල බුදු සසුනේ සමාරම්භකයාණන් වහන්සේ වශයෙන් සැලකෙන වැලිවිට ශ්‍රී සරණංකර සඟ රජ නාහිමියන් හා මහනුවර යුගයේ විසූ වස්කවි සම්බන්ධයෙන් නම් දැරූ කුංකුනාවේ හාමුදුරුවෝ නමින් ප්‍රකට කුංකුනාවේ සුමංගල හිමියන් හා සම්බන්ධ අලි මන්තර පිළිබඳ එක් පුරාවෘත්තයක් තිබේ. මහනුවරට ඕලන්ද ආක්‍රමණයක් ඇති වෙතැයි යන බිය නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජු පවා දළදා වහන්සේද රැගෙන මහනාහිමිවරුන්ද සමග නගරයෙන් ඉවත්වූ සමයෙක අසූ හැවිරිදි සංඝරාජ නාහිමියන් පමණක් කාගේවත් පිළිසරණක් නොමැතිව බියෙන් සැකයෙන් යුතුව මල්වතු මහා විහාරයේ කල් ගෙවූ බවත් එවිට උන්වහන්සේ තම කරින් ඔසවාගෙන යාමට නව යොවුන් කුංකුනාවේ හිමියන් ඉදිරිපත් වූ බවත් පැවසෙන එම අප්‍රකට කතා පුවත වෙහෙර විත්තිය නම් කවි පොතෙහි සවිස්තරාත්මකව සඳහන් වෙයි. එම ගමනේ අතරමග සූරියගොඩ ප්‍රදේශයේදී මහ මගට වන අලින් දෙදෙනකු කඩා වැදුණු අතර කුංකුනාවේ හිමියන් ‘බුද්ධ අණින් පලයන්’ කී සැණින් එම අලි දෙදෙනා පලා ගිය පුවත වෙහෙර විත්තියෙහි සඳහන් වනුයේ මෙලෙසිනි. බුද්ධ අණින් පලයන් පවසන්නේ අලියෝ ගුගුරන එපිට දුවන්නේ සඟරජ සිහිසුන් මඳව වැටෙන්නේ සිහි එන කල් මම එතැනම උන්නේ ඒ කෙසේ හෝ මෙම අලි මන්තර පිළිබඳව විස්තර කරන සමහරු මේවා මන්ත්‍ර ශාස්ත්‍රයේ ‘අංගම්’ සහ කාලම් ගණයට අයත් වන බවක් කියති. කාලම යනු ශාන්ති කර්ම ආදියෙන් අමනුෂ්‍යයන් පලවා හැරීමට පිඹිනු ලබන්නකි. අංගම යනු කෙනකු ක්ෂණයකින් නාසයෙන් කටින් ලේ හලමින් සිහිසුන්ව බිම ඇද දමන මලකට හෝ කොළයකට ජීවම් කොට එයට පිඹීමකි. Discovering Ceylon නම් සිය අනගි කෘතිය මගින් ආර්.එල්. බ්‍රෝහියර් සූරීන් ඒ පිළිබඳව විස්තර කරති. එමෙන්ම එම මල හෝ කොළය වියළා සුරුට්ටු දුමක් වශයෙන්ද එම අංගම පිඹ අන්‍යයන් කරා යැවිය හැකි බව ඔහු සඳහන් කරනමුත් යම් අතපසුවීමක් නිසා එහි අංගම යන්න ඔහු අතින් ලියැවී ඇත්තේ ‘අංජනම’ යනුවෙනි. එහෙත් එහි අංජනම යනුවෙන් වෙනම විස්තරයක් ඇති බැවින් එය වැරදීමක් බව පෙනෙයි. ඒ කෙසේ හෝ අලි මන්තර වශයෙන් ජනතාව හඳුන්වන මන්ත්‍රවල ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් ඇති බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන මූලික විමසුමේ දීම වටහා ගත හැක. එමෙන්ම මහනුවර යුගයට අයත් ඇතැම් මන්ත්‍ර පොත්වල අලි මන්ත්‍ර ද දක්වා ඇතත් ඒවා නිශ්චිත වශයෙන් හඳුනාගත නොහැකි සංකර හෙවත් අච්චාරු බසකින් ප්‍රබන්ධය වී ඇති බව නම් පැහැදිලිය. එමෙන්ම අප රටේ භාවිත වන බොහෝ අලි මන්ත්‍රවල බුදුන්ගේ නාලාගිරි දමනය පරමාදර්ශයක් සේ දක්වා ඇති බවද පෙනෙයි. ඕං රීං ජඨකාරි භවතුං ඕං ශ්‍රී බුද්ධස්ස ලෝකස්ස නාලාගිරි ජහාරියේ භගවතෝ යනුවෙන් දැක්වෙන එවන් අලි මන්තරයක ඊළඟ පද කිහිපය වනුයේ එක්කට්ටි කන්ද සාමි යහනේ දිරි සුං කිඩංනරි අප්පා කිඩහරි ඒස්වහඃ යනුවෙනි. ඒ අනුව මේවා වියත් ප්‍රබන්ධ නොවන බව අතිශයින් පැහැදිලිය. මෙම අලි මන්තරවල තවත් එක් සුවිශේෂත්වයක් වනුයේ මෙම ශාස්ත්‍රය සමාජයේ විවිධ පුද්ගලයන් සතුව ඇතත් අලි ඇතුන් හා නිතර ගැවසෙන ඇත් ගොව්වන් සතුව නොමැති බවය. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාරම්පරික ඇත් ගොව්වකු වන ඉංගිරියේ ඩබ්ලිව්. පද්මලාල් මහතා පවසනුයේ අලින් බැලීමේ ශාස්ත්‍රය පිළිබඳ නොයෙක් කරුණු පාරම්පරිකව තමන් වෙත ලැබී ඇතත් අලි මන්තර සම්බන්ධයෙන් කිසිදු දැනුමක් තමන් සතුව නොමැති බවය. ඒ අනුව මෙම අලි මන්තර වන අලින් මිස හීලෑ අලින් සම්බන්ධයෙන් වලංගු නොවන බව මූලිකව නිගමනය කළ හැක. එමෙන්ම වන අලින් දමනය කර ගැනීම හීලෑ කර ගැනීම ආදී කටයුතු සඳහා අතීතයේ දී අලි මන්තර භාවිත වූ බවට ප්‍රමාණවත් තොරතුරු නොමැති වීමද විශේෂත්වයකි. විශේෂයෙන් මහනුවර යුගය වන විට කුරුවෙ හෙවත් ඇතුන් පිළිබඳ කාර්යංශයක් රජවාසල මගින් ස්ථාපිත කොට තිබූ බවත් එම කාර්යංශය පන්නා කුලයේ මිනිසුන්ගෙන් සැදුම්ලත් බවත් සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය කෘතිය මගින් මහාචාර්ය රැල්ෆ් පීරිස් සූරීහු කියති. ‘දුරයා’ නමින් හැඳින්වුණු ප්‍රධානියකු යටතේ ක්‍රියාත්මක වූ මෙම කාර්යාංශය මගින් ඇතුන් ඇල්ලීම, හීලෑ කිරීම, රජතුමාගේ ඇත්ගාලේ කටයුතු කිරීම වැනි රාජකාරීන් ඉටු කරන ලද අතර වන අලින් ඇල්ලීමට පුහුණු කරන ලද වෙනම අලි ඇතුන් යොදාගත් බවක් විනා ඒ සඳහා මන්ත්‍ර යොදා ගත් බවක් පිළිබඳ කිසිදු සඳහනක් නැත. ඒ අනුව අපට හැඟී යනුයේ හුදෙක් වන අලියකු ඉදිරියට මුණගැසුණු විට තම ජීවිතාරක්ෂක උපාය මාර්ගයක් වශයෙන් පමණක් අතීතයේ මෙම අලි මන්තර භාවිතයට ගැනුණු බවය. එකේ කෙසේ හෝ දැනට මිහිපිට වෙසෙන ලොකුම සද්දන්තයා වන අලියා මෙලෙස මිනිසෙකුගේ වචන කිහිපයක් හමුවේ පලායාමද සුළුවෙන් තැකිය හැකි කරුණක් නොවේ. එනිසා ඒ පිළිබඳවද වැඩිදුරටත් විමසා බැලිය යුතුය. අලි ඇතුන්ගේ මිනිසුන්ගේ කන් ඇසීමේ ප්‍රමාණය හෙවත් ශ්‍රව්‍ය පරාසය එකක් නොවේ. මිනිසුන්ට ඇසෙන අවම ශ්‍රව්‍ය ධාරිතාව 20hz (හර්ට්ස්) වන අතර අලි ඇතුන්ගේ එම ප්‍රමාණය 14 - 16 hz දක්වා පහළ අගයක් ගනී. ඒ අනුව මිනිසුන්ට නෑසෙන සියුම් ශබ්ද පවා ග්‍රහණය කරගන්නා අලි - ඇතුන් එමගින් මිනිස් අපට නෑසෙන අයුරින් දුර සිටින තම වර්ගයා සමග සියුම් ලෙස සන්නිවේදනය කර ගනිති. එමෙන්ම මිනිසකු හට 20,000 hz (හර්ට්ස්) ප්‍රමාණයක් ශ්‍රවණය කර ගත හැකි මුත් අලි ඇතුනට උපරිම ලෙස ශ්‍රවණය කර ගත හැකි ශ්‍රව්‍ය ධාරිතාව 12,000hz (හර්ට්ස්) පමණි. එ් අනුව