brand logo

මාස එකහමාරකට පෙරත් ලංකාවට ආ මධුෂ්ගේ තීරණාත්මක උපන් දින සාදය

10 February 2019

අද රටම කතා කරන්නේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ගැනය.

මධුෂ් විටෙක රටම භීතියට පත් කළේය. පොලිස් නිලධාරින්ට කෙළින්ම තර්ජනය කළේ ය. බන්ධනාගාර බස්වලට වෙඩි තබා බන්ධනාගාර නිලධාරින්ද මරා දැමුවේය. පොලිස් නිලධාරින්ට වෙඩි තබා ඝාතනය කළේ ය. පන්නිපිටියේ අයකු සතුව තිබූ රුපියල් කෝටි 700 ක දියමන්තියක් පොලිස් වෙසින් කොල්ලකා ඩුබායිවලට ගෙන්වා ගත්තේ ය. මේ සියලු චණ්ඩි පාට් දමන්නට මධුෂ්ට හැකි වූයේ පාතාල හා දේශපාලන බලයටත් වඩා ඩුබායි රාජ්‍යයේ සැඟවී රැකවරණ ලැබීම නිසාය. මධුෂ්ට එරෙහි අපරාධවල සාක්ෂි ගොනු කරගන්නට ශ්‍රී ලංකා පොලිසිය අසමත් වූයේ මධුෂ් සාක්ෂිකරුවන්ද බය කළ නිසාය. උදර්පන නීතිය යටතේ මධුෂ්ව කොටුකර ගැනීම තබා කළුතර එතනමඬලදී රනාලේ සමයං සමග බන්ධනාගාර බස් රථයට වෙඩි තබා බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු අැතුළු හත් දෙනකු ඝාතනය කර ඉන්දියාවට පැනගත් අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා කොටුකර ගැනීමටත් පොලිසිය අපොහොසත් විය. ඉන්දියාවට පැනගොස් ඩුබායිවලට පනින්නට යන මොහොතේ එරට බලධාරින්ට හසු වූ ලොක්කා හා ලඩියා මෙරටට ගෙන ඒමට නොහැකි වන්නේත් මධුෂ්ගේ ජාත්‍යන්තර කුඩු ජාලය මෙහෙයවන කණ්ඩායම්වල සහායෙන් ඉන්දීය සිරභාරයෙන් පැන්නූ නිසාය. අදටත් ඉන්දියාවේ සැඟ වී සිටිමින් මධුෂ්ගේ අපරාධ රැල්ල මෙහෙයවන ලොක්කා හා ලඩියා කොටුකර ගැනීමට නොහැකිව ඇත්තේ ය. මෙවන් තත්ත්වයක් තුළ ඉන්දියාවට පැමිණ මත්කුඩු ජාවාරම්කරුවන්ට අයත් බෝට්ටුවල නැගී රහසිගතව මෙරටට අවස්ථා ගණනකදීම ආ මාකඳුරේ මධුෂ් කොටුකර ගැනීමටද නොහැකි වන්නේ ඒ සියලු ගමන් රහසිගතව කෙරුණු නිසාය. යහපාලන රජය බලයට පත්වීමත් සමග මාකඳුරේ මධුෂ් ඇප මත නිදහස ලබා පාකිස්තාන ගුවන් ගමන් බලපත්‍රයක් හොරට සාදා පනින්නේද දේශපාලන සහායත් ඇතිවය. මධුෂ් සමග ඩුබායි හි සිටින අනෙක් දකුණේ පාතාල නායකයා වූ කොස්ගොඩ සුජීගේ විවාහයට අත්සන් තබන්නේද ප්‍රබල ඇමැතිවරයෙකි. සුජී පාතාල මර්දනයට බියෙන් රටින් පනින්නේද දේශපාලන සහාය මැදය. පාතාලයේ ගෝඩ් ෆාදර් වන්නට වෙර දරන සීතල යුද්ධය ඇත්තේද මාකඳුරේ මධුෂ් හා කොස්ගොඩ සුජී අතරය. මාකඳුරේ මධුෂ් 2015 දී ඩුබායිවලට පැන ගනිද්දී මධුෂ්ට එරටදී රැකවරණ දෙන්නේ මේ වන විට ජාත්‍යන්තර කුඩු ජාලයේ ප්‍රධාන චරිතයක් හා මුස්ලිම් පාතාලයේ ප්‍රබල නායකයකු වන කන්ජිපානි ඉම්රාන්ය. මාලිගාවත්ත ජුම්මා මජීඩ් පාරේ මුස්ලිම් පල්ලිය ළඟ කැඳවතුර විකුණපු ඉම්රාන්, අද