brand logo

මැකෝ අලි අමාරුවක දැම්ම අලි ඡන්ද පත්‍රිකාව

13 October 2019

මීට දශක තුනකට ඉහතදී පැටි වයසේ හුන් අප ගාලු  කොටුවට යන අතරේ දුටු දසුනක් අද මෙන් හොඳ හැටි මතකය. ඒ පරණ ජැටිය පාරේ  මැතිවරණ කාර්යාලය ඉදිරිපිට ලී පෙට්ටි ගොඩගසා තිබෙන අයුරුය. එම ලී පෙට්ටිවල  අලවා තිබූ කොළ ගලවා මකුලු දැල් කඩා සෝදා පවිත්‍ර කෙරෙන්නේ ඡන්දයක් මග එන බව  පෙරනිමිති කියමිනි. ඡන්ද නාමලේඛනය වාර්ෂිකව යාවත්කාලීන කෙරෙද්දී ඡන්ද  දායකයන් වැඩිවන විට වැඩි වැඩියෙන් ඡන්ද පෙට්ටිද ඕනෑ බවට මැතිවරණ නිලධාරීහු  සහසුද්ධයෙන්ම දනිති. ඡන්ද පෙට්ටි වැඩිවන විට ඒවා උස්සන් යන්නට ඕනෑ  සේවකයන් ගණනද ඡන්දය ගණින්නට අවැසි ගණන් කිරීමේ නිලධාරීන් සංඛ්‍යාවද කල්  ඇතිව ගණන් හදා ගැනීමට මැතිවරණ නිලධාරීන්ට පහසුය. එහෙත් ලංකාවේ හත්වැනි  ජනාධිපතිවරණය පවත්වන්නට ලකලෑස්ති වන මැතිවරණ කොමිසම මේ දිනවල වැටී ඇත්තේ  අලි අමාරුවකය. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයේදී අලි අමාරුවක වැටුණේ  හතු පිපෙන්නාක් මෙන් ජනපති අපේක්ෂකයන් ඉදිරිපත්වීම නිසාය. නාමයෝජනා  වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට දුන් අවසාන දිනය වූ ඉකුත් ඉරිදාවේ (6 වැනිදා)  දවල් දොළහ වන විට ජනපතිවරණයට අපේක්ෂකයෝ හතළිස් එක්දෙනෙක් ඇප තැන්පත් කළහ. මේ ප්‍රශ්න සියල්ලේම මුල පටන් ගත්තේ එතැනදීය. වාසනාවකට එම හතළිස් එක්දෙනාගෙන් හයදෙනෙක් නාමයෝජනා භාර නොදුන්හ. ඒ අනුව ඉතිරි වූ ජනපති අපේක්ෂකයන්ගේ ගණන තිස්පහකි. ඒ ගණන ලංකාවේ දේශපාලන ඉතිහාස පොතට ඇතුළු වන්නේ වැඩිම අපේක්ෂකයන් ගණනක් ජනපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව ලෙසය. මින් පෙර එම වාර්තාව තබා තිබුණේ දෙදහස් පහළොව ජනපතිවරණයේදීය. එවර අපේක්ෂකයෝ දහනවයක් ඉදිරිපත් වූහ. මෙවර එම ගණනට තවත් දාසයක් එකතු වී ඇත්තේය. ප්‍රශ්නය ඇත්තේ එතැනය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියන්නේ ජනපතිවරණයට අපේක්ෂකයන් තිස්පස් දෙනකු ඉදිරිපත් වන බැවින් මෙවර ඡන්ද පත්‍රිකාව ගිය වරට වඩා දෙගුණයකින් විශාල වන බවය. ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය ගණනින්ම කියන්නේ නම් මෙවර එය අඟල් විසි හයක් දිගය. අඟල් දොළහක් යනු අඩියකි. එසේ බලන විට ජනපතිවරණයේදී මෙවර ඔබට ඡන්දය දීමට ඇත්තේ අඩි දෙකයි අඟල් දෙකක තඩි කොළයකය. මින් පෙර එවැනි ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කෙරුණේ දෙදහස් අටේ පැවැති නැගෙනහිර පළාත් සභා ඡන්දයටය. එම ඡන්දයට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රධාන පක්ෂ එකොළහක් හා ස්වාධීන කණ්ඩායම් විසිදෙකක් තරග කළේය. ඒ අනුව මුළු ගණන තිස්තුනක් විය. එම තිස්තුන දමා හැදූ දිගාමඩුල්ලේ ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් විසි හතරක් වූ බව එකල අම්පාර සහකාර මැතිවරණ කොමසාරිස් දමයන්ත කුමාර තෙන්නකෝන් කීවේය. දිගාමඩුල්ලේ දිගම ඡන්ද පත්‍රිකාවේ වාර්තාව වසර එකොළහකට පසු මෙවර බිඳ වැටෙන්නේ ජනපතිවරණයට අපේක්ෂකයන් තිස් පස් දෙනකු ඉදිරිපත්වීම නිසාය. ජනපතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන්නේ දැඩි පොලිස් රැකවල් මැද රජ්ජුරුවන්ගේ අච්චු කන්තෝරුවේය. වසර දෙසිය දාහතක ඉතිහාසයක් ඇති රජ්ජුරුවන්ගේ අච්චු කන්තෝරුව දැන් හැඳින්වෙන්නේ රජයේ මුද්‍රණාලය යනුවෙනි. එය පිහිටා ඇත්තේ බොරැල්ලේ බේස්ලයින් පාරේය. රජයේ මුද්‍රණාලය කීවාට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන්නේ මුද්‍රණාලයේ රහස් අංශයේය. ඊට ඇතුළු වීමට හැක්කේ අවසර ලත් සේවකයන් ටික දෙනකුට පමණි. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවැසි ජල මුද්‍රිත පත්‍රිකා ගෙන්වන්නේ රටිනි. එනමුත් එම රට කොහේදැයි ප්‍රසිද්ධ කෙරෙන්නේ නැත. රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි තල්පති ලියනගේ කියන්නේ ඡන්ද පත්‍රිකාව දිග වූවාට එය තම ආයතනයට ප්‍රශ්නයක් නැති බවය. ‘‘අපට ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කිරීමේ තාක්ෂණික ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. නමුත් ඡන්ද පත්‍රිකාව දිගවීම නිසා වෙනදාට වඩා මුද්‍රණයට වැඩි කාලයක් ගතවෙනවා’’ ඇය කියන්නීය. ඊට හේතු වන්නේ මුද්‍රණ වාර ගණන වැඩිවීමය. කෙසේ නමුදු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියන හැටියට ඡන්ද පත්‍රිකාව දික්වීම නිසා ලැබෙන අතුරු ප්‍රතිඵල ලැයිස්තුවක් ඇත්තේය. ඡන්ද ලැයිස්තුව දිග්වූ විට එය තුනට හතරට නවා ඡන්ද පෙට්ටියට දැමීම අපහසුය. මේ නිසා ඡන්ද ලැයිස්තුව පෙට්ටියේ කටට දමා අඩි රූලකින් තල්ලු කිරීමට ඡන්ද පොළ නිලධාරීන්ට සිදුවනු ඇත්තේය. එසේ නවා ඇති ඡන්ද ලැයිස්තුව ඡන්ද මධ්‍යස්ථානයේදී විවෘත කිරීමට ගණන් කරන නිලධාරීන්ට වෙනදාට වඩා මහන්සි විය යුතුය. සාමාන්‍යයෙන් ඡන්ද පෙට්ටියකට ඡන්ද පත්‍රිකා හත්සියයක් පමණ දැමිය හැකිය. ඡන්ද