මිදි ගෙඩියක් දැන් රුපියල් අසූවයි
21 August 2022
මිදි ගෙඩියක් දැන් රුපියල් අසූවයි
21 August 2022
කෝච්චියේ ඇපල් වෙළෙන්දෝ ආගිය අතක් නෑ
සල්ලිකාරයොත් දැන් ගන්නේ පේර, දිවුල්, වෙරළු
පසුගිය බදාදා සවස මිදි ග්‍රෑම් සීයක් ගන්නට ගියෙමි. මිල ගණන් අසන්නටත් කලින්ම වෙළෙන්දා ‘‘ගෙඩියක් අසූවයි නෝනා’’ යි කීවේය. ‘‘මොකක්’’ ඇසුවා නොවේ. ඉබේම ඇසුණි. ග්‍රෑම් සීය හාරසීයයි. එතකොට මේ මිදි ගෙඩියක් රුපියල් අසූවක් විතර වෙනවා. පොකුරක් කපන්න කලින්ම ගාණ කීවේ ඒකයි. ඒ විදියට ගණන් හදා බැලූ විට මිදි ග්‍රෑම් සියයකට අල්ලන්නේ ගෙඩි පහක් පමණි. මිදි පමණක් නොව දැන් ඇපල් ගෙඩියකුත් රුපියල් තුන්සීයක්ය. සති අන්තෙට රුහුණු කුමාරියෙන් ගෙදර යද්දී, ඇපල් මල්ලක් අත නොතිබුණු තාත්තෙක් එකදු කෝච්චි පෙට්ටියකවත් නොසිටි තරම්ය. ඒ තරමටම රුහුණු කුමාරියේ ඇපල් මල්ල හරි ප්‍රසිද්ධය. කෝච්චියේ වෙළෙන්දා කෑ ගසන්නේ සීයට පහයි සීයට පහයි කියමිනි. නමුත් දැන් නම් ඇපල් මල්ලක් ගෙදර ගෙනියන තාත්තෙක් රුහුණු කුමාරියෙන් හොයා ගන්නවා බොරුය.රුහුණු කුමාරියේ පමණක් නොව කෝච්චිවල බිස්නස් කළ ඇපල් වෙළෙන්දෝ ආගිය අතක් නැත. අවුරුදු දහයක පටන් කොළඹ මැලේ වීදියේ පලතුරු වෙළෙඳාමේ යෙදෙන්නකු වූ ඉෆ්තීකර් ද දැන් වෙළෙඳාම් කරන්නේ පේර, දිවුල්, පැණි දොඩම් සහ තැඹිලි පමණි. ඉෆ්තීකර්ගේ පලතුරු කඩයට වෙනදාට ඇපල් පෙට්ටි පහක්වත් වරදින්නේ නැත. නමුත් දැන් මාස දෙකක් තිස්සේම ඇපල්, මිදි, ඔස්ට්‍රේලියන් දොඩම් පෙට්ටියක් ඇහැට දැක්කේවත් නැතැයි ඔහු කියයි. ඉෆ්තීකර්ගේ පලතුරු වෙළෙඳාම කොහොමදැයි කියා දැනගන්නට මඳ වේලාවක් එහි රැඳී සිටියෙමි. ඒ අතරේ දිවුල් ගෙඩි දෙකක් ගන්නට කාන්තාවක් ආවාය. අන්තිමේදී බොහෝ වේලාවක් ගෙන තෝරා බේරා දිවුල් ගෙඩි දෙකක් ගත් ඇය ඒවා වෙළෙන්දා අතට දුන්නාය. මිල රුපියල් එකසිය පනහයි. ඇය එම මුදල ගෙව්වේ වෙළෙන්දා ඉදිරියේම දිවුල්ගෙඩි දෙක බිම ගසා දෙකට පලා මදය හොඳ දැයි පිරික්සීමෙන් පසුවය. ඉස්සර වගේ නොව ඉෆ්තීකර්ගේ කඩයේ වැඩිපුරම විකිණෙන්නේ දිවුල් සහ පේරය. දිවුල් කිලෝව රුපියල් තුන්සීයක්ය. කොලිටිය අංක දෙකේ පේර කිලෝවක් එම ගාණම මිස ඊට අඩු නැත. කඩය අසලට පැමිණි පොලිස් මෝටර් රථයකින් රියැදුරු අසුනේ සිටි පොලිස් නිලධාරියා වීදුරුව පහත් කර පේර ගෙඩි දෙකක් දෙන්නැයි කීවේය. මෝටර් රථය, පොලිසියේ ඉහළ ශ්‍රේණියේ නිලධාරියකුගේ බව පෙනුණේය. ‘‘ඔහොම තමයි මිස් පේනවනේ දැන් ලොකු ලොකු මහත්තුරුත් ගන්නේ පේර ගෙඩියක් දෙකක් තමයි. ඇපල් මිසින්....’’ යැයි ඉෆ්තීකර් කීවේය. පලතුරු කඩයේ ආදායම ගැන කතා කරමින් සිටිවෙලේ එතැනට පැමිණි තැනැත්තෙක් අනාරාධිතවම අපගේ සංවාදයට හවුල් වූයේය. ඔහු සලාහුදීන්ය. අවුරුදු 18ක් පමණ කලක් මැලේ වීදියේ පලතුරු වෙළෙඳාම් කළ සලාහුදීන් පසුගියදා තමන්ගේ ව්‍යාපාරයට සමුදුන් බව කීවේ,‘‘මම බිස්නස් නැවැත්තුවා. ඔළුව ගහගන්ඩ අමාරුයි’’ කියමිනි.