කන්ජිපානි ඉම්රාන් නමින් ප්‍රකටය. මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු ගෙන්වා ජීවිතාන්ත සිරදඬුවමක් විඳින සිද්දික් නමැති කුඩු ජාවාරම්කරුගේ රියැදුරා වූ කන්ජිපානි ඉම්රාන් පාකිස්තානයට පැනගොස් ඩාවුඩ් ඊබ්‍රාහිම්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය සමග කුඩු ජාවාරම් මෙහෙයවන්නට ඩුබායි වෙත පැමිණි අයෙකි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට එක්වන්නට මධුෂ්ට ඉරණම පෑදෙන්නේත්, ඉම්රාන් මගින්ය. මින් පසුව ලංකාවට කීප වතාවක් හොර රහසේ ඇවිත් යන මධුෂ් අවසන් වරට ලංකාවට පැමිණ ගිය බව කියවී තිබුණේ මීට මාස එකහමාරකට පෙරය. රත්නපුර හා කුරුවිට ප්‍රදේශවල මැණික් කොල්ලයන් මෙහෙයවීම සඳහා මාකඳුරේ මධුෂ් පැමිණ ගිය බවට තොරතුරු පොළොන්නරුව පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් හෙළිවීමත් සමග ඒ බව පොලිස් මූලස්ථානය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට වාර්තා කරන්නේ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාය. ජනවාරි 30 දා පොලිස් මූලස්ථානයට එවූ වාර්තාවට අනුව අංක 01/01/ ඒ විශේෂ කාර්ය බළකා නිල නිවාස, කෙසෙල්වත්ත, ගෝනහේන, කඩවත ස්ථිර පදිංචිකරුවකු ලෙස සඳහන් යුගාරි හසන්තිකා හතුරුසිංහ නමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මාකඳුරේ මධුෂ් උඩවලව ප්‍රදේශයට පැමිණ ගිය බවට තොරතුරු හෙළි විය. පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කළ දිල්ෂාන් රංගන හතුරුසිංහ නමැති ඇගේ අනියම් පුරුෂයා මාකඳුරේ මධුෂ්ව මීට මාස එකහමාරකට පෙර පැමිණි අවස්ථාවේ මුණගැසෙන්නට ගිය වගද ඇය හෙළිකර තිබුණේය. මාකඳුරේ මධුෂ්ට උඩවලවේ සම්බන්ධතාවක් තිබුණු බව පොලිස් විශේෂ කාර්ය බළකාය මාකඳුරේ මධුෂ්ගේ දුරකථන අංක ජාල පරීක්ෂණයකින්ද තහවුරු කළේ ය. එම පරීක්ෂණයේදී උඩවලවේ ඇති දුරකථන අංකයකට මධුෂ් ඩුබායි සිට නිතර කතා කර ඇති බවද හෙළි වී තිබුණේ ය. මීට අමතරව මාකඳුරේ මධුෂ් විසින් රත්නපුර කුරුවිට ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් බියවද්දවා කප්පම් ගැනීමට පටන්ගෙන තිබුණේ ද පසුගිය මාස කීපයක කාලයක පටන්ය. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයකු පසුපස ගොස් ඩිෆෙන්ඩර් රථයට වෙඩි තබා බියවද්දා රුපියල් කෝටි හතරක කප්පමක් මධුෂ් ගන්නේ සිය ගෝලබාලයන් යොදවාය. කිරිඇල්ලේ මොටුවාගල මැණික් ව්‍යාපාරිකයකු බියවද්දා තවත් රුපියල් කෝටි ගණනක් ගෙන තිබුණේය. ඔහු සීතාවක ගඟේ මැණික් ඉල්ලම්වලින් පැන්නූ කෝටි ගණනක මැණික් හොරාට මිලදී ගත් අයෙකි. ඒ අයුරින් සීතාවක ගඟේ මැණික් මිලදී ගත් අප්පුගෙන් කප්පම් ඉල්ලා ඇති මධුෂ්, එය ප්‍රතික්ෂේප කළ තැන එකී ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස අසලට ටී 56 උණ්ඩ දහඅටක් දමා යන්නට තම සගයන්ට අණකරන්නේ බිය වැද්දීම උදෙසාය. කෝටි ගණනක කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කරන එකී ව්‍යාපාරිකයා ආරක්ෂාවට රැකවලුන් යොදාගෙන දැන් සිටින්නේ කොළඹය. මාකඳුරේ මධුෂ් රත්නපුරයම භීතියට පත් කරමින් ඇරඹූ කප්පම් රැල්ලත් සමග උඩවලවට පැමිණියේ රත්නපුරයේ කප්පම් මෙහෙයවන්නට බවට සැක කළ හැකි සාධක තිබෙන බව පාතාල මර්දන කණ්ඩායම් පෙන්වා දෙයි. ධර්මදාස ජෙම්ස් හිමිකරුව ඝාතනය කරන්නට මධුෂ් මෑතකදීත් උත්සාහ ගෙන තිබුණේ ය. මාකඳුරේ මධුෂ් ලංකාවට පැමිණ ඇති බවට මීට මාස එකහමාරකට පමණ පෙර ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාද තම කණ්ඩායම් යොදවා විමර්ශනයක් අරඹා තිබුණේය. මීට පෙර මාකඳුරේ මධුෂ් මෙරටට පැමිණ ඇමැති පුතකුගේ විවාහ මංගල්‍යයකට හා තම ආච්චි අම්මාගේ මරණයට සහභාගි වූයේ ඇමැති පුතා දුන් ඩිෆෙන්ඩර් රථ පෙළක ආරක්ෂාව මැදය. එවැනිම විවාහයක් මෑතකදී කොළඹ විවෘත වූ තරු පන්තියේ සුඛෝපභෝගී හෝටලයක පැවති අතර එයට මධුෂ් එතැයි සැකය මත බුද්ධි අංශ සාමාජිකයන් විවිධ වෙස්ගෙන හෝටලය තුළ රැක සිටියත්, මධුෂ් පැමිණි බවට තහවුරු කරගත නොහැකි විය. විවාහ උත්සවයේ දෙවැනි දිනය දා දකුණු පළාතට එතැයි සිතා ආරක්ෂක අංශ එම ප්‍රදේශවල ද බුද්ධි මෙහෙයුමක් කළහ. දකුණේ පාලමක් උඩදී ඩුබායි සිට පැමිණි මධුෂ්ව පොලිස් ජීප් රථ පෙළක් පැමිණ අත්අඩංගුවට ගත් බව පසුගිය කාල සීමාවක කියවුණද දේශපාලන හයියෙන් මධුෂ්ව රහසිගතව මුදාහල බවද කියති. මීට අමතරව ෆේස්බුක් හරහා හඳුනාගත් ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියක සමග කොල්ලුපිටියේ හෝටලයක අඹුසැමියන් සේ ගත කළ බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී තොරතුරු හෙළි වූයේ 2016 අප්‍රේල් මාසයේ දීය. තමන් පරිවාස භාරයේ සිටියදී මධුෂ් බන්ධනාගාරගත ඉරාක ජාතික හෙරොයින් ජාවාරමුන්ගේ ජංගම දුරකථන හරහා තමන්ට කතා කළ බවද ඇය හෙළි කළා ය. රනාලේ සමයං ගමන් ගත් බන්ධනාගාර බස් රථයට අංගොඩ ලොක්කාගේ කල්ලිය ප්‍රහාර එල්ල කරන දිනයේ මධුෂ්, ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියාවට පැමිණි බවට බුද්ධි අංශවලට තොරතුරු විය. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමග සබඳතා ඇති නිසා මුහුදෙන් පැමිණ යාමේ රහසිගත මෙහෙයුමක නිරත වූ මාකඳුරේ මධුෂ්ට වැරදුණේ නිදහස් දිනයදා (4) රාත්‍රියේදීය. මධුෂ්ට එරෙහිව යමක් කරන්නට ඩුබායි සිටින ඔහුගේ පසමිතුරන්ට නොහැකි වුවත් ඔහුව එරට පොලිසියට කොටුකර දීම සඳහා තොරතුරු රැස් කිරීම ඔවුන් දිගින් දිගටම කරගෙන ගියේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ දක්ෂ මෙහෙයුම්වල නිරතව සිට බස්නාහිර උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ විශේෂ ඒකකයක ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂකවරයකු මෙහෙයවූ ඔත්තුකරුවකුද මෙම තොරතුරු ලබා ගත්තේය. ඒ මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි විවාහයේ බිරිඳට දාව උපන් දරුවාගේ උපන්දිනය ඩුබායි, අබුඩාබිහි ජුමෙයිරා මරීනා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බවය. වැලිකඩ කැරැල්ලේ දී මියගිය මහරගම කළු තුෂාරගේ බිරිඳ මධුෂ්ගේ දෙවැනි බිරිඳ ලෙස ඩුබායි වෙත ගෙන්වාගෙන තිබුණේ කළු තුෂාරගේ මරණයෙන් පසුවය. ඔවුන් ඉන්පසුව ඩුබායිහි විලා නිවසක ජීවත්ව සිටි බව කියන්නේය. අපරාධ රැල්ල හරහා උපයාගත් විලා තත්ත්වයේ සුපිරි නිවාස හතරක් මධුෂ් විසින් ඇගේ නමට අරගෙන ඇති බවද කියන්නේය. බුද්ධි අංශවලට තිබූ තොරතුරුවලට අනුව මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයේ රජ කෙනකු මෙන් සැපවත් ජීවිතයක් ගත කර ඇත. අබුඩාබිහි තරු හයේ හෝටලයට මධුෂ්, බිරිඳ හා දරුවන් සමග පැමිණෙන්නේද එරට වෙන්දේසියකින් ගත් හිටපු ෂෙයික්වරයකුට (රජකුට) අයත් සුඛෝපභෝගී මෝටර් රථයකිනි. දස දෙනකු පමණ මධුෂ්ට ආරක්ෂාවට එම රථය සමග පැමිණ තිබුණි. මේ වන විටත් සියයක පමණ ආරාධිතයන් පිරිසක් හෝටලයට පැමිණ සිටියේ මධුෂ්ගේ හා බිරිඳගේ ආරාධනයෙනි. ගායන ශිල්පී අමල් පෙරේරා, නදිමාල් පෙරේරා, ටෙලි නාට්‍ය නළු රයන් රෝයන් මෙන්ම මධුෂ්ගේ හිතවත් පාතාලයන්, කඹුරුපිටියෙන් ගිය හිතවතුන්, හෝටල් හිමිකරුවන් හා ව්‍යාපාරිකයන්ද එහි වූහ. මෙම සාදය ගැන තොරතුරු ලද මධුෂ්ට ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් මෙම සාදයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට තොරතුරු දී අබුඩාබි පොලිසිය ලවා වටලන්නට සැලසුම් කරන්නේ මේ අතරේය. ඩුබායිවලින් ලද තොරතුරු මත අදාළ පොලිස් පරීක්ෂකවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සමග එක් වී මෙම සාදය සම්බන්ධ තොරතුරු සනාථ කර දුන්හ. මධුෂ් විසින් මීට පෙර දෙවුන්දරදී මත්ද්‍රව්‍ය කොල්ලකාගෙන ගියේද පාකිස්තාන් මත්ද්‍රව්‍ය ජාලයේ සිටි ජාවාරම්කරුවන්ගෙන්ය. එම ජාවාරම්කරුවන්ද, මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු ලබාදුන්නේ විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට පහසුවෙන්ම මධුෂ් ඇතුළු පිරිස