brand logo

මාස හයට රිය අනතුරු 891කින් 936ක් මිය ගිහින්

21 June 2020

2020 ව​සරේ ගත වූ කාලයේදී මාරාන්තික රිය අනතුරු අටසිය අනූ එකක් සිදු වී පුද්ගලයන් නවසිය තිස් හයක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානයේ රථ වාහන අංශයේ සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි. මෙම කාලයේදී රිය අනතුරු නවදහසකට ආසන්න සංඛ්‍යාවක්ද සිදුව තිබේ. එම අනතුරුවලින් මාරාන්තික අනතුරු දෙදහස් දෙසිය හැත්තෑ අටක්ද සුළු අනතුරු තුන්දහස් පන්සිය හැත්තෑතුනක්ද අලාභ හානි දෙදහස් එකසිය අසූ අටක්ද සිදුව ඇති බව පොලිස් රථ වාහන අංශ වාර්තා සඳහන් කරයි. මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලයේදී අධික වේගය නිසා සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව හාරසිය තිස් පහකි. මෙම වස​රේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් දාහතරදහස් නවසිය හතළිස් දෙකක් අත්අඩංගුවට ගෙන ඇත. අධික වේගය හේතුවෙන් රියැදුරන් පහළොස් දහස් හාරසිය හැත්තැ අටක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථාන රථවාහන අංශය පැවසීය. ගත වූ කාලය පුරා රිය අනතුරු සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවලටද දැනුම් දී ඇත. එම නිසා දෛනිකව රාත්‍රී 8.00 සිට පසු දින අලුයම 4.00 දක්වා සෑම පොලිස් බල ප්‍රදේශයකම රථ වාහන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය. උදයජීව ඒකනායක
 

More News..