‘‘පෑලියගොඩ ඉඳන් මැලේ ස්ට්‍රීට් එකට පලතුරු ටික ගේන්න ගියත් ත්‍රිවිලර් එකටත් රුපියල් 2000ක් ඉල්ලනවා.’’
‘‘එහෙම කට්ට කාලා බඩු ගෙනාවා කියමුකෝ. උපරිම මේ එන මිනිස්සුත් ගන්නේ ගෙඩියයි දෙකයි.’’ වැඩි ගණන් දීලා පලතුරු අරගෙන, විකුණුනේ නැතිවුණොත් තොග කුණු වෙන්න දීලා අතින් පාඩු විඳගන්න බෑනේ’’ ඔහු කිව්වේය.
සලාහුදීන්ට දැන් වයස හැට තුන්කය. ‘‘ජේ.ආර්. ගේ ආණ්ඩුව කාලේ මම වැඩ කෙරුවේ තේ කොළ ඉස්ටෝරුවේ. ඒ කාලේ මගේ දවස් පඩිය රුපියල් තුනයි සත පනහයි. අපේ අම්මගේ අතටත් දවසට රුපියල් දෙකයි පනහක් දීලා රුපියලකින් කාලා ඇඳලා දෙයියනේ කියලා සැපේ ජීවත් වුණා.‘‘ලංකාව ඉස්සර තමයි සීදේවීකම තිබුණා. දැං මූදේවි කම තමා.’’ යැයි සලාහුදීන් කියන්නේය.
ලංකාවේ වැවෙන ලංකාවට ගෙන්වන ඕනෑම පලතුරක් පිටකොටුවේ නම් වරදින්නේ නැත. ඒ ලංකාවේ සතර දිග්බාගයේම වැවෙනා පලතුරු තොග වශයෙන් පිටකොටුවේ පලතුරු වෙළෙන්දන් අතරට පැමිණෙන නිසාය. පලතුරු ආනයන කරන පිරිස අතර ප්‍රධාන පෙළේ කඩ කිහිපයක්ද ඇත්තේ පිටකොටුවේය. පිටකොටුවේ බෝධිරාජ විහාරය අසලත් ඒ ළඟින්ම වැටී ඇති පස්වන හරස් වීදියත් එසේ ගෙන්වන පලතුරු විකිණීම සඳහා ප්‍රසිද්ධිය. ඒ අතරිනුත් සුනිල් ට්‍රේඩර්ස් කී විට රට ඇපල් යන නම ඉබේටම මතකයට නැගෙන්නේය. පිටකොටුවේ ඇපල්, මිදි, දෙළුම්, දොඩම් ආනයනය කරන පිරිස අතර ප්‍රමුඛ නම් වන්නේ සුනිල් ට්‍රේඩර්ස්, නවගිරි ෆ්‍රෙස් ෆෘට්ස් ගෝල්ඩන් ෆ්‍රෙෂ් ෆෘට්ස් ආදී තැන්ය. දානයකට, මඟුලකට, බණකට රට ඇපල්, මිදි ආදී පලතුරු සොයන්නකුට පස්වන හරස් වීදියට ගිය විට හිතේ හැටියට පලතුරු තෝරා ගත හැකිය. නමුත් පුදුමය දනවන කාරණය නම් දැන් පිටකොටුවේත් පලතුරු වෙළෙන්දෝ කෑ ගහන්නේ ලාබයි ඇපල් කියා නොව අඹ ලාබයි පේර ලාබයි කියා වීමය. පිටකොටුවේ බෝධිරාජ විහාරය අසල තිබූ එක් පලතුරු කඩයක බැලූ විට ඉදිරි පෙළට ගොඩ ගසා තිබුණේ, පේර, දිවුල්, අඹ, පැණි දොඩම් ය. දෙවැනි පේළියේ උගුරැස්ස, නෙල්ලි සහ වෙරළුය. අන්තිම