brand logo

මිනිස්සුන්ගේ පහත් වැඩවලට මාව නතර කරන්න බැහැ

13 July 2019

‘සංගීතේ’ නාට්‍යය තුළින් ඔබ හමුවන ගීත්මා බණ්ඩාර කියන්නේ ඉතා සුන්දර රංගන ශිල්පිනියක්. මේ සුන්දර නිළියට පසුගිය දවසක අභූත චෝදනා එල්ල වුණා. මඩගොඩෙන් මතුවන නෙළුමක් සේ ගීත්මා මතුවුණේ කෙළින් කතා කරපු නිසා. අද අපි ගීත්මාගේ හඬට සවන් දෙමු. මේ දවස්වල මොකද කරන්නේ? ‘සංගීතේ’ ෂූටින්. වෙන දෙයක් කරන්න කාලයක් නැහැ. ඒ කියන්නේ වෙන නිර්මාණ භාරගන්නේ නැහැ? හොඳ නිර්මාණයක් ආවොත් භාරගන්නවා. හැබැයි දිනවල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද හොඳ නිර්මාණයක් කියන්නේ? චරිතය තුළින් මට සමාජයට යම් දෙයක් කරන්න පුළුවන් නිර්මාණයක්. සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද? ආරාධනා තියෙනවා. තාම භාරගත්තේ නැහැ. මම තාම පුංචි නිළියක්. තාම ඇවිත් සුළු කාලයයි. සිනමාව ගැන හදාරලා තමා එතැනට යන්න ඕන. එතකොට ලැබෙන ආරාධනා? කීපයක් ප්‍රතික්ෂේප කළා, මට හුඟක් කාලය මදි නිසා. එක නිර්මාණයක් ගැන හිතේ තියෙනවා. ඒක ලබන අවුරුද්දේ කරනවා. මොකද මට ගැළපෙන චරිතයක් වෙන්නත් ඕනේ. මුලින්ම කැමරාවක් ඉදිරියට ආපු දවස මතකද? වෙළෙඳ දැන්වීමක් සඳහා තමා මම මුලින්ම කැමරාව ඉස්සරහට ආවේ. නිළියක් වෙන්න හීන දැක්කද? නැහැ, මගේ යාළුවෙක් කිව්වා ඇඩ් එකකට කට්ටිය ගන්නවා, එනවද කියලා. මමත් ගියා. පළවැනි ස්ක්‍රීන් ටෙස්ට් එකෙන්ම පාස් වුණා. අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. ගීත්මා කොහෙද? මම හොරණ. ඉස්කෝලෙ ගිය කාලය මතක් කළොත්? ගිය අවුරුද්ද වෙනකම් මම ඉස්කෝලේ ගියා. හොරණ ශ්‍රීපාලියට සහ පතනවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විද්‍යාලයට. ගිය අවුරුද්දේ උසස් පෙළට ගණිතය විෂයන් කළේ. මම හිතන්නේ ඒක තමා මම ජීවිතේ අරගත්තු වැරදිම තීරණය. මොකද මගේ හිතේ තිබුණා කලා කරන්න. නමුත් මැත්ස් කරලා පොඩ්ඩක් පස්සට ගියා. ඒ කියන්නේ ඉස්කෝලෙදි කලාවට දක්ෂද? ඔව්. හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ක්‍රීඩාවලට යනවා. නිවේදන කටයුතුවලට මම උපරිමයෙන් දක්ෂයි. දැන් පසුතැවෙනවද? අපෝ නැහැ. මොකද මේ සැරේ මම ආයෙමත් උසස් පෙළ ලියනවා. මේ පාර මම තෝරාගත්තේ කලා විෂයයන්. දැන් පන්ති යනවද? ඔව්, මහරගම පන්ති යනවා. කොහොම හරි විභාගේ ගොඩ දාගන්න ඕන. එතකොට