brand logo

මිත්‍යාදෘෂ්ටිකයින් නිසා නිහඩ අරණ සසල වෙයි

28 January 2021

පාදුක්ක වටරැක වින්ඩ්සෙෆ් නිහඬ අරණ භාවනා මධ්‍යස්ථානයට එල්ලවන විවිධ බලපෑම් නිසා එහි භාවනානුයෝගීව වැඩවසන ස්වාමීන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත භාවයට පත්වී තිබේ. මේ වන විටත් මැර ප්‍රහාරයකට ලක්ව සිටින විහාරාධිපති වෙලන්හින්නේ වාචිස්සර හිමියෝ රෝහල්ගතවී සිටිති. බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බවට මතයක් පතුරවන කල්ලියක් මෙම භාවනා මධ්‍යස්ථානය ආක්‍රමණය කිරීමට උත්සාහ කරමින් සිටිති. වසර කිහිපයකට පෙර මෙම ස්ථානයේ වැඩවිසූ භික්‍ෂූන් වහන්සේ නමක් විසින් බුදුන් මෙරට උපන් බවට පවසමින් විවිධ මිථ්‍යා මත පතුරුවා ඇත. ලුම්බිණි සල්උයන ලෙස දිගන ප්‍රදේශයේ බඹරගල පන්සලත්. අචිරවතී ගංගාව ලෙස වටරැක ප්‍රදේශයේ ජනතාව ස්නානය කරන ආඳා දොළ නමැති කුඩා ඇළ මාර්ගයක් පෙන්වමින් එම භික්ෂූන් වහන්සේ මෙලෙස මිථ්‍යා මත වපුරමින් සිටින විටදී ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා එක්ව එම භික්ෂුව භාවනා මධ්‍යස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කර ඇත. පසුව අධිකරණයේ පිහිට පැතූ එම භාවනා මධ්‍යස්ථානයේ දායකයන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් බදු ක්‍රමයට එම භාවනා මධ්‍යස්ථාන භූමියෙහි අයිතිය ලබාදී එම මිථ්‍යා දෘෂ්ටිකයන් පිස්කල් මර්ගයෙන් ඉවත් කරන ලදී. එහෙත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බව පෙනී යයි. මෙම භාවනා මධ්‍යස්ථානයේ වැඩවසන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සාමණේර හිමිවරු භාවිත කරන්නේ උල්පත් ජලයයි. එහෙත් එම ජලය ප්‍රමාණවත් නොවීම නිසාද ජලසම්පාදන මණ්ඩලයෙන් ජල සැපයුම ලබා ගැනීමට කටයුතු කර ඇත. නමුත් එක්තරා පුද්ගලයකු ඊටද බලපෑම් කර ජල සැපයුම නතර කිරීමට පියවර ගෙන තිබේ. ආරණ්‍ය සේනාසනය එක් පසෙක පිහිටි ගල්තලාවෙහි විදේශීය සමාගමක් විසින් ගල්කොරියක් පවත්වගෙන යයි. එම පළාතේම නිවාස ඇතුළුව භාවනා මධ්‍යස්ථානයේ ගොඩනැගිලිද දෙදරා යන අයුරින් මෙම ගල්කොරිය විසින් බෝරා දැමීම සිදු කරයි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් මෙම බෝර ගැසීමේ ශබ්දය මැනීමට පැමිණෙන විටදී ඔවුහු බෝර දැමීමෙන් වැළකී සිටිති. නිලධාරීන් පිටව ගිය පසු නැවතත් බෝර දැමීම සිදු කරන බව විහාරාධිපති හිමියෝ පවසති. භාවනා මධ්‍යස්ථානය අසල තවත් විශාල ගල්පර්වතයක් කඩා දැමීමට මේ දිනවල පිඹුරුපත් සකසමින් සිටින බවද පැවැසේ. මේ සම්බන්ධයෙන් විහාරාධිපති වෙලන්හින්නේ වාචිස්සර හිමියන්ගෙන් විමසූ අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කළේ භාවනානුයෝගීව වැඩ සිටින සහ අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන්ගේ කටයුතුවලට මෙය විශාල ප්‍රශ්නයක්ව ඇති බවය. ‘‘මිථ්‍යා මත පතුරවන පුද්ගලයන් මෙහි හෝටලයක් හදන්න උත්සාහ කරනවා. ඒ නිසයි අපි සාසනයත් රැකගෙන මේවා රැකබලාගෙන ඉන්න උත්සාහ කරන්නේ. මට පහර දීලා මෙහි සවිකරල තිබුණු සීසීටීවී කැමරා පද්ධතියක් කඩාගෙන සිවුරුත් එළියට ඇදලා දාලා ගියා. මීගොඩ පොලිසියට පැමිණිලි කරන්න ගියාම පැමිණිලි භාරගන්න බැහැ කියනවා. පාදුක්ක පොලිසියෙ ස්ථානාධි-පතිතුමා තමයි හාමුදුරුවන්ට සිදුවන අසාධාරණය විසඳන්න ඉදිරිපත් වුණේ. මිථ්‍යා දෘෂ්ටිකය එක්ක මේ සාමණේර හාමුදුරුවරු සමග මට තනියෙන් සටන් කරන්න වෙලා තියෙනවා. අපි ජනාධිපති-තුමාගෙන් අගමැතිතු-මාගෙන් ඉල්ලන්නෙ සාසනය විනාශ කරන මේ පුද්ගලයන්ගෙන් අපිව බේරල දෙන්න කියලා විතරයි. විහාරාධිපති හිමියෝ පැවසූහ. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ - ​ මෙම සිද්ධිය සම්බන්ධව සොයා බලා ඉදිරි විමර්ශන සිදු කිරීමට උපදෙස් ලබාදීමට පියවර ගන්නා බවය. විහාරාධිපති හිමියන්ට පහරදීමට පැමිණි කල්ලියේ සිටි හිමිනමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පාදුක්ක පොලිසිය පියවර ගෙන තිබේ.   හේමන්ත ලියනපතිරණ
 

More News..