brand logo

මැතිසබයේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් ගණන 25ට බසී

01 December 2018

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට එක්වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇත්තේ මන්ත්‍රී ධුර 25කි. මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 96ක් හිමිවූ අතර ඉන් 57 දෙනකු ඒකාබද්ධ විපක්ෂයට එක්විය. ඉතිරි 39 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ඉන් 16 දෙනකු ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. පසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යළිත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නායකත්වය ලබාදෙන ශ්‍රී.ල.නි. පක්ෂය සමග 23 දෙනාගේ කණ්ඩායමට එක්ව කටයුතු කළ අතර සෙසු මන්ත්‍රීවරුන් 15 දෙනා වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළේය. පසුගිය නොවැම්බර් 11 වැනි දින එම 15 දෙනාගේ කණ්ඩායමේ ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල හා එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන් 4 දෙනා හැර සෙසු 11 දෙනා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නට යෙදුණි. ඊට අමතරව පසුගිය දිනවල සිදුවූ දේශපාලන අර්බුදය සමග ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කළ කණ්ඩායමේ 24 දෙනා සමග සිටි ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂය සමග එක්වූහ. මෙම තත්ත්වය මත ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරුන් 25 දෙනකුගේ සහාය ලැබී ඇත.
 

More News..