රංගනය? ඒකත් කරනවා. ටියුෂන් යන අතරේ දෙකම කරනවා. චතුරිකා මිසුයි, නිලන්ත සර්රුයි මට ගොඩක් උදව් කරනවා. අනාගතයේ කුමන පැත්තද තෝරගන්නේ? කොයි පැත්තට ගියත් අධ්‍යාපනය කියන දේ හරිම වැදගත්. අධ්‍යාපනය ජීවිතයට ආභරණයක්. අනාගතයට ඉතුරුවක්. කොහොම හරි ඩිග්‍රිය ගන්නවා. ඉගෙන ගන්න කාලේ රඟපානවට ගෙදරින් විරුද්ධ වුණාද? මම කිසි දෙයක් මගහැර ගන්නේ නැති නිසා ගෙදරින් විරුද්ධ වුණේ නැහැ. ඒ මොකද මම ගැන ලොකු විශ්වාසයක් එයාලට තියෙනවා. කොහොමද කොමර්ෂල් එකක් කරලා නිළියක් වුණේ? අවුරුදු කුමරිය වුණා. එතැනින් තමා අවස්ථාව ලැබුණේ. මුල්ම ටෙලි නාට්‍යය ‘සංගීතෙ’ ද? නැහැ, නමුත් ප්‍රධාන චරිතයක් කරන, හිතට වැදුණ නාට්‍යය සංගීතේ. ඒක පුදුමාකාර අත්දැකීමක්. සංගීතය මැද්දේ ගලා යන ජීවිතේ හරිම සුන්දරයි. ඔබ සංගීතය රස විඳින කෙනෙක්ද? ඔව්, මම ගීතවලට ආසයි. ලවන් කියන ගීතවලට මම හුඟක් කැමතියි. මොකද මේ දවස්වල මගේ කනට වැඩියෙන් ඇහෙන්නේ ලවන් කියන ගීත තමයි. ඔයාගේ උස ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද? මම පහයි දෙකක් උසයි. උස මදි නේද? කොට වුණාට මාර කියුට්. මම ආසයි මගේ උසට. මම මුලින්ම රඟපෑවේ අහස් මාලිගා චිත්‍රපටයේ. ඒකේ මට කියන්නේ කොටී කියලා. අනික් එක අවුරුදු කුමාරි තරගයේ දිනපු එක්කෙනයි අනිත් අයයි හුඟක් උසයි. මම මාර කොටයි. එතැනත් මට බට්ටා, කොටා, චූටි කියලා තමා කතා කළේ. කොහොම වුණත් මගේ උස නියම ගාණ. ෆැෂන්වලට කැමතිද? මම හුඟක් සරල කෙනෙක්. චාම් ඇඳුම්වලට කැමතියි. කොහොමද ලස්සනට ඉන්නේ? මම හොඳට වතුර බොනවා. වැඩිය කන්නේ නැහැ. විශේෂයෙන්ම ක්ෂණික බීම බොන්නේ නැහැ. සතුටින් ඉන්නවා. ආදරය හිතට දැනෙන්නේ කොහොමද? මට දරාගන්න බැරි තරමට හුඟක් අයගේ ආදරය මට ලැබෙනවා. ඔබට ආදරය කරන විශේෂ කෙනෙක් නැද්ද? තාම නැහැ. හැබැයි සැරින් සැරේ මගේ හිත සසල වෙන අවස්ථා තියෙනවා. ඒක මම හිතේම හංග ගන්නවා. මොකද තව ටික කාලයක් ඉන්න ඕන. තාම ජීවිතේ හතරෙන් එකයි ගෙවුණේ. මම අවුරුදු 80ක් ජීවත් වෙන්න බලාගෙන ඉන්නේ. ඒ ඉතුරු අවුරුදු 60 සතුටින් ඉන්න ඕන නිසා තාම තීරණයක් ගත්තේ නැහැ. ඉදිරියේදී හොඳ කෙනෙක් මුණගැහෙයිනේ. පසුගිය කාලේ ඔබගේ ඡායාරූප අන්තර්ජාලයට එකතු වෙලා ඔබට ලොකු ප්‍රශ්නයක් වුණා නේද? ඔව්, ලොකු කලකිරීමක් දැනුණ දවසක්. ඇයි එහෙම දෙයක් වුණේ? මට කලකිරීමක් දැනුණත් මම ඉවසගෙන උන්නා. කෙනෙක් ජනප්‍රිය