brand logo

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඒජන්තවරුන්ගේ මාෆියාව

05 December 2020

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන අංශයට සම්බන්ධ වී සිටින මෙහෙයුම් ඒජන්තවරු (Handling Agents) සේවා ලබාගැනීම සඳහා පැමිණෙන සේවාලාභීන්ගෙන් ප්‍රසිද්ධියේම අයථා ලෙස මුදල් අයකරමින් සිටිති. ස්වර්ණාභරණ අධිකාරියේ පාලනාධිකාරිය පවසන්නේ සිය ආයතන පරිශ්‍රයේ රැඳී සිටින මෙම ඒජන්තවරුන් පිළිබඳව පැමිණිළි රැසක් ලැබී ඇති නමුත් ඔවුන්ව පාලනය කිරීමේ බලයක් තමන්ට නොමැති බවයි. ‘අරුණ’ නිරීක්ෂණය කළ ආකාරයට යම් භාණ්ඩයක් විදේශයකට අපනයනය කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැමිණෙන ජනතාවට අනිවාර්යයෙන්ම මෙම ඒජන්තවරුන්ගේ සේවය ලබාගැනීමට සිදුවීමය. ඔවුන් සැලකිය යුතු සංඛ්‍යාවක් පරිශ්‍රයේ රැඳී සිටින අතර සේවාලාභීන්ගෙන් මුදල් ලබාගනිමින් තැපැල් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ අධිකාරියට ගෙවිය යුතු කොමිස් මුදල් ගෙවීම සිදු කරයි. ඉහත කී ගාස්තු වෙනුවෙන් පමණක් ඔවුන් අදාළ අංශවලින් ලබාගත් රිසිට්පත් සේවාලාභීන්ට ලබාදෙන අතර සෘජුව මුදල් ගෙවීමට සේවාලාභීන්ට අවස්ථාව ලබානොදෙයි. අවසානයේ රේගු ගාස්තු වශයෙන් තවත් මුදලක් අයකරන බව පවසමින් භාණ්ඩයේ වටිනාකමින් 20%ක පමණ මුදලක් සිය සාක්කුවට දමාගන්නා මෙම ඒජන්තවරු එම මුදල් ගෙවීම ප්‍රමාදවන බවද ‘‘දැන් කාර්යය සම්පූර්ණ බව’’ ද පවසමින් සේවාලාභියා ආයතනයෙන් පිටත් කර හරියි. එම අවසන් ගාස්තුව වෙනුවෙන් රිසිට්පතක් නිකුත් නොකරන අතර සිය භාණ්ඩය අපනයනය කිරීම සඳහා සැබෑ ලෙසම කොපමණ මුදලක් වැයවූයේ දැයි සේවාලාභින්ට දැනගැනීමේ හැකියාවක් නොලැබී යයි. ‘අරුණ’ සිදු කළ නිරීක්ෂණයේ දී අනාවරණය වූයේ රුපියල් 8000ක් පමණ සැබෑ ලෙස වැය කර සිදු කරන භාණ්ඩ අපනයනයක් වෙනුවෙන් මෙම ඒජන්තයන් රුපියල් 10000ක් පමණ අයකරන බවත් රිසිට්පත් නිකුත් කරනුයේ එම මුදලින් රුපියල් 4000ක පමණ මුදලක් වෙනුවෙන් පමණක් බවයි. ප්‍රසිද්ධියේ සිදු කෙරෙන මෙම අක්‍රමිකතාව පිළිබඳව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂජෙනරාල් හර්ෂ ඉලුක්පිටියගෙන් අරුණ විමසීමක් කළේය. ‘‘රේගුව හරහා සිදු කෙරෙන අපනයන ක්‍රියාවලියේ දී මේ හැන්ඩ්ලින් ඒජන්ට්ලගේ සේවය අනිවාර්යයෙන්ම ලබාගත යුතු ආකාරයෙනුයි එය නිර්මාණය වී තිබෙන්නේ. ඔවුන් අපේ ආයතනයේවත් රේගුවේවත් සේවකයන් නෙමෙයි. අතරමැදි නියෝජිත පිරිසක්. ඔය චෝදනාව අපිට ලැබිලා තියෙනවා. නමුත් ඔවුන්ගේ මැදිහත්වීමකින් තොරව අපනයන ක්‍රියාවලිය සේවා ලාභියකුට තනිවම කරගන්න බැහැ. ඔවුන් සිදු කරන අයකිරීම්වලට අධිකාරියේ සම්බන්ධයක් නැහැ.’’ නයන තරංග ගමගේ
 

More News..