brand logo

මාළු වැඩියෙන් අල්ලන්න ‘ජගතා’ සහ ‘වීරයා’ මුහුදට බිලිදීලා

30 October 2020

දශක හතරකට අධික කාලයක් නාවික හමුදාව වෙනුවෙන් සේවය කළ ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින්වූ නෞකා ද්විත්වය මුහුදුබත් කිරීම 2020 ඔක්තෝබර් 22 සහ 26 දින ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේදී සිදු කෙරිණි. මෙම නෞකා දෙක මුහුදුබත් කෙරුණේ කෘත්‍රිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහාය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන් වැනි වේග මුර යාත්‍රා බලගණයට අයත්ව තිබූ මෙම නෞකා ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික සේවයෙන් ඉවත් කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී සිදු විය. අනතුරුව, කෘත්‍රිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට පෙර නෞකා ද්විත්වයේ ප්‍රයෝජනයට ගතහැකි සියලු යාන්ත්‍රික කොටස් ගලවා ඉවත් කර, සාගරික පරිසරයට හිතකර වන ලෙස සූදානම් කෙරිණි. මෙම නෞකා ද්විත්වය නාවික හමුදාව විසින් පසුගිය ජුලි මස ‘සැන්ඩි බේ’ මුහුදු තීරයේ විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද දෙවන දිය යට කෞතුකාගාරයේ සිට මීටර් 25ක් පමණ ඊසාන දෙසට වන්නට දිය යට ස්ථානගත කරන ලද බැවින් මේ වන විටත් දිය යට කෞතුකාගාරය ආශ්‍රිතව නිර්මාණය වී ඇති මත්ස්‍ය අභිජනන පරිසරය මෙම නෞකා ආශ්‍රිත මත්ස්‍ය අභිජනන අඩවියක් පහසුවෙන් නිර්මාණය කිරීමට මහත් රුකුලක් වනු ඇතැයි නාවික හමුදාව පවසයි.
 

More News..