කොටුකරගත හැකි නිසාය. ඒ අනුව අලුයම 2.00 ට පමණ හෝටලය වටලා තිස්එක් දෙනකු අත්අඩංගුවට ගත් අතර කාන්තාවන් මුදාහැරියේය. කොකේන් ග්‍රෑම් විස්සකට අධික ප්‍රමාණයක්ද එහි විය. මේ අතර කන්ජිපාති ඉම්රාන්, අංගොඩ චුට්ටේ ඇතුළු පාතාල කණ්ඩායම්ද වූහ. කෙසෙල්වත්තේ දිනුක එහි සිටි බව කියවුණද පසුව අනාවරණය වූයේ එහි සත්‍යතාවක් නොමැති බවය.. කළුතර බන්ධනාගාර ප්‍රහාරයෙන් පසු වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර නිලධාරින් තිදෙනකු, පොලිසියේ දෙදෙනකු හා රාජකාරි බලපත්‍රයක් හිමි කඹුරුපිටියේ දේශපාලනඥයකුද එහි විය. මෙය වාර්තා වී ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් වශයෙනි. එහෙත් ඇත්ත වශයෙන්ම එය රාජකාරි සමාජ බලපත්‍රයක් විය යුතුය. මෙම වැටලීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධුෂ් අත්අඩංගුවට ගැනීම ගැන කරුණු විමසද්දීත් පොලිස් ප්‍රධානීන් ඒ බව දැනුවත්ව සිටියේ නැත. මේ බව සනාථ වන්නේ ඒ වන විටත් මෙම වැටලීමට තොරතුරු සැපයූ පාතාල තොරතුරුකරුවන් සමග සම්බන්ධ වූ පොලිස් පරීක්ෂකවරයා, පොලිස්පතිවරයා හමුවට ගිය පසුවය. පොලිස්පතිවරයා මෙම පොලිස් නිලධාරියාද සමග ජනාධිපතිවරයාව අඟහරුවාද (5) පස්වරුවේම හමු වී මේ බව සනාථ කරගත්තේ තොරතුරුකරුවන් සජීවීව දෙන තොරතුරු සමගය. මාකඳුරේ මධුෂ්ව මුදාගන්නට මේ වන විටත් විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර කෝටි ගණනින් මුදල් වියදම් කරන්නට පටන්ගෙන තිබිණි. ඩුබායි පොලිසිය මධුෂ්ගේ විලා නිවස පරීක්ෂා කරද්දී ඩිරාම් කෝටි විස්සක මුදල් හමු වූ බව කියවුණද එය සනාථ කරගත නොහැකි විය. වැලිගම හෝටල් හිමිකරුවකු වූ සන්ෂයින් සුද්දා, කොළඹ රෙදි ව්‍යාපාරිකයකු බව කියන මොහොමඩ් සිද්දික්, අලුත්කඩේ ඊෂ්ලි, මාලිගාවත්තේ ෆයිසර්, ජල්බර් සියාම්, තලල්ලේ සංජේ, මාලිගාවත්තේ ෆයිසර් යන අය ඡායාරූප මගින් හඳුනාගෙන තිබිණි. ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම පිරිස හඳුනා ගැනීම සඳහා එරට සිටින ඔත්තුකරුවන්ට ලබාදුන් ඡායාරූප සියල්ල මෙරට බුද්ධි ඒකක වෙත ලැබී මෙරට මාධ්‍යවල පළවීම ගැනද විශේෂ විමර්ශනයක් අබුඩාබි පොලිසිය ආරම්භ කර ඇත. ඒ තොරතුරු පිටට යාම සම්බන්ධව කෙසේ වෙතත් රුධිර පරීක්ෂාවන් කර අල්රෆා පොලිසියේ හා මුරකාබාද් පොලිසියේ රඳවා සිටින මධුෂ් ගලවා ගන්නට බිරිඳ විසින් කෝටි ගණන් වියදම් කරන බවට හෙළි වී ඇත. ඉන්දියාවෙන් හා ඩුබායි දේශයෙන් කෝටි ගණනක් වියදම් කර නීතිඥවරුන් දොළොස් දෙනකුද ඉදිරිපත් කළ බව තොරතුරු ලැබෙමින් ඇත්තේය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..