brand logo

මැතිව්ස්ගේ කුලුදුල් ද්විත්ව ශතකය ශ්‍රී ලංකාවට ජවය දෙයි

22 January 2020

ඇන්ජලෝ මැතිව්ස්ගේ මංගල ද්විත්ව ශතකය ප්‍රධාන කොටගෙන ගොඩනැගුණු ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 515ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 157ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (22වැනිදා) තරගය නවතන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 30ක් රැස්කරගෙන සිටියේය. තරගය නවතන විට සිම්බාබ්වේ වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ප්‍රින්ස් මස්වවුරේ ලකුණු 15ක් සහ බ්‍රයන් මුඩ්සින්ගන්යාම ලකුණු 14ක් රැස්කරගෙන සිටියහ. කලකට පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 500ට වැඩි අගයක් දක්වා රැගෙන ඒමට වැඩි දායකත්වක් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව සටහන් කරමින් නොදැවී ලකුණු 200ක් වාර්තාකර ගත්තේය. මිනිත්තු 600ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 468කට මුහුණු දී සිටි මැතිව්ස් සිය ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 16ක් එක්කොට තිබුණි. ශ්‍රී ලංකා පිතිකරුවෙක් විසින් 2015 මාර්තු මාසයෙන් පසුව ලකුණු 200 සීමාවට පැමිණි පළමු අවස්ථාව වශයෙන් මෙය සටහන් විය. මීට ඉහතදී අවසන් වරට කුමාර් සංගක්කාර විසින් නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ද්විත්ව ශතකයක් වාර්තා කළ අතර එහිදී ඔහු විසින් ලකුණු 203ක් වාර්තාකරගෙන තිබුණි. මුළු ලකුණු සංඛ්‍යාව 510ක් වනවාත් සමගම ක්‍රියාත්මක වූ සිකන්දර් රාසා ශ්‍රී ලංකා පිලේ 7 වැනි සහ 8 වැනි පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙණියව පිට පිට දවා ගනිමින් ද්විත්ව ශතකය පෙනි පෙනී සිටි ඇන්ජලෝ මැතිව්ස්ට පීඩනය එල්ල කළේය. ශ්‍රී ලංකා පිලේ මැදපෙළ තවදුරටත් ශක්තිමත් කළ නිරෝෂන් දික්වැල්ල හතරේ පහර තුනක් සමගින් ලකුණු 63ක් රැස්කර ගත්තේය. වෙනදාට සාපේක්ෂව තරමක ඉවසිලිමත් පිති ප්‍රහාරයක් දියත් කළ දික්වැල්ල විනාඩි 174ක් කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 120කට මුහුණ දී තිබුණ අතර, ඔහු සිකන්දර් රාසාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. මැතිව්ස් සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා ඉතා වටිනා ලකුණු 98ක සබඳතාවක් පිහිටවූ ධනංජය ද සිල්වා ලකුණු 63ක් ලබා සිටියදී වික්ටර් යාවුචිගේ ගොදුරක් බවට පත්විය. පන්දු යවන්නාගේ හිසට ඉහළින් එල්ල කිරීමට තැත්කළ පහර ප්‍රින්ස් මස්වවුරේ මිඩ්ඕන්හි සිට රැක ගැනීමත් සමගින් ධනංජයගේ ඉනිම නිමා වූ අතර ඒ වනවිට ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් එක්කොට තිබුණි. ලකුණු සාරාංශය සිම්බාබ්වේ පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 358 යි. ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 515යි. (දිමුත් කරුණාරත්න 37, ඕෂධ ප්‍රනාන්දු 21, කුසල් මෙන්ඩිස් 80, ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 200, දිනේෂ් චන්දිමාල් 12, ධනංජය ද සිල්වා 63, නිරෝෂන් දික්වැල්ල 63, සුරංග ලක්මාල් 27, ලසිත් ඇඹුල්දෙණිය 0, කසුන් රාජිත 1, වික්ටර් යාවුචි 3/69, ඩොනල්ඩ් ටිරිපානෝ 1/82, ශොන් විලියම්ස් 2/104, සිකන්දර් රාසා 3/62) සිම්බාබ්වේ දෙවැනි ඉනිම පන්දුවාර 17කදී ලකුණු 30යි. (ප්‍රින්ස් මස්වවුරේ 15, බ්‍රයන් මුඩ්සින්ගන්යාම 14, සුරංග ලක්මාල් 0/4, කසුන් රාජිත 0/7)
 

More News..