brand logo

මැතිස​බේදී මිනී මැරුවත් මන්ත්‍රින් හිරේ දාන්න බැරිද?

14 August 2022

 පාර්ලිමේන්තුවේ දේපොළ වැනසූ මන්ත්‍රින්ට දාන්න හදපු නඩුව බළල් අතකින් නවතයි

මේ දිනවල සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් සංසරණය වෙයි. එහි සඳහන්ව ඇත්තේ ‘‘පොදු දේපොළ විනාශ කළ පනත සැකකරුවන් හඳුනා ගැනීමට අපි මහජන සහාය පතන්නෙමු’’ යනුවෙන් සඳහන් කර මන්ත්‍රින් පෙළකගේ ඡායාරූපය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණවීර, අරුන්දික ප්‍රනාන්දු, විමල් වීරවංශ, නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු මන්ත්‍රින් පිරිසකගේ ඡායාරූප පෙළක් එම පෝස්ටුවේ ඇත්තේය. මේ පෝස්ටුව දමා තිබුණේ ඉකුත් දිනවල ජනපති, අගමැති මන්දිර ජනපති අගමැති කාර්යාලවලට ඇතුළු වූ අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතමින් දැමූ ප්‍රවෘත්තියකට එකට එකකිරීමට බව පැහැදිලිය. පොලිසිය කියන්නේ මේ සැකකරුවන් පිරිස පොදු දේපොළවලට හානි කර ඇති බවය. එය එසේ නම් පාර්ලිමේන්තු පොදු දේපොළ කඩා බිඳ දැමූ මන්ත්‍රින් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ඔවුහු අසති. ජනපතිවරයාගේ පුටුවේ වාඩි වූ බව කියමින් කතක් අඩංගුවට ගත්තත් පාර්ලිමේන්තුවේ පුටු කඩා කතානායක පුටුවටද අලාභ හානි කළ මන්ත්‍රින් අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි ඔවුන් නගන ප්‍රශ්නයයි. මේ චෝදනාවලට හේතු වූයේ 2018 නොවැම්බර් 14, 15 සහ 16 යන තෙදින ‘‘උත්තරීතර’’ පාර්ලිමේන්තුවේ කතානායකවරයා පළවා හැරි මන්ත්‍රින් පිරිසක් බලහත්කාරයෙන් අත්පත් කර ගත් කතානායක පුටුවේ වාඩි වී පාර්ලිමේන්තු පාලනය සියතට ගත් සිද්ධියයි. එවේලේ තවත් අයෙක් කතානායකවරයාගේ මේසය මත වූ මයික්‍ර​​ෆෝනය කඩා දැමීමට ගොස් සිය දෑතද කපා ගත්තේය. මේ අරගලය මැද පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ කතානායකවරයාට ධම්ම පදය, ශුද්ධ වූ බයිබලය හා භගවත් ගීතාව වැනි පොත්වලින්ද දමා ගැසුවේය. කතනායකවරයා ආරක්ෂා කිරීම වෙනුවෙන් රොද බැඳ සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මිරිස් කුඩු මිශ්‍ර ජලයෙන්ද පහර දුන්නේය. පුටුවලින්ද දමා ගැසීය. පළමු සිදුවීමට සම්බන්ධ වූයේ අරගලකරුවන් පිරිසක් වුවද දෙවැනි අවස්ථාවට සම්බන්ධව සිටියේ අරගලකරුවන් නොව ‘උත්තරීතර’ පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක්ය. මෙම අවස්ථා දෙකම එකම ආකාරයේ සිදුවීම් දාමයක් වුවද මේ දෙකොට්ඨාසය වෙනුවෙන් රටේ නීතිය ක්‍රියාත්මක වූයේ දෙයාකාරයකටය. ඉකුත් බදාදා (10) කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදියකු මේ ගැන විමසුවේ එක් රටක නීති දෙකක් ක්‍රියාත්මක වීම වූයේ කෙසේ දැයි දැන ගැනීමටය. ඇත්තම කතාව ඔහු විමසුවේ ජනතාව නිරන්තරයෙන් විමසන ප්‍රශ්නයක්ය. දුක කීමට දොවොලේ පෝලිමේ සිටියදී මැති ඇමැත්තෝ පෝලිමෙන් පිට පැන දෙවියන් බැහැ දැකීමේ සිට ජනතාව මාර්ග නීති අනුගමනය කරමින් මහමග යද්දී මැති ඇමැත්තෝ වැරදි දිශාවෙන් රථ ධාවනය කිරීම ගැනද පොදු ජනතාවට ඇත්තේ අප්‍රසාදයක්ය. රටේ සාමාන්‍ය ජනතාවට බලපාන නීති රීති මේ මන්ත්‍රිවරුන්ට බල නොපාන බව ඔවුහු අදටත් විශ්වාස කරන්නේ ඔවුන්ට ඇතැයි ඔවුන් සිතා සිටින වරප්‍රසාද ගොන්න නිසා විය යුතුය. