brand logo

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා - මනූෂ කියයි

19 February 2020

එක්සත් ජාතික පක්ෂයේ සියලුම අර්බුද විසදාගෙන එක්ව තරග කිරීමේ තීන්දුව ගෙන ඇති බවත්, කුමන ලකුණින් ඉදිරිපත් වුවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ගාල්ලේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය අවසන් වෙලා, රාජපක්ෂවරු ගෙදර යවලා, ජනතා විරෝධී රජය පලවා හැරීමට අපි කටයුතු කරනවා. මේ ආණ්ඩුවට දැන් වයස මාස තුනයි. මේ මාස තුන ගත වන විට ආණ්ඩුව මොකද කළේ කියන ප්‍රශ්ණය තිබෙනවා. පෝර දුන්නාද, බඩු මිල අඩු කළාද, රැකියා ලක්ෂයක් ලබා දුන්නාද, රාජ්‍ය සේවකයින්ගේ දීමනා ලබාදුන්නාද යන ප්‍රශ්ණ අපිට අහන්න තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වෙලා තහනම් කරනවා කියලා කියපුවා තහනම් කරලා තියෙනවාද කියන ප්‍රශ්ණය අහන්න තිබෙනවා. මේ වන විට සයිදමරදුවලට නගර සභාවක් දීලා තිබෙනවා. මක්කම යන අයට සහන ලබාදී තිබෙනවා. මේවා හැට නම ලක්ෂයක් ජනතාව ජාතිවාදී විදියට ඉල්ලපු දේවල්ද මේ ලබාදෙන්නේ. මේ ආණ්ඩුව රාජ්‍ය ආයතනවලට කඩා පැනපු දේවල්වලට වඩා වැඩි දෙයක් කරලා නෑ. හැට නම ලක්ෂයක් ජනතාව බලාපොරාත්තුවූ එම්.සී.සී ගිවිසුම අහෝසි කළාද? ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අය අත්අඩංගුවට ගත්තාද? ආණ්ඩුව ඉඩම් විකිණීම නතර කළාද? මේ කිසිම දෙයක් කරලා නෑ. එක්ව තරග කිරීමේ තීන්දුව අපි අරගෙන තිබෙනවා. ලකුණ මොකක් වුනත් අපි තරග කරලා ජයග්‍රහණය කරනවා. මොන ලකුණ ලැබුනත් අපි, සජිත් ලකුණින් ඇවිත්, ජනතාවගේ ලකුණින් ඇවිත් ජනතාවගේ හදවතේ ලකුණින් ඇවිත් මේ ආණ්ඩුව ගෙදර යවනවා. අපි ඉදිරි මැතිවරණයේදී ආසන 113 ක් ලබාගෙන ජයග්‍රහණය කරනවා. ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැසී සිටිනවා. රාජපක්ෂවරුන්ට තුනෙන් දෙක්ක ලබාදීමට විරුද්ධව ජනතාව පෙළ ගැසී සිටිනවා. අපි සමගි ජන බලවේගය කියන පොදු සන්ධානයෙන් තරග කරනවා.   ලංකින්ද නානායක්කාර
 

More News..