brand logo

මිනිස්සු මේ තරම් ආදරේ ඇයි කියලා මටවත් හිතා ගන්න බෑ

14 September 2022

පුංචි තිරයේදී වගේම සිනමාව තුළිනුත් මගේ රංගන හැකියාවන් දැකගන්න කැමැත්තෙන් ඉන්නවා කියලා ආදරණීය ප්‍රේක්ෂකයන් වගේම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බොහෝ දෙනෙක් පවා මට කියලා තියෙනවා. ඔවුන් තැබූ විශ්වාසයට ආදරයට තෑග්ගක් විදියට මම සිනේමා සිනමා නිර්මාණය මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට තිළිණ කරනවා. අනික් රංගන ශිල්පීන් ශිල්පිනියන්ට සාපේක්ෂව මම නිර්මාණ රාශියක රඟපාලා නැහැ. ඒත් මම රංගනයෙන් සම්බන්ධ වූ නිර්මාණ කිහිපයට පවා ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අදටත් ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබෙන ආදරය දශමයකින්වත් අඩුවක් වෙලා නෑ. ඉතින් සිනේමා කියන්නේ ඒ ආදරයට පෙරළා මගෙන් ලැබෙන ආදරණීය තෑග්ගක්. මට ආදරය කරන, සිනමාවට ආදරය කරන සියලු දෙනාට සිනේමා අත්දැකීම විඳින්න කියලා මම ආරාධනා කරනවා." May be an image of 2 people පසුගිය දවසක තිරගත වීම ආරම්භ වුණු සිනේමා සිනමා සිත්තම හැඩ කරන ආදරණීය හැඩකාරියට අද අපි ‘පිනිපලස’ පිළිසඳරට ආරාධනා කළා. සිනමාවට වගේම පුංචි තිරයටත් මේ හැඩකාරිය නුහුරු නුපුරුදු චරිතයක් නෙවෙයි. 2016 රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළියට හිමි සම්මානය දිනා ගත් ඇය ඉන් පසුව පිට පිටම තුන් වතාවක්ම ඒ සම්මානයේ උරුමකාරිය බවට පත් වුණා. ඉන් නොනැවතී slim ජනතා සම්මානය හය වතාවක්ම දිනා ගන්නත් ඇයට හැකියාව ලැබුණා. ප්‍රීසියෙස් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී පවා ඇගේ රංගනයන් සම්මානයට පාත්‍ර වුණා. ඒ නිසාම තමයි මම ඇයව නව පරපුරේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් හැටියට හඳුන්වා දෙන්නේ. දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ දඟකාර, කටකාර දෙව්මිගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව දිනා ගත් ඇය නමින් නයනතාරා වික්‍රමආරච්චි. මම මුලින්ම සටහන් කළා වගේ මේ දවස්වල නයනතාරාගේ රංගනයෙන් හැඩ වන අලුත්ම සිනමා නිර්මාණය ‘සිනේමා’ තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ. සිනේමා කියන්නේ නයනතාරාගේ තුන්වැනි සිනමා රංගන අත්දැකීම. තිරගත වූ දෙවැනි සිනමා නිර්මාණය. ඇය අපිට මුලින්ම සිනමා නිර්මාණයකින් මුණ ගැහෙන්නේ ‘එක දවසක අපි’ සිනමා නිර්මාණය හරහා. ඇයගේ පළමුවැනි සිනමා අත්දැකීම වෙනුවෙනුත් දෙරණ සම්මාන උළෙලේදී ඇයට නැගී එන නිළියට හිමි සම්මානයත් හිමි වුණා. ඉතින් සිනේමා ගැන නයනතාරා මේ විදියට අපිත් එක්ක අදහස් බෙදා ගත්තා.
"මම රඟපාන අලුත්ම ෆිල්ම් එක රිලීස් වුණ නිසා මේ දවස්වල ගොඩාක් සතුටින් ඉන්නේ. සිනේමා වෛද්‍ය කපිල සූරියආරච්චිගේ අධ්‍යක්ෂණයක්. ශ්‍යාම් ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, මේඝ සූරියආරච්චි, ඩග්ලස් රණසිංහ, රොබින් ප්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, දුලීකා මාරපන, විජේරත්න වරකාගොඩ, කලණි දොඩම්තැන්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ගාමිණී හෙට්ටිආරච්චි, ජගත් බෙනරගම වගේ ප්‍රවීණ සහ දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් සමග රඟපාන්න අවස්ථාවක් ලැබීමත් වාසනාවක්. අපි හැම වෙලාවකම සිනමාවේදී දකින්නේ සිනමාවෙන් පිටත සිදුවෙන දෙයක්. සිනමා නිර්මාණයක් තුළින්ම සිනමාව පිළිබඳව විවරණයක යෙදීම සුවිශේෂී වගේම අලුත්ම අත්දැකීමක්. රංගන ශිල්පිනියක් හැටියටම නිර්මාණයක චරිතයක් කරන්න ලැබීම මට අලුත් අත්දැකීමක්. ඒ අවස්ථාව මට ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. දකින සිනමාවේ නොදකින ඇත්ත දැකගන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව මගහැර ගන්න එපා කියලා මම මතක් කරනවා." No photo description available.