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියන්නේ, පාර්ලිමේන්තුව තුළ සිදුවූ දේපොළ විනාශ කිරීම් සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කළ නොහැකි බවය. ඒවා අධිකරණයේදී ප්‍රශ්න කළ නොහැකි බවද ඒ සඳහා බලය ඇත්තේ කතානායකවරයාට පමණක් බවද ඔහු පවසන්නේය. ජනපති මන්දිරය ඇතුළු ස්ථානවලට වූ හානි සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල දෙයක් වුවද 2018 වසරේ පාර්ලිමේන්තුවේ සිදුවූ හානි හා කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ එම මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව ලැබී ඇති බවද ඇමැති බන්දුලගේ හැඟීමය. පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන්නේ එවැනි තත්ත්වයක් නම් අමරකීර්ති අතුකොරළ මන්ත්‍රිවරයාට මහ පාරේ අත් වූ ඉරණම පාර්ලිමේන්තුව තුළදී තවත් මන්ත්‍රිවරයකුට සිදු වුවහොත් ඒ මිනී මැරුම වුණේ සභා ගර්භයේදී ඒ නිසා මිනීමැරීමට මන්ත්‍රින් අත්අඩංගුවට ගන්න බෑ යනුවෙන්ද මන්ත්‍රින් කිවහොත් පුදුම විය යුතු නැත. ඊට නිදහසට කියන්නට කාරණාවක්ද මන්ත්‍රින්ට තිබේ. ඒ සභා ගර්භයේ මන්ත්‍රින් දක්වන අදහස් පාර්ලිමේන්තු වරප්‍රසාද යට​තේ කිසිදු අධිකරණයකදී ප්‍රශ්න කර නඩු පැවරීමට නොහැකි නිසාය. මින් පෙර පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රි මරණ තුනක් වී ඇත්තේය. දෙකක් ස්වාභාවිකය. එකක් ඝාතනයකි. දෙණියාය මන්ත්‍රි කීර්ති අබේවික්‍රම ඝාතනය වූයේ ජවිපෙ එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙනි. බෙලිඅත්ත මන්ත්‍රි ඩී.ඇම්. රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මැරුණේ හෘදයාබාධයකිනි. මුල්ම කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ කතානායක අසුන මත ළය පැලී මිය ගියේය. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සභා ගර්භයේදී මියගිය එකම මන්ත්‍රිවරයා ඔහු පමණි. ඒ කතා කෙසේ වුවත් පාර්ලිමේන්තු සභා ගැබේදී මන්ත්‍රින් ඕනෑතරම් ගුටි ඇන ගෙන තුවාල කරගෙන තිබේ.එම ගැටුම්වලට සම්බන්ධ මන්ත්‍රින් කවදාවත් හිරේ විලංගුවේ වැටුණේ නැති බැවින් මන්ත්‍රින්ට මැති සබයේ මිනී මරා වුවත් නිදහස් වෙන්න පුළුවන්දැයි අපි ඇසුවේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් මහ ලේකම්වරියක ලෙස කටයුතු කළ, නීතිඥ ප්‍රියානි විජේසේකරගෙනි. 1992 වසරේ පාර්ලිමේන්තු සේවයට එක් වූ ඇය 2002 වසරේ සිට 2008 වසර දක්වා පාර්ලිමේන්තු මහලේකම්වරිය ලෙස රාජකාරී පමණක් නොව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය යනුවෙන් අගනා කෘතියක්ද ලීවාය. ඇය කියන්නී පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය යනු සාමානය නීතිය අභිභවා යන නීතියක් නොවන බවය. එමෙන්ම මන්ත්‍රිවරයකු රටේ සාමාන්‍ය නීතියට යටත් විය යුතු බවද අවධාරණය කරන ඇය පෙන්වා දෙන්නේ එසේ නොවුණහොත් සමාජය කඩා වැටීමට භාජනය වන බවය.

