brand logo

මාස පහ හයක් තිස්සේ දිග්ගැස්සුණු ‘කලහය’ බ්‍රහස්පතින්දා සමථයට පත්වෙයි

29 September 2019

අන්තිමේදී එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණය සඳහා ‘අපේක්ෂකයෙකු‘ තෝරාගත හැකි විය. එසේ තෝරාගත් අපේක්ෂකයා ‘සජිත් ප්‍රේමදාස‘ ම වූ බැවින්, ‘සිරිකොත‘ බේරුණේ ය. මන්ද එ.ජා.පෙ. අපේක්ෂකයා සජිත් නොවන්නට ඉකුත් බ්‍රහස්පතින්දාවේ සිරිකොත වටලා සිටි පාක්ෂිකයින්ගෙන් ‘සිරිකොතට‘ ගල්මුල් ප්‍රහාරයක් පවා දියත්වීමට ඉඩ තිබිණි. මීට පෙර වතාවක ද සජිත්ගේ සහචරයින් විසින් ගල් පහර කෑමට ලක් වූ සිරිකොත ට ඉකුත් බ්‍රහස්පතින්දාවේ ‘උපරිම පොලිස් ආරක්ෂාවක්‘ සපයා තිබුණේ එබැවිනි. ඒ අනුව පසුගිය බ්‍රහහස්පතින්දාවේ සිරිකොතට සන්නද්ධ පොලිස් ආරක්ෂකයින් මෙන් ම ගිනි නිවන රථ පවා ගෙන්වා තිබුණු අතර යම් හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ‘ගිලන් රථ’ පවා ගෙන්වීමට එහි සේවකයින්ට උපදෙස් ද ලැබී තිබිණි. මේ ආකාරයට ‘එ.ජා.පෙ. ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම’ සම්බන්ධයෙන් මාස පහ හයක් තිස්සේ දිග්ගැස්සුණු ‘කලහය’ පසුගිය බ්‍රහස්පතින්දා සමථයට පත් වුවත්, ඒ වෙනුවෙන් ගතවූ සැප්තැම්බර් මාසයේදී පමණක් රනිල්-සජිත් සාකච්ඡා 5 කුත් , කෘත්‍යාධිකාරි සහ පාර්ලිමේන්තු කණ්ඩායම් සාකච්ඡා කිහිපයකුත්, එ.ජා. පෙරමුණට සහාය දක්වන සුළු පක්ෂ සමග සාකච්ඡා කිහිපයකුක් පවත්වා තිබුණි. කෙසේවෙතත් මේ සියලු සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ අතර සජිත්ට අපේක්ෂකත්වය ලැබීම තහවුරු වූයේ ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන අරලියගහ මන්දිරේ පැවති සාකච්ඡාවේ දී ය. මෙම සාකච්ඡාවට රනිල්, සජිත්, අකිල, රාජිත, නවීන්, රවී, කිරිඇල්ල යන අය සහභාගි වී සිටි අතර එහිදී සජිත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ඇතුළු ‘යෝජනා 5 කට’ එකඟතාව පළ කරන ලද බවක් ද වාර්තා විය. කෙසේවෙතත්, මෙම රැස්වීම අවසන් වූ වහාම නවීන් දිසානායක සිය ට්විටර් ගිණුම හරහා ‘සජිත්ට අපේක්ෂකත්වය ලැබීම තහවුරු වූ බව’ කියා සිටියත්, එම සාකච්ඡාවට සහභාගි වූ අයගෙන් කිසිවෙකුත් එදින සවස් වන තුරු ම එකී ආරංචිය තහවුරු නොකළේ ය.
 

More News..