‘සිනේමා’ වගේම නයනතාරා රංගනයෙන් සම්බන්ධ වුණු තවත් සිනමා නිර්මාණයක රූගත කිරීම් පහුගිය දවසක අවසන් වුණා කියලත් අපට දැනගන්න ලැබුණා. ඒ අලුත් නිර්මාණය තුළිනුත් නයනතාරාගේ රංගන හැකියාවන් දැක බලාගන්න ප්‍රේක්ෂකයන්ට ඉක්මනින්ම අවස්ථාවක් ලැබෙයි කියලත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. සිනේමා ගැන කතාබහට පොඩි නැවතීමක් තියලා නයනතාරාගෙන් දෙවෙනි ඉනිම ගැනත් වචනයක් දෙකක් අහන්න අපි අමතක කළේ නැහැ. දෙව්මිගෙ චරිතය වගේම දෙවෙනි ඉනිම කියන්නෙත් අලුත් මාතෘකාවක් නොවුණට, මේ නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර නම් දවසින් දවස අලුත් වෙනවා. අවන්ත දෙව්මි ආදර කතාව විසඳෙන්නේ මොන විදිහටද කියලා දෙවැනි ඉනිමට ආදරය කරන ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. දෙව්මි අවන්ත ආදර කතාව ගැන වගේම දෙවෙනි ඉනිම ගැනත් කාටවත් නොකීව අලුත් කතාවක් නයනතාරා පිනිපලසට කිව්වා...
"දෙවෙනි ඉනිම කියන්නේ මගේ රංගන ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක්. නයනතාරා කියන නමට ලොකු වටිනාකමක් ජනප්‍රියත්වයක් දෙවෙනි ඉනිමෙන් එකතු වුණා. අදටත් දෙවෙනි ඉනිමට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාරවල කිසිම අඩුවක් නෑ. දෙව්මිගේ චරිතයත් බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳ ගත්තා. ඉතින් හැමෝම ආදරය කරන දෙවෙනි ඉනිම මේ අවුරුද්ද ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආදරණීයව හොඳ තැනකින් කතාව අවසන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. දෙවෙනි ඉනිමේ සියලුම චරිතවලට වගේම ප්‍රේක්ෂකයන්ටත් අසාධාරණයක් නොකර කතාව අවසන් වේවි." May be an image of 1 person
පහුගිය දවස්වල නයනතාරා දෙමළ කතා කරන්න පුරුදු වුණා කියලත් අපිට ආරංචියක් ආවා. හිටි හැටියේම දෙමළ ඉගෙන ගන්න විශේෂ හේතුවක් තියෙනවාද කියලා අපි ඇහුව ප්‍රශ්නයට නයනතාරාගෙන් ලැබුණේ මේ වගේ උත්තරයක්...
"ලලිත් රත්නායක මහත්මයාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ මගේ රංගන ජීවිතයේ ලැබුණු සුවිශේෂීම අවස්ථා වලින් එකක්. දෙමළ, සිංහල භාෂා දෙකම හසුරුවන්න තියෙන චරිතයක් මට ලැබුණා. නවක දෙමළ රංගන ශිල්පියෙක් සමග තමයි වැඩිපුරම රංගනයේ යෙදෙන්න තිබුණේ. ඒ වගේම කලණි දොඩන්තැන්න අක්කා එක්කත් රඟපාන්න ලැබුණා. ඒ දෙන්නටම හොඳටම දෙමළ පුළුවන් නිසා මගේ චරිතය කරන්න ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. මගේ ටැමිල් යාළුවෝ එක්කත් කතා කරලා මම නොදන්න දේවල් ඉගෙන ගත්තා. දැන් මටත් ටික ටික ටැමිල් කතා කරන්න පුළුවන්. ඉතින් මේ නිර්මාණයක් ඉක්මනින්ම ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්න ලැබේවි."
