brand logo

මා ක්‍රිකට් පිරිසුදු කර නඩු පටලවා ගත්තා - හරීන්

08 January 2020

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ වන්දියක් ඉල්ලා ක්‍රිකට් ආයතනයට නඩු පවරා තිබුණත්, මේ වනවිට ඔහුට ගෙවූ වැටුපෙන් මීකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර් ඇතුළු ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් පස් දෙනකුට වැටුප් ගෙවන බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (7 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. නොවැම්බර් 16 වැනිදායින් පසුව මෙම නඩු දැමීම සිදු වූ බව කියන ඒ මහතා තමන්ට එරෙහිව තිලංග සුමතිපාල සහ සනත් ජයසුන්දර යන අය පවා නඩු පවරා ඇති බවද මෙහිදී කියා සිටියේය. තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම උල්ලංඝනය වන ආකාරයෙන් සිය සේවය අවසන් කිරීම හේතුවෙන් චන්දික හතුරුසිංහ වන්දි ඉල්ලා තිබුණු අතර ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් හරීන් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කර තිබීම සම්බන්ධයෙන් තිලංග සුමතිපාල නඩු මගට පිවිස තිබේ. හරීන් ප්‍රනාන්දු මහතාට අල්ලස් ලබාදීමට තැත් කළේ යැයි චෝදනාවට ලක් වූ සනත් ජයසුන්දර විසින් අනෙක් නඩුව පවරා තිබේ. ‘තිලංග සුමතිපාල මහත්තයත් එක්ක මගේ කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මම කළේ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පිරිසිදු කිරීම විතරයි. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගත්ත තොරතුරු අපි ළඟ තියෙනවා. ඒ වගේම මට අල්ලස් දෙන්න උත්සාහ කරපු කෙනාගේ රස්සාව නැති කරන්න මට උවමනා වුණේ නැහැ. මම හිතුවා මේ දේ නොකියා හිටියොත් කවදාහරි මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා’ යි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය. ඩලස්ව විශ්වාස කරනවා ‘මේ පාර සාග් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400-500ක් විතර යුද, නාවික, ගුවන් සහ පොලිස් නියෝජනය කරපු ළමයි. මගේ කැමැත්තක් තිබුණා සාග් පදක්කම් දිනන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාපන මට්ටම් අනුව රජයේ රැකියාවක් ලබා දීලා ක්‍රීඩාවේ තවදුරටත් රඳවා ගන්න. ඩලස් ඇමැතිතුමා අවංක කෙනෙක් හැටියට අපි කරපු හොඳ දේවල් තියෙනවානම් ඒවත් අරගෙන රටේ ක්‍රීඩාව ඉදිරියට අරන් යයි කියලා අපි විශ්වාස කරනවා’ යැයිද හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසීය. අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක මගකට වැටීම ගැන සතුටක් ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකම අමාත්‍යවරයෙක් යටතට පත්ව තිබීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත්වන බව හරීන් ප්‍රනාන්දු පවසයි. එමගින් මෙතෙක් කල් පාසල් සංගම් සහ ජාතික සංගම් අතර පැවැති අන්‍යෝන්‍ය අවබෝධයක් නොමැතිකම සම්බන්ධයෙන් පියවරක් ගත හැකි බව ඔහු වෙතින් ප්‍රකාශ විය. ක්‍රිකට් ඡන්ද ගණන අඩු කරන්න සාකච්ඡා තිබුණා මීට අමතරව ක්‍රිකට් නිලවරණයේදී භාවිත කෙරෙන ඡන්ද 140කට අධික සංඛ්‍යාව 70ත් 80ත් අතර සංඛ්‍යාවක් කරා ගෙන ඒමට හරීන් ප්‍රනාන්දු සහ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සාකච්ඡාකොට තිබුණු බවද, මෙහිදී අනාවරණය විය. ගයාශාන් විතානආරච්චි
 

More News..