brand logo

මාස පහකින් පිටියේ පස් පාගා නැති ස්මිත් ශ්‍රේණිගත කිරීමේ අංක 1ට එයි

14 August 2018

ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩාව මෑත කාලයේදී දරුණුම අපවාදයකට ලක්වූයේ නම් ඒ ස්ටීවන් ස්මිත්ගේ නායකත්වය යටතේ ක‍්‍රීඩා කරමින් සිටියදී කැමරන් බැන්ක්‍රොෆ්ට් විසින් පන්දුව පළුදු කිරීමය. රූපවාහිනී කැමරාවේ සමීප රූපරාමු ඉදිරියේ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ හෙළුව හෙළිවූ අතර එහි ප‍්‍රතිඵලය වූයේ ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පරිපාලනය විසින් නායක ස්ටීවන් ස්මිත් මෙන්ම උපනායක ඬේවිඞ් වෝනර්වද වසරක කාලයකට ක‍්‍රිකට් පිටියෙන් එපිටට එලවා දැමීමය. අද ස්ටීවන් ස්මිත් යන නම ඉදිරියේ රැඳී ඇත්තේ පන්දුව පළුදු කිරීමට නායකත්වය දීමේ කළු පැල්ලම පමණක්ද? නැත. ක‍්‍රිකට් පිටියේ ඔහුගේ චර්යාව සම්බන්ධයෙන් අවලාද ඇතත්, ඔහුගේ පිතිහරඹය ගැන නම් කියන්නට කිසිදු දෝෂයක් නැත. එය කෙතරම් විශිෂ්ට තැනක තිබුණේද යත්, ඉකුත් මාර්තුවේ ක‍්‍රිකට් තහනම් වූ ස්මිත් ඉකුත්දා සිදුකෙරුණු නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ අංක එකට පැමිණ සිටියි. ඒ අනුව මේ වන විට ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ සිටිනුයේ මාස 5ක පමණ කාලයක සිට ක‍්‍රිකට් පිටියට පයවත් නොතබන පිතිකරුවෙකුය. එය සිදුවූයේ මෙසේය. ශ්‍රේණිගත කිරීමේ අංක එකේ සිටි ඉන්දියාවේ විරාත් කෝලි එංගලන්තය සමගින් පැවැති ඉකුත් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 23ක් ද දෙවැනි ඉනිමේදී ලකුණු 17ක් වශයෙන් පිත්තෙන් අසාර්ථක විය. එම අසාර්ථක පිතිහරඹය විසින් ශ්‍රේණිගත කිරීමේ ලකුණු 934ක් ලබා සිටි කෝලිගේ එම ලකුණු 15ක් අහිමි කළේය. දැන් කෝලි සතු ශ්‍රේණිගත කිරීමේ ලකුණු සංඛ්‍යාව 919කි. මාර්තු මාසයෙන් පසු ස්මිත් පිතිහරඹයේ යෙදී නැතත් ඒ දක්වා ඔහු රැස්කරගෙන තිබූ ශ්‍රේණිගත කිරීමේ ලකුණු 929 ඉහළ පහළ නොයා එතැනම තිබේ. කෝලිගේ ලකුණු අහිමිවීම හමුවේ ස්මිත්ගේ ලකුණු සංඛ්‍යාව ඉබේම අංක 1ට පැමිණ තිබේ. අද වන විට ක‍්‍රිකට් නරඹන්නෙකු පමණක් වන ස්මිත් 1ය. පිටියේ පන්දුවට පහරදෙන කෝලි 2ය. එය අමුතුය. නමුත් ක‍්‍රමවේදයට අනුව එය එසේය. මෙම ලැයිස්තුවේ පළමු 10 අතර ශ‍්‍රී ලංකාවේ දෙදෙනක්ද සිටියි. දිමුත් කරුණාරත්න ලකුණු 754ක් සමගින් එහි 7 වැනි තැනය. දිනේෂ් චන්දිමාල් ලකුණු 753කින් ලොව 8 වැනි තැන පසුවන ටෙස්ට් පිතිකරුවාය.
 

More News..