නයනතාරා කියන්නේ රංගනයට උපන් හපන්කම් තියෙන කටකාර හැඩකාරියක්. මේ විදියට ඇයව හඳුන්වා දෙන්නත් සුවිශේෂී හේතුවක් තියෙනවා. කුඩා කාලයේදී අම්මගේ සාරියකුත් පටලවාගෙන පුංචි තිරයේදී දුටු මතකයේ රැඳෙන චරිත රඟපෑව විදිහ ගැන නම් අපිට කිව්වේ නයනතාරාගේ අම්මා. ඒ නිසාම පාසල් වයසට එද්දී නයනතාරා පාසල තුළත් රංගන කටයුතුවල නිරත වෙලා තියෙනවා. රංගනය හැදෑරීමට තියෙන දැඩි කැමැත්ත සහ වුවමනාව නිසාම රංගනය පිළිබඳව ප්‍රවීණයන් කිහිප දෙනෙක් යටතේම ඉගෙන ගන්නත් ඇය අමතක කරලා නෑ . කොහොම වුණත් දැන් ඇය ජනප්‍රිය සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක්. තවදුරටත් රංගනය පිළිබඳව හැදෑරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් නයනතාරා අපිට කිව්වා. No photo description available. 2015 ‘හංස පිහාටු’ ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි නයනතාරා දෙවෙනි ඉනිමේ වගේම මීදුමෙන් එහා, සමනලුන්ට එන්න කියන්න, පියාඹන මූනිස්සම් වගේ ටෙලි නාට්‍ය තුළිනුත් ඇගේ රංගන කුසලතාවයන් අපූරුවට පෙන්නුම් කළා. කලා ක්ෂේත්‍රයට පිවිසුණාම ප්‍රවීණයන්ගෙන් නවකයන්ට පොඩි පොඩි කැපිලි කෙටිලි බාධා කිරීම් එල්ල වෙනවා කියලා සමහර නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් කිව්වත්, නයනතාරාට නම් ඒ ගැන තිබුණේ වෙනස්ම කතාවක්.
"ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඔවුන් නවකයන්ට ඒ දේවල් බොහොම කැමැත්තෙන් කියලා දෙනවා. හැමෝම දකින විදිහට නවකයන්ට ප්‍රවීණයන්ගෙන් බාධාකිරීම් එල්ල වෙන්නේ නැහැ. එහෙම වෙන අවස්ථාත් ඇති. ඒත් මට හමු වූ සියලුම ප්‍රවීණයන් මගේ රංගන ගමනට ගුරුහරුකම් දුන්නා. ගුරු මුෂ්ටියක් නැතිව හැමදේම මාත් එක්ක බෙදා ගත්තා."
රංගන ක්ෂේත්‍රය තුළ අතිශයින් ජනප්‍රිය වීමේ වුවමනාවක්වත් තව කෙනෙක්ගේ අවස්ථාවක් අරගෙන ඉදිරියට යාමේ වුවමනාවක්වත් නැහැ කියලත් නයනතාරා මතක් කළා. උපාධියේ වැඩ කටයුතුත් කරන අතරතුරදී තමයි නයනතාරා රංගන කටයුතුවල නිරත වෙන්නේ. ඒ නිසා අධ්‍යාපන කටයුතුත් කලා කටයුතුත් පුද්ගලික ජීවිතයත් සමබර කර ගනිමින් හැමදේම කරන්න උත්සාහ කරනවා කියලත් ඇය අපිට කිව්වා.
"මම කොහොමත් ඒකාකාරී චරිතවල රඟපාන්න කැමති කෙනෙක් නෙවෙයි. රඟපාන්නේ නිර්මාණ දෙකකද තුනකද කියන එක මට වැදගත් නෑ. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා. මොනවා හරි දේකට තදින් ඇබ්බැහි වෙලා ඒත් ඒවායේ අන්තෙට නොගිහින් ජීවිතේ දිනන තරුණියකගේ සංකීර්ණ චරිතයක් රඟපාන්න මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා." May be an image of one or more people
ඇයගේ ඒ හීනයත් ඉක්මනින්ම සැබෑවක් වෙන්න කියලා පිනිපලස අපිත් ප්‍රාර්ථනා කරනවා. නයනතාරාගේ රංගන හැකියාවට වගේම ඇගේ දිගු කොණ්ඩයටත්, කටකාර කතාවටත් බොහෝ පිරිසක් ආදරය කරනවා කියන එක රහසක් නෙවෙයි. රංගන ජීවිතයේදී වගේම සැබෑ ජීවිතයේදීත් නයනතාරා කියන්නේ ටිකක් කටකාර චරිතයක් කියලා මට හිතුණා. නමුත් ඇය බොහොම සුහදශීලීව නිරහංකාරව ඕනෑම කෙනෙක් එක්ක කතා කරන්න තරම් මනුස්සකමෙන් පොහොසත් යුවතියක්. පිට පිට සම්මාන ලැබුණත් ඇගේ නිරහංකාරකම නම් ටිකක්වත් අඩුවෙලා තිබුණෙ නැහැ. ඒ නිසාම ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් අදටත් ඇයට දෙන ආදරය අඩුවක් කරන්නේත් නැහැ...
