brand logo

මිනිස් සිරුරු 266ක කොටස් මතු වූ මන්නාරම සමූහ මිනිවළ

06 December 2018

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 266 කට අදාළ අස්ථි කොටස් අද(06) වන විට හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 266 කට අදාළ අස්ථි කොටස් ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර,ඉන් සිරුරු 258 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති බවයි. පළමු හා දෙවන අදියර යටතේ වළ තුළින් පස් ඉවත් කිරීම සිදුකොට ඇති අතර, තවදුරටත් පරීක්ෂණ පවත්වන සීමාව විශාල කිරීම සිදුකිරීමට අවශ්‍ය වනු ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසූවේ වළ තුළින් ගොඩගත් සිරුරු 258 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර,ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් කැලිෆෝනියාවේ කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවයි. මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය. මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. පුරාවිද්‍ය නිළධාරීන්,රජයේ රස පරීක්ෂක නිළධාරීන්,අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 112 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇත. මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති. වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි. අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කළේය. වවුනියාව- මාධව කුලසූරිය
 

More News..