brand logo

මන්නාරම සමූහ මිනිවලින් සොයාගත් අස්ථි කොටස් කම්බිවලින් බැදලා?

07 December 2018

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මතුවු මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට කිසියම් ද්‍රව්‍යයකින් එක්ව සිටින ආකාරයට බැද තිබෙන ආකාරයේ අස්ථි කොටසක් ඊයේ(06) දහවල් කැනීම් තුළින් හමුවු බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ එලෙස හමුවු අස්ථි කොටස මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අවධානය පිණිස යොමුකොට ඇති අතර, අදාළ අස්ථි කොටස් දෙක කිසියම් ලෝහයකින් හෝ වෙනත් යමකින් ගැටගසා ඇතිද? එලෙස නොවන්නේ නම් අදාළ අස්ථි කොටස්වල පැළදි වෙනත් ආභරණයක්ද? නැතිනම් සිමෙන්ති බැදීමක්ද? යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි. රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසූවේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 266 කට අදාළ අස්ථි කොටස් අද(06) වන විට ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර,ඉන් සිරුරු 260 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති බවයි. පළමු හා දෙවන අදියර යටතේ වළ තුළින් පස් ඉවත් කිරීම සිදුකොට ඇති අතර, තවදුරටත් පරීක්ෂණ පවත්වන සීමාව විශාල කිරීම සිදුකිරීමට අවශ්‍ය වනු ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසූවේ වළ තුළින් ගොඩගත් සිරුරු 260 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර,ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් ෆ්ලෝරිඩාවේ කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවයි. මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය. මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. පුරාවිද්‍ය නිළධාරීන්,රජයේ රස පරීක්ෂක නිළධාරීන්,අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 112 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇත. මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති. වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි. අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කළේය. වවුනියාව - මාධව කුලසූරිය  
 

More News..