වෙනකොට මඩ එනවා. නින්දා අපහාස එනවා. මට එරෙහිව බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියන පණිවිඩය මට ලැබුණේ මේ මඩ ප්‍රහාරය හරහා. ඔබ කියන්නේ ඒක බොරුවක්ද? අනිවාර්යයෙන්ම. ඒක බොරුවක් කියලා මුළු ලංකාවම දන්නවා. මොකද ඒක හරිම බාල වැඩක්. බාල වැඩවලින් මිනිස්සු රවට්ටන්න බැහැ. ඔබට මේක ගාණක්වත් නැද්ද? මුලින්ම ගණන් ගත්තා. හැබැයි පස්සෙයි මට තේරුණේ මේ පුංචි කෙල්ලව අභියෝගයක් කරගත්තු පිරිසකුත් ඉන්නවා නේද කියලා. ඒ අය මාව පහළට දානකොට අනිත් පැත්තෙන් මම ඉදිරියට එනවා. මිනිස්සු පහර දෙන්නේ ලොකු පොරවල්වලට. මමත් ලොකු පොරක් නේද කියලා මට හිතුණා. ඔබට විරුද්ධව තිබෙන දේ ගැන ඔබ ඉඟියක් දන්නවාද? මම කිසිම දෙයක් දන්නෙ නැහැ. හැබැයි මාව අභියෝගයක් කරගත්තු පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා. ඊට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඇයි නැත්තේ? දැනටමත් මම නීතිමය පියවර අරගෙන තියෙන්නේ. මගේ ජනප්‍රියත්වය දරාගන්න බැරි පහත් පුරවැසියා කවුද කියලා ළඟදිම දැනගන්න ලැබෙයි. ඔබ වෛරයෙන්ද කතා කරන්නේ? නැහැ. අනික් අය නේද මට වෛර කරන්නේ? ඔය ෆොටෝ දානකොට මම සංගීතේ රූගත කිරීමක උන්නේ. පූජනී කියන යාළුවෙකුයි, හෂාන් කියලා යාළුවෙකුයි මට කෝල් කළා. ‘ගීත්මා ඔයා අඬනවද’ කියලා ඇහුවා. මම මොකුත් දන්නේ නැහැ. එයාලා මට ෆොටෝ එව්වා. අන්තිමට දැක්කේ මම. මට හිනා ගියා. මොකද මම නෙවෙයිනේ ඉන්නේ. අනික් අය කලබල වුණා. ගෙදරින් බය වුණා. නමුත් ඒ මොහොතේම මට මඩ ගහනවට වඩා මාව නිවැරදි කරන පෝස්ට් ආවා. හිතන්න කෙල්ලෙක්ගේ ආත්මයට මෙහෙම කරන්න මොන තරම් වෛරයක් හිතේ තියෙන්න ඕනද. ගැහැනියකගේ කුසෙන් ජාතක වෙච්ච කෙනෙක්ට මෙහෙම කරන්න පුළුවන්ද? මට දැනුණේ මම මාර තැනක ඉන්නවා කියලා. මම තාම A/L කරන කෙල්ලෙක්. පුංචි මාව ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? ඒ මඩ මට ආශිර්වාදයක් වුණා. කොහොමද ගතකළ හතරෙන් එකේ ජීවිතේ? අති විශිෂ්ටයි. හිතපු නැති තැනකට මාව අරගෙන ඇවිත්. ඉදිරියේ තියෙන හතරෙන් තුන මොනවා වෙයිද? ඉතා හොඳින් ගෙවෙයි. මොකද මම සතුටින් ඉන්නේ. හතරෙන් දෙකක් ගියාම මට සහකරුවෙක් ඉඳියි. දෙවියෝ දුන්න ලස්සන ජීවිතයක් මට තියෙන්නේ. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඡායාරූපය - නලීන් කමලඩීන්
 

More News..