“වරප්‍රසාද කියන්නේ, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කිරීම අවහිර කිරීම වැළැක්වීමට ඇති නීතියක්. එය පනවා තිබෙන්නේ මන්ත්‍රි කෙනෙකුගේ රාජකාරිය නිදහස්ව හා නිරවුල්ව කරගෙන යාමට බාධා පැමිණෙන කටයුතු නීතියෙන් තහනම් කිරීමට පමණයි. වරප්‍රසාද නීතියෙන් ආරක්ෂා කර දී තිබෙන වැදගත්ම දේ තමයි කතා කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරයෙක් කරන ප්‍රකාශයක් තුළින් කිසිවකුට අපහාසයක් හෝ අගතියක් වුණත් ඒ මන්ත්‍රිවරයාට එරෙහිව අපහාස නඩු දාන්න කාටවත් බෑ. අනිත් එක මන්ත්‍රිවරයෙක් පාර්ලිමේන්තු සැසිවාරයකට හෝ කොමිටි රැස්වීමකට හෝ වෙනත් කටයුත්තකට එන යන එක වළක්වන්න, අවහිර කරන්න කාටවත් බෑ. මෙන්න මේ වගේ දේවල් තමයි වරප්‍රසාද පනත මගින් ආරක්ෂා කරදී තිබෙන්නේ.”

ප්‍රියානි විජේසේකර පවසන්වනේ මන්ත්‍රිවරයකුට පාර්ලිමේන්තුව තුළ හෝ සභා ගර්භය තුළ ඕනෑම දෙයක් කිරීමේ හැකියාව මෙම පනතෙන් ආරක්ෂා වී නැති බවය. පොදු දේපළවලට අලාභහානි කරන්න අයිතිය හිමිකරදී නැති බවය.

“කරු ජයසූරිය මහතා කතානායකවරයා ලෙස සිටි සමයේ පාර්ලිමේන්තුව තුළ වූ සිදුවීම ඉතාම බරපතළ වරදක්. ඒත් ඒවට දඬුවම් කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට නැහැ. කතානායකවරයාට හැකියාව ඇත්තෙ සුළු දඬුවම් දීමක් පමණයි. උදාහරණයක් හැටියට කිසියම් කාලෙකට පාර්ලිමේන්තුව තහනම් කිරීම වගේ දේවල්. දණ්ඩ නීති සංග්‍රහය යටතේ තමයි නිසි දඬුවම් දීමක් කළ හැක්කේ.”

2018 නොවැම්බරයේදී පාර්ලිමේන්තුවේ වූ සිදුවීමට එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් 59 දෙනකුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 54 ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු 04 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රිවරයෙකුත් චෝදනා ලද්දන් අතර ඇත්තේය. තක්සේරු දෙපාර්තමේන්තු ගණනය කිරීමට අනුව පාර්ලිමේන්තු දේපළවලට රු. 325,000 ක බදු රහිත අනර්ථයක් වී ඇත්තේය. මේ හානිය නැවත අය කර ගැනීමට මන්ත්‍රින්ට නඩු පැවරුවේ නැත්තේ ඇයි. නිර්නාමිකව පෙනී සිටිමින් ඒ ගැන ඇත්ත කතාකිරීමට කැමැති වූ පාර්ලිමේන්තුවේ එකල සිටි ඉහළ පුද්ගලයකු ඒ ගැන කීවේ මෙසේය.

“ඒ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විනය කමිටුව පරීක්ෂණ කටයුතු කරගෙන ගියා. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කොමිටියකුත් ක්‍රියාත්මක වුණා. ඒත් මේ සිදුවීම ඉතා සුවිශේෂී එකක් නිසා පොලිසියත් වෙනම පරීක්ෂණයක් කළා. ඊට හේතුව පාර්ලිමේන්තු කතානායකවරයාගේ ජීවිතයට හානි කිරීමට පමණක් නොව පාර්ලිමේන්තු දේපළවලට අලාභ හානි සහ පොලිස් නිලධාරීන් සෑහෙන පිරිසකටත් තුවාල වුණු නිසා.

ඒ පරීක්ෂණ ප්‍රතිඵල අනුව මන්ත්‍රිවරුන් ගණනාවකට එරෙහිව නඩු දාන්නත් පොලීසිය කටයුතු කරගෙන ගියා. මේ අවස්ථාවේදි යම්කිසි හදිසි හස්තයක් විසින් ඒ කටයුතු නතර කර තිබෙනවා. මේ සඟවුණු හස්තය පොලිසියට කියලා තියෙන්නෙ ඒක අභ්‍යන්තර වශයෙන් විසඳා ගන්නවාය කියන එක. එය දේශපාලන බලපෑමකින් කළ දෙයක්. මේ දේශපාලන හස්තය පොලිසියට කියලා තියනවා නඩු දාන්න එපා කියලා.

පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න මන්ත්‍රිවරුන්ට එක නීතියකුත්, සාමාන්‍ය මිනිස්සුන්ට තවත් නීතියකුයි තියෙන්න විධියක් නෑ. මේ සිදුවීම සම්බන්ධයෙන් දැන් වුණත් නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙනවා. එක රටක් නම් එක නීතියයි තිබිය යුත්තේ.”

කිසියම් පාර්ශ්වයක බලපෑමක් මත මෙම පරීක්ෂණවලට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නේ නම් මේ සිදුවීමට අදාළ වීඩියෝ සාක්ෂි හෝ වෙනත් සාක්ෂි පදනම් කර ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වීමට පුරවැසියකුට හිමිකමක් වේද ? යන පැනය අපි ප්‍රියානි විජේසේකරට යොමු කළෙමු.

“මූලික අයිතිවාසිකම් කඩවීමක් වැනි කරුණක් යටතේ පුරවැසියකුට මේ සිදුවීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් ඇතැයි මම හිතන්නෙ නෑ. ඒත් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට පුරවැසියන්ට බලපෑමක් කිරීමේ හැකියාවක් තිබෙනවා.”

ඇය වැඩිදුරටත් පවසන්නේ ජනතාවගේ අපේක්ෂා යනු ඉතා පුළුල් දෙයක් බැවින් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක නොකළේ යැයි කියමින් මහජන නියෝජිතයන්ට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බවය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වරප්‍රසාද පනත ගැන කතා කළාට මෙවැනි සිදුවීම්වලදී ඔවුන් කතා නොකරන තවත් බල ලියවිල්ලක් ඇත්තේය. ඒ ඔවුන් උදෙසා පනවා ඇති චර්යා ධර්ම සංග්‍රහයයි. ඒ අනුව, වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට පමණක් නොව යහපත් චර්යාවන් පවත්වාගෙන යාමේ වගකීමටද ඔවුන් බැඳී ඇත්තේය. පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් ඇතිවූ වහාම ඇතැම් මන්ත්‍රිවරුන් රැගෙන දිවීමට උත්සාහ දරන්නේ සෙංකෝලයයි. ඒ, පාර්ලිමේන්තු සැසියක යතුර මේ සෙංකෝලය වන නිසාය. මේ නිසා එවැනි අවස්ථා ගැන අවදි සිතින් ඉන්නේ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියාය. එබැවින් මේ පිළිබඳ ඔහුගේ අත්දැකීම් වාර්තා කිරීම වැදගත් බැවින් හිටපු වේත්‍රධාරී, විජය පල්ලියගුරුගේ මහතාගේ මතය විමසීමටද අපි අමතක නොකළෙමු. පල්ලියගුරුගේ මහතා 1977 වසරේ සිට විවිධ තනතුරු දරමින් පාර්ලිමේන්තුවේ කටයුතු කළ පළපුරුදු නිලධාරියෙක්ය. ඔහු 1990 සිට 2006 දක්වා පාර්ලිමේන්තු වේත්‍රධාරී ලෙස කටයුතු කර ඇත්තේය.

“නීතියට අහු නොවෙන කිසිම දෙයක් පාර්ලිමේන්තුව තුළ නැහැ. සිවිල් නීතියට වගේම අපරාධ නීතියටත් පාර්ලිමේන්තුව යටත්.”

ඔහු පවසන්නේ මේ කියන 2018 සිදුවීම පාර්ලිමේන්තු ඉතිහාසයේ මකා දැමිය නොහැකි කළු පැල්ලමක් බවය. එවැනි පැල්ලමක් මකා දැමිය හැක්කේ ඒ සඳහා නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීම හරහා පමණක් බවද ඔහු දරන ස්ථාවරයයි. “මීට පෙරත් හිටපු සමහර මන්ත්‍රිවරු තමන්ගෙ කේන්තිය පාලනය කරගන්න බැරි වුණාම තමන්ගෙ මේසෙ උඩ තියන වතුර වීදුරුව විසි කරපු අවස්ථා තිබුණා. මගේ කාලෙ ටී.මහේෂ්වරන් මන්ත්‍රිවරයා එයාගෙ මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුව කතානායක පැත්තට විසිකළා. ඒක වැදුණේ සෙංකෝලය තිබ්බ මේසෙට. එදා කතානායක විධියට හිටියෙ වී.ජ.මු.ලොකුබණ්ඩාර මහත්තයා. ඒ ගැනත් පරීක්ෂණ කොමිටියක් දැම්මා. ඒත් වේත්‍රධාරී විධියට ඒ සිදුවීම දැකපු මගෙන්වත් ඒ ගැන ඇහුවෙ නෑ. ස්ථාවර නියෝගවල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ නිසා කියලා ඒකත් හමස් පෙට්ටියට ගියා.” විජය පල්ලියගුරු මහතා පවසන්නේ, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, ඇන්.ඇම්.පෙරේරා වැනි අයද මෙවැනි දේ කළ බැව් තමාට පෙර දීර්ඝ කාලයක් වේත්‍රධාරී ලෙස කටයුතු කළ රොනී අබේසිංහ තමා සමග පවසා ඇති බවය.