මිනිසුන් විසින් එක්වරම නඟන අධික ශබ්දයක දී අලි ඇතුන් ක්ෂණික තිගැස්මකට ලක්ව පසුබැසීමේ යම් හැකියාවක් තිබේ. තවද මුළුමනින්ම ශාක භක්ෂක සතකු වන අලියා ස්වභාවික ලෙස මිනිසුන් හෝ සතුන් දඩයම් කරන්නෙක් ද නොවේ. එනිසා තම ආරක්ෂාව ආදී හේතූන් මුල් කොට මිස මිනිසුන්ට පහර දීමේ ජෛවමය උරුමයක් ද අලි ඇතුන් සතුව නැත. මෙයද අප සමාජයේ පවතින අලි මන්තරවලින් ‘යහපත් ප්‍රතිඵල’ ලබා දීමට හේතු වී තිබේ. එමෙන්ම වන අලින් මෙල්ල කළ හැකි බලගතු මන්ත්‍රයක් තමන් සතුව ඇතැයි සිත තුළ දැඩි විශ්වාසයක් ඇති තැනැත්තා අලියා ඉදිරියට යනුයේ කිසිදු බියකින් සැකයකින් තොරවය. ඔහුගේ එම විලාසය ද අලින් පසු ගැන්වීමට සමත් වන අතර මෙය අන්තර් ක්‍රියාව (Interaction) යනුවෙන් හැඳින්වෙයි. මේ සම්බන්ධයෙන් මා විසින් කරනු ලැබූ විමසීමේදී අලි මන්තර කොටස් දෙකක් ඇති බව අනාවරණය විය. අලියකු හදිසියේ තමන් ඉදිරියට පැමිණි විටෙක කෑ ගසා කියන මන්ත්‍ර ඉන් පළමු වැන්නය. අලින් තම හේනට කුඹුරට කඩා වැදුණු පසු ඔවුන්ට යන්තමින් ඇසෙන සේ මුමුණා කියන මන්ත්‍ර දෙවන ගණයට අයත් වෙයි. ඒ කෙසේ හෝ අදටත් අප ජන සමාජයේ බොහෝ දෙනකු බලවත් සේ විශ්වාස කරන අලි මන්තරවල සැබෑ ස්වරූපය පිළිබඳ ‘මායා රංජන්’ යන ආරූඪ නාමයකින් තම දිගාමඬුල්ලේ ආශ්චර්ය නම් විශිෂ්ට කෘතියේ මෙම සටහන තබන දිගාමඬුල්ලේ වනගත ගැමි දිවිය පිළිබඳ විශිෂ්ට විවරණයක් කරන මහානාම රාජපක්ෂ නම් ගුරු මහතා මීට හැට හතර වසරකට පෙර එනම් 1955 වසරේ කළ මෙම ප්‍රකාශය කෙතරම් යථාර්ථවාදී දැයි විමසා බලමු. අලියාට මැතිරීම දෙයාකාරයකින් කෙරෙයි. එකක් හීන් හඬින් - එහෙත් අලියාට ‘මුණු මුණු’ හඬ ඇසෙන සේ මැතිරීමය. අනික් විදිහ මහ හඬින් කෑ ගසා මන්තරය කීමය. මහ හඬින් කීමට ද වඩා අලියා බිය වදින බව පෙනෙන්නේ සෙමින් මතුරන මන්තරයටය. මන්තරයක් පමණක් නොව මොකක් නමුත් කියුමක් එසේ සෙමින් හෝ මහ හඬින් කීවත් මේ සතුන් බිය වැද්දිය හැකිය. අලියා අනික් සතුරන්ට වඩා කල්පනාකාරීකම් දක්වන නිකරුණේ කඩා බිඳ ගෙන දිවීම හෝ ලුහුබැඳීම හෝ හිතුමතයේ නොකරන සතෙකි. හෙමින් කියන මන්තර පමණක් නොව කොයි දෙයක් වුවත් ඔහු තේරුම් ගන්නේ තමන්ට සතුරුකමක් කිරීමට මිනිසා රහසින් කරන කතාවක් හැටියටය. හෙමින් කියන මන්තරයෙන්ද ඌ මගහරින්නේ ඒ නිසා විය යුතුය.’’ ඒ කෙසේ වෙතත් මෙම තත්ත්වය යටතේ හෝ තමන් වනමැද තනිව යන විට අලියකු හමුවුවහොත් ජීවත්වීමේ වාසනාව අවසන් වරටත් උරගා බැලීම පිණිස පමණක් යොදා ගත යුතු අලි මන්තර වෙනත් අරමුණු ඉටු කර ගනු පිණිස භාවිත කළහොත් ඒවා ‘මිනී මරන අලි මන්තර’ ලෙසින් අනාගතයේ දී සමාජය පුරා තවදුරටත් ප්‍රචලිත වීම කිසිවකුටත් වැළැක්විය නොහැක. තිලක් සේනාසිංහ
 

More News..