"ප්‍රේක්ෂකයන් මේ තරම් මට ආදරය කරන්නේ ඇයි කියලා තවමත් මට හිතාගන්න බැහැ. සමහර විට ඒක පෙර පිනක් වෙන්න ඇති. රංගන ක්ෂේත්‍රයට ආධුනිකයෙක් වූ දවස්වලත් මට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ ආදරේ ප්‍රතිඵලයක් හැටියට ජනප්‍රිය නිළිය සම්මානය දහ වතාවකට වැඩිය මට ලැබිලා තියෙනවා. ඒ සම්මාන සියල්ලම අයිති මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට. ආදරණීය ප්‍රේක්ෂකයන්ට වගේම මගේ ගමනට මගපෙන්වූ සියලුම ගුරුවරුන්ට, කලා ක්ෂේත්‍රයේ සියලු දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා."
නයනතාරා කොටට අඳින්න කැමති නැහැ කියලත් කතාවක් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වුණා. අපට දැනගන්න ලැබුණු විදිහට ඇයගේ බොහෝ ඇඳුම් විලාසිතා ඩිසයින් කරන්නෙත් ඇය විසින්ම තමයි. පුද්ගලිකව කොට ඇඳුම් අඳින්න තමන් කැමති නැති වුණත් කොටට අඳින එක නරක දෙයක් කියලා කිසිම තැනක කියලා නැහැ කියලා තමයි නයනතාරා අපිට කිව්වේ. අවස්ථාවට වගේම තමන්ට ගැළපෙනවා කියල හිතෙන විලාසිතා කරන්න බය වෙන්න ඕන නැහැ කියලත් ඇය මතක් කළා.
"කොහොම හිටියත් අවසානයේ තමන්ගේ සතුට තමයි වැදගත්ම දේ. ඒ නිසා අනුන්ට කරදරයක් නොවන විදිහට තමන්ගේ සතුට ආරක්ෂා කරගන්න" නයනතාරා ජීවිතය ගැන කිව්වේ ඒ වගේ කතාවක්.
පුංචි තිරයේදී ආදරණීය පෙම්වතියගේ චරිතයට පණ පොවන මේ රුවැත්තියගෙන් ආදරය සහ විවාහය ගැනත් අහන්න අපි අමතක කළේ නෑ...
"ආදරය ඇත්තටම සුන්දර දෙයක්. මගේ පවුලෙන්, ප්‍රේක්ෂකයන්ගෙන් ඒ ආදරය නොඅඩුව ලැබෙනවා. ඔවුන්ගේ ආදරය නිසා තමයි මම මේ තරම් දුරක් ආවේ. විශේෂයෙන්ම මගේ දෙමාපියන් කිසිම අවස්ථාවකදී මට දෙන ආදරය අඩු කරලා නෑ. මගේ අම්මා මගේ හෙවණැල්ල වගේ ළඟින් ඉන්නවා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් මට මහමෙරක් වගේ වටිනවා. ඒ ආදරය වචනවලට පෙරළන්නවත් මිල කරන්නවත් බැහැ." May be an image of one or more people, people standing and outdoors
ආදරේ ගැන අපි ඇහුව ප්‍රශ්නයට නයනතාරා දුන්නේ ඒ වගේ උත්තරයක්. ඒත් සැබෑ ජීවිතයේදී නයනතාරා තවමත් පෙම්වතියක් නෙවෙයි කියලා තමයි ඇය නම් කියන්නේ...
"තවම මම පෙම්වතියක් නෙවෙයි. එහෙම කීවාම සමහරු හිතනවා මම ජනප්‍රියත්වය ආරක්ෂා කරගන්න බොරුවක් කියනවා කියලා. ඇත්තටම මම තවම ආදරය ගැනවත් විවාහය ගැනවත් තීරණයක් අරගෙන නැහැ. ඒ ගැන තීරණයක් ගත්ත දවසටත් මුලින්ම පිනිපලසට කියන්නම්කෝ. දැනට අධ්‍යාපන කටයුතුත් කරගෙන රංගන කටයුතුත් කරගෙන නිදහසේ සතුටින් කාලය ගත කරනවා."
නිරෝෂා වාසල
 

More News..