“එක පාරක් වාසුදේව නානායක්කාර මන්ත්‍රිතුමා කාරක සභා අවස්ථාවකදි කතානායක පුටුවෙ බලහත්කාරෙන් වාඩි වුණාම තවත් මන්ත්‍රිවරු දෙන්නෙක් ඇවිත් එතුමා දෙපැත්තෙන් අල්ලලා පද්දලා වීසි කළා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කර ගන්න නම් යම් වැරැද්දක් කළාම දඬුවම් දීමේ ක්‍රමයක් තිබිය යුතුයි.”

කතානායක පුටුවේ අසුන් ගත්තේයැයි දඬුවම් දීමට නීතියක් නොමැති වුවද, කතානායක වරයාට හා පාර්ලිමේන්තු ක්‍රමයට අගෞරව කිරීමක් හැටියට එය සැලකිය හැකි බවද, දේපළ හානි සඳහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලබාදිය හැකි බවද ඔහු පවසන්නේය.

“ලංකාවෙ විතරක් නොවෙයි ලෝකෙ බොහෝ රටවල පාර්ලිමේන්තුවලත් විවිධ කලකෝලාහල ඕනතරම් වාර්තා වෙලා තියනවා. ඒත් අපේ පාර්ලිමේන්තුවේ වගේ අණක්, ගුණක් නැති සවුත්තු වැඩ කොහේවත් වුණා කියලා මම හිතන්නෙ නෑ.”

ඔහු පවසන්නේ මෙවැනි සිදුවීම් ස්ථාවර නියෝග පමණක් හෝ දඬුවම් දීමෙන් පමණක් හෝ නතර කිරීමට නොහැකි බවය.

“ඉස්සර ගරුත්වය ඇති අය පාර්ලිමේන්තුවට තෝරලා එව්වා වගේ නැවත වරක් ඒ සංස්කෘතියට යා යුතුයි. ස්ථාවර නියෝග යටතේ දැන් ඉන්න මන්ත්‍රි කෙනකුට පාර්ලිමේන්තුව තහනම් කළාම සභා ගැබට එන්නෙ නැතුව කැන්ටිමෙන් වේල් දෙක හොඳට කාලා එයා පාර්ලිමේන්තුවේ කොහාට හරි වෙලා දවස ගෙවලා හවසට ගෙදර යනවා. ප්‍රධාන දේ තමයි පක්ෂ නායකයන් සංවර විය යුතුයි. එහෙම වුණොත් විතරයි තමන්ගෙ කණ්ඩායම පාලනය කරන්න හැකියාව තියෙන්නෙ.”

අරගලකරුවන් රජයේ දේපළවලට කළ අනර්ථය වෙනුවෙන් මෙන්ම මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට කළ අනර්ථයටද එක හැන්දෙන් දඬුවම් ලැබිය යුතු බවට විවාදයක් නැත්තේය. මන්ත්‍රිවරුන්ට තවමත් දඬුවම් නොදුන් නිසා රාජ්‍ය දේපළ විනාශ කළ අරගලකරුවන්ට සමාව දීම යුක්තිය නොවන්නේය. එබැවින් අරගලකරුවන්ට සේම මන්ත්‍රිවරුන්ටද නීතිය ක්‍රියාත්මක වන සම බිමක් නිර්මාණය කළ යුතුය. එසේ නැතිව ඇමැති බන්දුල කියන ආකාරයට අමුතු නීතියක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නැති බවට දැනටමත් කතානායක මහින්ද යායා අබේවර්ධන තීන්දුවක් දී අවසන්ය. ඔහු පාර්ලිමේන්තුවේදී ඉකුත් 16 වැනිදා කීවේ පාර්ලිමේන්තුවේදීත් මන්ත්‍රින් අපරාධ නීතියට යටත් බවය. ප්‍රශ්නය වන්නේ එය 2018 සිට මේ දක්වා ක්‍රියාත්මක නොවීමය. උපුල් ගලප්පත්ති  
 

More News..