brand logo

මැලේරියා රෝගීන් නිරෝධායන කඳවුරෙන් හමුවිය හැකියි

02 June 2020

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගනු ලැබුවේ 2016 සැප්තැම්බර් මාසයේදීය. එම සහතිකයෙන් කියවුණේ අප රට තුළ වසර තුනක් නොකඩවා මැලේරියා රෝගියෙකු වාර්තා නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කර ඇති බවයි. එහෙත් විටින් විට මැලේරියා රෝගීන් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. මැලේරියාව තුරන් කළ රටක් තුළ මැලේරියා රෝගීන් හමුවන්නේ කෙසේද යන්න මහත් ගැටලුවකි. මැලේරියා රෝගීන් ලෙස වාර්තා වන්නේ මැලේරියාව පැතිර තිබෙන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ය. මැලේරියාව පවතින රටකට ඔබ යන්නේ නම් එසේ යාමට සතියකට පෙර රජයේ රෝහලක් වෙත ගොස් ඒ බව පවසා මැලේරියා රෝගය සඳහා ලබා දෙන ඖෂධ රැගෙන යා යුතුය. එම රටේ සිටින කාලය තුළ සතියකට වරක් ඖෂධ ලබා ගත යුතු වීමද විශේෂයකි. එසේම මැලේරියාව පවතින රටකට ගොස් ඔබ ආවේ නම් එහි දීද රජයේ රෝහලක් වෙත ගොස් මැලේරියාව සඳහා වන රුධිර පරික්ෂාවක් කර ගැනීම අනිවාර්ය වන්නේය. ඒසේම එවැනි රටක සිට ඔබ පැමිණි පසුව උණ රෝගයෙන් පෙළෙන්නේ නම් රජයේ රෝහලක් වෙත ගොස් ඒ බව පවසා ප්‍රතිකාර ගැනීමෙන් මැලේරියා රෝගකාරක පරපෝෂිතයා ශරීරගතව ඇත්නම් එම පරපෝෂිතයා විනාශ කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාගත හැකිය. මැලේරියාව මෙරටින් තුරන් කළ පසු නැවත රෝගය මෙරටට පැමිණීමට තිබෙන ඉඩකඩ අහුරා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා ජාතික ව්‍යාපාරය දිගින් දිගටම කටයුතු කළේය. මැලේරියා බෝකරන “ප්ලැස්මෝඩියම්” නම් පරපෝෂිතයා මෙරටින් තුරන් කර ඇත. එහෙත් එම පරපෝෂිතයා එහා මෙහා ගෙන යා හැකි “ඇනෝෆිලිස්” නම් මදුරු විශේෂය අප රටින් තුරන් කිරීමට හැකියාවක් ලැබී නැත. කෙසේ වුවද මදුරුවා සිටියත් පරපෝෂිතයා රටින් තුරන් කර ඇති බැවින් මැලේරියා රෝගයට හිස එසවීමට ඉඩක් නැත. එහෙත් යම් හෙයකින් මැලේරියාව පැතිර පවතින රටක සංචාරය කර ඔබ පැමිණි පසුව හෝ එවැනි රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ සිරුර තුළ “ප්ලැස්මෝඩියම්” පරපෝෂිතයා ශරීරගතව සිටියේනම් “ඇනෝෆිලිස්” මදුරු විශේෂයාට ඇතුළු වීමේ ඉඩක් පවතී. එසේ වුවහොත් නැවත මෙරට තුළ මැලේරියාව බෝවීමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩිය. කෙසේ නමුත් මෙවැනි අවදානම් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ රුධිර පරික්ෂාවන් සිදුකිරීම අද කොවිඩ් 19 වසංගතය විසින් අඩපණ කර තිබේ. ගුවන්තොටුපළ වෙත පැමිණෙන පුද්ගලයන්ව විෂබීජහරණයකට ලක් කර ඉන්පසුව ගෙන යනුයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතය. එහි දින 14ක් හෝ 21 රඳවා නිරෝධායනයට ලක් කරනු ඇත. මෙවැනි පුද්ගලයන්ගේ ශරීරයේ “ප්ලැස්මෝඩියම්” පරපෝෂිතයා අන්තර්ගත පැවතුණහොත් ඇතිවන තත්ත්වය රෝග අවදානම මතු කරයි. මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අපි කීට විද්‍යා විදුහලේ විදුහල්පති නජිත් සුමනසේකර මහතාගෙන් විමසුවෙමු. “ඇත්තෙන්ම මේ දිනවල පවතින වර්ෂාවත් එක්ක “ඇනෝෆිලිස් “ මදුරුවා බෝවීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩියි. මැලේරියාව පැතිර පවතින රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන්ව මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවලයි තියෙන්නේ. අපි ඒ සැක කටයුතු පුද්ගලයන්ගේ රුධිරය ලබා ගැනීමක් මේ වන විට ආරම්භ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ කීටවිද්‍යා නිලධාරීන්, නිරෝධායන කඳවුරු අවට මදුරුවන් බෝවිය හැකි ස්ථානයන් විනාශ කරන්න කටයුතු කරමින් පවතිනවා. රුධිර පරීක්ෂාවන්වලදී මැලේරියා පරපෝෂිතයා යම් පුද්ගලයකුගේ සිරුරට ඇතුළු වී තිබෙන බව තහවුරු වුණොත් පරපෝෂිතයා විනාශ කිරීමට අවශ්‍ය ඖෂධ ලබා දෙනවා.” මැලේරියාව මෙරටට ඇතුළු වීමට තිබෙන ඉඩකඩ මුළුමනින්ම නතර කර ඇතත් යම් හෙයකින් නැවත මැලේරියා රෝගය රට තුළ පැතිර ගියහොත් ඩෙංගු වසංගතය මෙන් එය බරපතළ වන්නකි. ශ්‍රියානි විජේසිංහ
 

More News..