පත්‍රිකාව දෙගුණ වීම යනු ඡන්ද පෙට්ටියකට දැමිය හැකි ඡන්ද ගණන භාගයකින් අඩු වීමකි. එවිට ඡන්දය දැමීමට අතිරේක පෙට්ටි ඕනෑ කරනු ඇත. දැනට ඒසා අතිරේක පෙට්ටි තොගයක් ගබඩාවල නැති නිසා අමතරව පෙට්ටි හැදිය යුතුය. ඊට වේලාවක් දැන් නැත. මේ නිසා ඡන්ද පෙට්ටි දාහක් පිටරටින් ගෙන්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද පෙට්ටි වැඩිවූ විට ඒවා උස්සගෙන යන්නට තවත් කම්කරුවන් ඕනෑය. මෙසේ වැඩිවන කාර්ය මණ්ඩලයට සංග්‍රහ කරන්නත් ඕනෑය. දීමනා ගෙවන්නත් ඕනෑය. ඒ සියලු දේ කරන්නට තව තවත් සල්ලිත් ඕනෑය. පොතේ හැටියට ඡන්ද මධ්‍යස්ථානයකට එක් පක්ෂයකට ඡන්ද පොළ නියෝජිතයන් දෙදෙනෙක් යෙදවිය හැකිය. ඡන්දදායකයෝ ඡන්දය පාවිච්චි කරන්නේ ඔවුන්ගේ දෑස් ඉදිරිපිටදීය. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිස්පහක් ඉදිරිපත් වී ඇති නිසා එක් අයකුට දෙක බැගින් ගණන් හැදුවොත් ඡන්ද පොළ නියෝජිතයන්ගේ ගණන හැත්තෑවක් වේ. එහෙත් ප්‍රායෝගිකව හැම ඡන්ද අපේක්ෂකයකුටම ඡන්ද පොළ නියෝජිතයෙක් පත් කෙරෙන්නේ නැත. එහෙම පත්කළහොත් මෙවර ජනපතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සිද්ධ වනු ඇත්තේ පාසල්වල ප්‍රධාන ශාලා පමණකි. මක්නිසාද යත් ඒ සා විශාල පිරිසකට වෙනත් තැන්වල ඉඩකඩ නැති නිසාය. එහෙත් සාමාන්‍යයෙන් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන්නේ ඉස්කෝලවල පන්ති කාමර, බණ මඩු හා ප්‍රජා ශාලා වැනි ස්ථානය. කෙසේ නමුදු ජනපතිවරණයේ ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානවලට එක් අපේක්ෂකයකුගේ නියෝජිතයන් පස් දෙනකු යෙදවිය හැකිය. ජනපති අපේක්ෂකයෝ තිස්පස් දෙනාගෙන් වැඩි කර බැලූ විට එම ගණන එකසිය හැත්තෑ පහකි. ඒ සා විශාල ගණනක්ද සමග ඡන්දය ගණින්න ගියහොත් යළිත් මතුවන්නේ ඉඩකඩ ප්‍රශ්නයය. මෙසේ බලන විට ලංකාවේ දිගම ඡන්ද පත්‍රිකාව සමග මෙවර ජනපතිවරණය පැවැත්වීම හිතෙන තරමට ලෙහෙසි නැත. එය හොඳටම පෙනෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කී කතාවකිනි. ‘‘පනතේ හැටියට ඕනෑම අයකුට ඡන්දය ඉල්ලන්න පුළුවන්. ඒක අයිතියක්.’’ ‘‘ජනපතිවරණයට අපි මුලින්ම හිතුවේ රුපියල් කෝටි හාරසියයක් විතර වියදම් වෙයි කියලා. නමුත් අපේක්ෂකයෝ වැඩිවෙලා ඡන්ද පත්‍රිකාව දිග වූ නිසා ඒ මුදල තවත් වැඩි වේවි.’’ මැකො කියන විදිහට ඕනෑම අයකුට ඡන්දය ඉල්ලිය හැකිය. නමුත් මේ නිකරුණේ වැය වෙන්නේ අපේ සල්ලිය. මිහිරි ෆොන්සේකා
 

More News..