පේළියේ ඇපල් ගෙඩි කිහිපයක් ඈතින් ඈතට ගොඩ ගසා තිබුණේය. වහලයේ මිදි පොකුරු දෙකක්ද එල්ලා තිබුණේය. පදික මාරුව දිගේ එන යන බොහෝ සෙනඟක් පාර අද්දරම ඇති මේ පලතුරු කඩයට ගොඩවුවද, ඒ අතරින් ඇපල් ගෙඩියක්, මිදි ගෙඩියක් මිලට ගන්නා අයෙකු වුවහොත් ඒ දාහකට එකක් වාගේය. පලතුරු තට්ටුවේ මුදලාලි මිල විමසන අයට මිල කියන්නේද වෙනදාට වඩා වෙනස් ආකාරයටය.සුරේශ්ගේ පලතුරු තට්ටුවේ ඇපල් ගෙඩි විස්සක් තිහක්ද පෙළට අසුරා තිබුණි. රටින් ගෙන්නන්නේ නෑ කියා කියන ඇපල් මෙහෙට ආවේ කොහොමදැයි කියා ඇසූ විට කීවේ මේ ගෙන්වූ තොගයෙන් පසු ඔවුන්ට විකිණීමට ඇපල් නැති බවය.‘‘කොමඩු කිලෝව තුන්සීයයි. මැංගුස් ගෙඩි පහට දෙසීයයි. පේර කිලෝව තුන්සීයයි.’’ කියා දේශීය පලතුරු බොහෝමයක කිලෝ ගාණට මිල කියද්දී, ඇපල්වලට ගණං කියන්නේ ගෙඩියක් තුන්සීයයි යනුවෙනි. මිදිවලටත් ගණං කියන්නේ ග්‍රෑම් සීයක මිලය. අප එහි රැඳී සිටි කාලය තුළ සියයකට වැඩි දෙනෙක් පලතුරු කඩයට ගොඩ වැදී මිල ගණන් අසා බැලුවද මිදි ගෙඩි ග්‍රෑම් සීයක්වත් මිලට ගත් කෙනෙක් සිටියේ නැත. එසේ දරුවාත් වඩාගෙන කඩයට පැමිණි අම්මෙක් මිදි සියයක මිල අසා හූල්ලා ආපසු හැරී ගියාය. ඒ පලතුරු තට්ටුවේ සිටි අජිත් නලින්ද කීවේ, මේ දිනවල වැඩිපුරම විකිණෙන්නේ දේශීය පලතුරු වර්ග බවයි. ඒවායේ මිල ගාණත් වැඩි මිස අඩුවක් නම් නැත. ගමේ පලතුරක් වූ උගුරැස්ස ග්‍රෑම් දෙසිය පනහක් රුපියල් දෙසීයක්ය. බෙහෙත් නෙල්ලි කිලෝව රුපියල් දාහක්ය. වෙනදාට ගස් යට වැටෙන වෙරළු, ග්‍රෑම් දෙසිය පනහකත් රුපියල් සියයක්ය. ඒ අතර යාපනේ මිදි කිලෝවකත් මිල දැන් රුපියල් දෙදාහක් වන බවත්, චයිනා මිදි කිලෝවක් රුපියල් හාරදහසක් තරම් ඉහළ ගොසිනි. මේ දවස්වල පලතුරු වෙළෙඳාමෙන් ලාබයක් නැද්දැයි ඇසූ විට පලතුරු තට්ටුවේ අයිතිකරු වූ සුරේශ් ‘‘මොනවද මිස් ලාබ.. අපට ලාබෙට තියෙන්නෙ අව්වයි, වැස්සයි විතරයි’’ මඳ සිනහවකින් යුතුව කීවේ මේවාට හිනා නොවී මොනවා කරන්නදැයි අසන්නාක් මෙනි.